Breaking News

ව්‍යවස්ථාවේ 83 වන වගන්තිය වෙනස් නොකිරීම මගේ වරදක් බවට ජනාධිපති වික්‍රමසිංහ කල ප්‍රකාශය

දහනමවන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මා අතින් පළපුරුද්ද නොමැතිවීම නිසා සිදුවූ වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජූලි 19 වන දින ගාල්ලේදී ප්‍රකාශ කර ඇත. මේ පිලිබඳ සත්‍යය කුමක්දැයි පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ සහ පුරවැසි සංවිධාන 49ක් සමග විහාරමහා දේවි උද්‍යානයේදී අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් විධායක ජනාධිපති ධුරය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට පොරොන්දු විය. එහෙත් ඔහු ඊට පසු දිනම ජාතික හෙළ උරුමය සමග වෙනම අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමින් ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවට පොරොන්දුවිය. සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේද ඔහු කියා සිටියේ ජනමත විචාරණයක් අවශ්‍ය වන කිසිදු ව්‍යවස්ථා සංශෝධනයක් නොගෙන එන බවය.

ජනාධිපති සිරිසේන දිව්රුම් දුන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු විෂය අග්‍රාමාත්‍යවරයා යටතේ ගැසට් කෙරින. 19වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත් කරන ලදී. මූලික කෙටුම්පත සකස් කරන ලද්දේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාමලත් ජ්‍යේෂ්ට නිලධාරීන් තිදෙනෙකු සහ මාත් තව නීතිඥවරයෙකුගෙනුත් සමන්විත කෙටුම්පත් කමිටුවකිනි. මුළු කෙටුම්පත් ක්‍රියාවලියම සිදුකරන ලද්දේ ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් නොකරන පදනම අනුවය. ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු කල නමුත්, එම ධූර කාල වැඩි කල හැකි හය අවුරුද්දේ උපරිමය වෙනස් කිරීමට ආණ්ඩුව යෝජනා නොකළේ එවැන්නකට ජනමතවිචාරණයක් අවශ්‍ය බැවිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තිය ප්‍රකාර එහි සඳහන් වගන්ති ගණනාවකට සහ පෙරකී හය අවුරුදු කාලයට පටහැනි ඕනෑම වෙනසකට ජනමතවිචාරණයක් අවශ්‍යය. තවද, 83 වගන්තිය සංශෝධනය කිරීමටද ජනමතවිචාරණයක් අවශ්‍ය බව මතක තබා ගත යුතුය.

සංශෝධන ක්‍රියාවලියෙදී පිළියෙළ කරන ලද සැම කෙටුම්පතක්ම කැබිනට් අනුකමිටුව සමග සාකච්ඡා කරන ලදී. අනුකමිටුව විසින් අනුමත කල අවසාන කෙටුම්පත් නීති කෙටුම්පත්කරුට යොමු කල අතර ඔහු එහි වෙනස්කම් කීපයක් කළේය. කෙටුම්පත නීතිපතිගේ සහතිකය සඳහා යොමු කල විට ජනාධිපතිවරයාගේ සමහර බලතල අඩු කිරීම ඇතුළු ප්‍රතිපාදන කීපයකට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ඔහුගේ මතය විය.

එම කාරණය සාකච්ඡා කිරීමට අගමැතිවරයා නීතිපතිවාරයය කීපවරක්ම කැඳවූ අතර එක් සාකච්ඡාවකට මමද සහභාගී වුනෙමි. නීතිපතිවරයාගේ ස්ථාවරය නිසා පනත් කෙටුම්පතට වෙනස්කම් කීපයක් කරන ලදී.

19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කලේ අගමැති වික්‍රමසිංහ විසිනි. එය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කල විට ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා කිසිම ප්‍රතිපාදනයකට ජනමතවිචාරණයක් අවශ්‍ය නොවන බව කියා සිටියේය. ජනමතවිචාරණයක් අවශ්‍යයයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කල සමහ ප්‍රතිපාදන පාර්ලිමේන්තුවේදී සංශෝධනය කල අතර සමහර ඒවා අත්හරින ලදී.

කරුණු මෙසේ තිබියදී, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ උපරිම ධූර කාලය හය අවුරුද්දේ සිට පස් අවුරුද්ද දක්වා අඩු නොකිරීම මගේ ප්‍රමාදයක් ලෙස ජනාධිපති වික්‍රමසිංහ හුවා දැක්වීම ගැන මට ඇත්තේ කලකිරීමකි. ජනාධිපති සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයට අනුකූලව 19 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනමතවිචාරණයකට ඉදිරිපත් නොකරන පදනම යටතේ මුළු සංශෝධන ක්‍රියාවලියම සිදුවූ බව නැවත අවධාරණය කරමි.

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ
2024 ජුලි 20 වන දින

leave a reply