Breaking News

නිරන්තරව හිත සතුටින් ඉන්නා අයෙකුගේ මුහුණ ප්‍රභාමත් ව දිලෙන බව ඔබට නිරීක්ෂණය වී ඇතිද?

දර්ශනී අබේසිංහ

මිනිස් සිත යනු නිරන්තරව ප්‍රිති ප්‍රමෝදයෙන් තබා ගත හැක්කක් නොවන බව අප අත්දැකීමෙන් ම දනිමු.

විවිධ කරුණු කාරණා හේතුවෙන් හිත දුකට කලකිරීමට පත්වීමට, පත් කර ගැනීමට සිදුවිය හැකිය,. දුක යනු අනිච්ඡානුගත ක්‍රියාවක් නොවන්නේ එහෙයිනි. දුකට පත් විය හැකිවා මෙන්ම දුකට පත් කරවා ද ගත හැකිය.

තනිකම, කාංසාව, අනාදරය, නොසලකා හැරීම වැනි චිත්තවේගීය කරුණු පාලනය කිරීමට අමතර වෙහෙසක් දරනවා වෙනුවට හිත නිදහස්ව තබා ගත හැකි ක්‍රියාවක යෙදීම ඉතාම සුදුසු වන බව මගේ හැගීමයි.

අප අත්දැක ඇති ලොව ඇති විවිධ වු කලාවන් අතරින්, ඔබ වඩා කැමති, ඔබට කල හැකි යයි ඔබ හඳුනාගෙන ඇති ඕනෑම වූ කලා මාධ්‍යක් තෝරා ගැනීමේ නිදහස ඔබ වෙත ඇත.
සකලවිධ වූ කලාවන් අතර, නැටීම, ගැයීම, වැයීම මෙන්ම ලිවීම, ඇඳීම, ඇඹීම කිහිපයක් පමණී.

එයිනුත් නැටීම හා ගැයීම මා විසින්ම හඳුනාගන්න ට යෙදුන හිත නිදහස් කරගත හැකි කලා මාධ්‍යයන් දෙකකි.

ඔබ දුකින් සන්තාපයෙන් සිටින අවස්ථාවක නැටීම, ගැයීම නොකල හැකි ලෙස මෙතෙක් සිතා සිටියා වෙන්නට පුලුවන. එහෙත්, පිරිසක් මැද වූව, තනියම වූව අත පය ඉහිල් කර, නිදහසේ අවකාශය තුල ලෙලවා රංගනයක යෙදෙන්න. වේග රිද්ම සංගීතයක ට, ලයාන්විත තාල ඇති සංගීතයක ට අනුව පාද තබන්න.කවුරුන් හෝ ඔබ දෙස බලා සිටීද, නොසිටීද ගැන නොසිතා රංගනයේ යෙදෙන්න.

එසේ නොමැතිනම්, ඔබ ආසම ගීතයක් මුමුණන්න, ශබ්ද නගා ගායනයේ යෙදෙන්න. හැඟීම් බරව ගයන්න. පසුබිම් සංගීතයට අනුව තාලයට ගයන්න. මයික්‍රෆෝනයක් අතින් ගෙන කවුරුන් අසා සිටීද, නොසිටීද නොසිතා ගයන්න. ඔබේ ලයාන්විත හඩ ඔබටම ඇසෙන්නට ගයන්න. මනා ගායන හැකියාවක් ඇති අයෙකු නොවුවාට කම් නැත.

ඔබේ සිත අප්‍රමාණව නිදහස් හැගීමකින් පිරී යන බව මට සහතිකවම කිව හැකිය.

මා විසින් පෞද්ගලිකව හඳුනන මැදිවියේ පසුවන යුවලක් සිටී. යමක් කමක් ඇති ය කියනවාට වඩා ධනවත් ලෙස හැඳින්විය හැකි මෙම පවුලේ එකම දරුවා විදේශයක ජීවත් වේ. සල්ලිය යහමින් තිබීම ජීවන සන්තුෂ්ටිය සඳහා වන එකම හේතුව නොවන නිසාම, මෙම යුවල බොහෝ තනිකමින්, සොවින් පිරුණ සිත් ඇතිව නිතර අසනීප තත්වයන්ට මුහුණ දෙමින් ජීවත් වන අතර තුර, දෙදෙනාම එකතුව ගීත ගායනය පුහුණු වීම සඳහා පන්තියකට සහභාගී වීමට පටන් ගත්තෝය. එතැනින් නොනැවතී ඉතාම හොද තත්වයේ ශබ්දවාහිනී යන්ත්‍රයක් මිලදී ගෙන නිවසේ ආලින්දයේ ස්ථාන ගත කර ගත්තෝය. බොහෝ සෝබර දිනයන් හී රාත්‍රියේ දෙදෙනාම එකතුව ගීත ගායනය කරන්නට පටන් ගත්තෝය. ගීත ගයන්නෝද, ගීත අසන්නෝද ඒ දෙදෙනාම පමණි.

සිත්තුල පැවති ආතති, සාංකා තත්වයන් පහව, දුක, කණගාටුව, තනිකම අමතකව එම යුවල අද වන විට ඉතා නිරෝගීව ප්‍රියමනාපව ජීවත් වෙති.

ඒ මා දුටු එක් උදාහරණයක් පමණි.

හිත් තුල ඇතිවන සංතාප කෙරෙහි වන අවධානය අවහිර කිරීමට නැටීම හා ගැයීම ඉතාම ප්‍රායෝගික ක්‍රියාවක් බව අත්දැකීම් මතින් සටහන් කරන්නට යෙදුන අතර මානසික සෞඛ්‍ය සම්බන්ධව නිසි හැදෑරීමක් මත සටහන් නොකල බැවින් ඔබ මා සමඟ එකඟ නොවිය හැකි බව මම දනිමි.

එහෙත්,
ඔබ දෙස කිසිවෙකු බලා සිටිනවාද, නොසිටිනවාද නොසිතා රඟන්න.

ඔබේ ගායනය කිසිවෙකු අසා සිටිනවාද, නොසිටිනවාද නොසිතා නිදහසේ ගයන්න.

ඔබ නිදහස් වන බවට මම සහතික වෙමි.
ඔබේ වුවන ප්‍රභාමත් ව දිලෙන බවට මම සහතික වෙමි.
ඔබ නිරෝගී දිවියකට වැදගත් පියවරක් තබා ඇති බවට මම සහතික වෙමි.

 

 

leave a reply