Breaking News

සම්ප‍්‍රදාය රකිමින් වැනසෙමුද? එය බිඳිමින් ජය ගමුද?

වසර 75ක් තුල අප රටේ ක‍්‍රියාත්මක වූ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය තුල බොහෝ පක්ෂ හා බොහෝ නායකයින් රට පාලනය කර ඇත. ජනතාව විසින් විවිධ හේතු කාරණා මත ආණ්ඩු පත්කරගෙන ඇත. මැතිවරණ දේශපාලනයෙන් බාහිරව අවස්ථා කීපයකදී දේශපාලන බලය වෙනස් කරන්නට ගත් උත්සහයන් ලෙයින් යකඩින් මර්ධනය කර නැවත මේ පාර්ලිමේන්තු සිස්ටම් එක නැවත නැවත ස්ථාපිත කර ගැනීමට මෙතෙක් රට පාලනය කලවුන් සමත් විය. ඒ අනුව සිදුවූයේ එදා මෙදා තුර අඛණ්ඩව පාර්ලිමේන්තු සම්ප‍්‍රදායික දේශපාලනය ඉදිරියට ගෙන යාමයි. එසේනම් ජයග‍්‍රහණ හෝ පරාජයන් සියල්ලට වගකිව යුත්තේ මේ සාම්ප‍්‍රදායික පාලනයයි.

විවිධ දේශපාලන මතවාදයන් දරණ පක්ෂ කණ්ඩායම් වරින් වර පාලනය කලත් ආපසූ හැරී බලන විට පෙනී යන්නේ විශේෂයෙන් 1978 පසු භාවිත වී ඇත්තේ එකම ක‍්‍රම වේදයක් බවයි. එනම් මෙතෙක් සිදුවී ඇත්තේ එකම ක‍්‍රමය පවත්වාගෙන ඒමයි. ඒ වෙනුවෙන් වරින් වර සිදුව ඇත්තේ පක්ෂ මාරු කිරීම නායකයින් මාරු කිරීම සංධාන ගත වීම ඇතුලූ විවිධ රංචු ගැසීම් ඔලූ මාරු හරහාය. ඒ සිදුවූ සිදුවන සාම්ප‍්‍රදාය තුල ජනතාවගේ කැමැත්ත ගන්නට ඡුන්දය ගන්නට සිදුකර ඇති උප්පරවැට්ටි දිහා බලන විට එයද එකම රටාවක සම්ප‍්‍රදායක ගමන්කර ඇති බව අපිට දකින්නට පුලූවන්. තර්ජන ගර්ජන පොරොන්දු රැවටිලි හීලෑකරගැනීම් පහරදීම් පැහැරගැනීම් මරා දැමීම් දක්වා එය විහිදී ඇත. ඒ වගේම ඒ මොහොතේ වැඩියෙන්ම මාකට් කරන්න පුලූවන් නායකයා ඇතුලූ පුද්ගලයින් ඉදිරිපත් කිරීම ඒ සම්ප‍්‍රදායේම කොටසකි. ඒ වෙනුවෙන් ප‍්‍රසස්ති ගී ගායනයේ සිට සෙල්ෆි ගැසීම දක්වාම එම සම්ප‍්‍රදාය ඉදිරියට පැමින ඇත.

අරගලය මෙතැනට ආදේශ කලවිට එහි අරමුණ වූයේ මේ මජර දේශපාලන සිස්ටම් එක තවදුරටත් දරා ගන්න බැරි බවයි. ඒ සමස්තය වෙනස් කල යුතු බවට වූ හඩ එහි නියෝජනය විය. ලාංකීය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට පාර්ලිමේන්තුවෙන් හෝ ව්‍යවස්ථාවෙන් පිට සංකල්පීය තලයේ තිබූ ජනතාබලය කුලූගැන්වුනු ප‍්‍රායෝගිකත්වයට නංවපු අත්දැකීමක් බවට පත්විය. ඒ අනුව එහි සැලකිය යුතු ජයග‍්‍රහණ ලබා ගන්නට සමත් වුවත් අවසන් අරමුණ ජයග‍්‍රහනය කරා ගෙනයන්නට තවමත් සමත්ව නැත. එසේනම් ඉතිරිව ඇත්තේ ඒ කොටස සම්පූර්ණ කර ගැනීමය. ඒ වෙනුවෙන් අත් දැකීමක් බවට පත්වූ ජනතා බලය නැවතත් කුලූ ගැන්වීමයි. ඒ වෙනුවෙන් කැපවීමයි. ඒ වෙනුවෙන් ජනතාව සංවිධානය කිරීමයි. කෙටියෙන් කියතහොත් සාම්ප‍්‍රදායට අභියෝග කල ඒ අසම්පූර්ණ අරගලය සම්පූර්ණ කිරීම වෙනුවෙන් ජනයා පෙළ ගැස්වීමය.

එහෙත් ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගය (මේ සම්ප‍්‍රාදායේ අනෙකුත් පක්ෂ වලටද අදාලයි) නැවත ජනතාව කැඳවමින් තිබෙන්නේ කොතනටද ඒ ජනයා සංවිධානය කරමින් ඔවුන් බල ගැන්වෙන මේ මජර දේශපාලන සම්ප‍්‍රදායෙන් එළියට රටත් ජනතාවත් ගැනීමටද නැතිනම් අර පැරණි ආකාරයටම හොඳම නායකයා අහවලාය හොඳම කණ්ඩායම අපිය අපි පිරිසිදුය අපිට ඡුන්දය/බලය දෙන්න එවිට අපි ඔබ වෙනුවෙන් මරු රටක් හදල දෙන්නම් කියන පණිවිඩයයි. ඒ තේරුම් ගැනීමට ඔවුන්ගේ වේදිකා රැස්වීම් පරිශිලනය කිරීම ප‍්‍රමානවත්ය. දැන් රැල්ල එය යැයි හිතන ජනයා තමන්ද ඔවුන් සමගයි කියා පෙන්වන්නට රැල්ලේ පිහිනීමට පටන් ගෙන ඇත. එසේ නම් නැවත සිදු වෙම්න් තිබෙන්නේ ජනයා බලගන්වනවා වෙනුවට ජනයා නායකයෙක් රැල්ලක් වටා පෝලිං ගැස්සවීම නොවේද?

ආචාර්ය මහචාර්යවරු/කලා කරුවො වෙනත් ප‍්‍රසිද්ධ චරිත එක්වීම වේදිකාවට නැගීම ප‍්‍රසස්ති ගැයීම ජනතාවට සහතික දීම මේ සියල්ල අප ඉතිහාසය පුරාවටම අත් දැක තිබේ. සිවිල් බලයක් සහිත ආචාර්ය මහචාර්ය වරුන් කලා කරුවන් පූජකයින් ඇතුලූ සිවිල් බලයක් සහිත පිරිස් මීට පෙර වෙනත් නායකයින් පක්ෂ වෙනුවෙන් මේ ආකාරයේම සහතික නිකුත් කර නැතිද? මෙවන්ම වූ ප‍්‍රකාෂ කර නොතිබේද? එසේනම් මෙහි ඇති එකම වෙනස එදා ඔවුන් පෙනී සිටි නායකයා හෝ පක්ෂය වෙනුවට අද වෙනත් කෙනෙකු ආදේශ වීම පමනක් නොවේද? ඉතිං අපට කියන්නේ ඔවුන් විශ්වාස කර බලය දෙන්න කියාද? එසේ සිදු නොවුවහොත් කුමක් කරන්නද? මෑතකදී සිදුවූ ආකාරයට අපි විශ්වාස කලා අපිටත් වැරදුනා දැන් අපි වෙනස් වගේ කතා අහගෙන ඉන්න එක විතරක් නොවේද?

ඒ නිසාම රනිල් රාජපක්ෂ ප‍්‍රමුඛ පාලකයින්ගෙන්ද ඔවුන්ගේ ඒ ක‍්‍රියාවන්ට කිසිදු බාධාවක් අවහිරයක් එල්ල වන්නේ්ද නැත. රනිල්ගේ වචන වලින්ම කියනවා නම් එය සාමකාමී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කටයුත්තකි. තමන්ගේ ආශිර්වාදය ඊට හිමි බවද ඔහුගෙන් නොකියවුනු කොටස වන අතර තාවකාලිකව ඔවුන්ට බලය හිමිවුනද ඒ ගැන වැඩි කලබලයක් ඔවුන්ට නැත. ඒ වෙනකක් නිසා නොව කාගෙන් වුවත් තමන් මෙතෙක් පවත්වාගෙන ආ සම්ප‍්‍රදාය රැකගැනීම හා ඉදිරියටත් පවත්වාගෙන යාම සිදු වන්නේනම් ඔවුන්ට එය වෙස් වලාගත් ආශිර්වාදයක් වන හෙයිනි.

කෙටියෙන්ම කියන්නේනම් අරගලයේ උත්සහය මේ සම්ප‍්‍රදාය බිඳ ජනතාව බල ගැන්වීම වන අතර ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජනබලවේගයේ ක‍්‍රියාවළිය වන්නේ පවතින සම්ප‍්‍රදාය තුල ඉදිරියට යාමයි. ඊට ප‍්‍රධාන හේතුව ඒ තුල ඔවුන්ට ජයග‍්‍රහණය කිරීමට හැකියැයි පවතින විශ්වාසයයි. අපිට ගැටලූ දෙකක් ඇත. එක සම්ප‍්‍රදාය බිඳහෙළීමට උදාවී ඇති අවස්ථාව මග හරින්නේ ඇයිද සහ මේ සම්ප‍්‍රදාය රැක ගැනීම තුල අනෙකුත් බලවේගද ශක්තිමත් වන බව නොවැටෙහේද යන්නයි. විශේෂයෙන් ජනතාව ප‍්‍රතික්ෂේප කල රාජපක්ෂ වරු/රනිල් ඇතුලූ එක්සත් ජාතික පක්ෂය පවා ඒ තුලින් නැවතත් ශක්තිමත් වන්නට තිබෙන ඉඩ කඩයි.

ඒ නිසා මෝහනයෙන් මිදී ඇත්ත මහපොළවේ දේශපාලනය කරන්නේනම් පාර්ලිමේන්තුවට කව්රු තෙරී පත් වුවත් ඉන් පිටත සංවිධානාත්මක ජනතා බල ව්‍යුහයක් පැවතීම රටට ජනතාවට හා පාර්ලිමේන්තුවටද අවඩැක් සිදු නොවන්නකි. එහෙත් ඔය කියන යහපත් මිනිසුන්ගෙන් සුසැදි ආණ්ඩුවක් බිහි නොවුනහොත් ඉන් සිදුවන්නේ මහත් අවැඩකි. එමෙන්ම ඒ බිහිවන පාලනය පවා කැලෑ පනින්නට උත්සහකලහොත් එය නිවැරදි මගට යොමු කරගන්නට අවකාෂයක්ද ඉතිරිව නොතිබෙන්නට පුලූවන.

අපට ඇති ගැටලූව වන්නේ මේ දෙක අතර පවතින සැබෑ වෙනස නොතේරෙනවාද යන්නයි.

මේ සිදුවන දිගහැරීම් දිහා මදකට ආපසු හැරී බලපන්න

ඒ වගේම බොහෝ පාර්ෂව දැන් මේ පවතින අර්බුදයට එකම විසඳුම පාර්ලිමේන්තු මැතිවරණයක් බවට තර්ක කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටිමින් සිටී. එයද අප විමසන්නේ ඒ මේ සම්ප‍්‍රදාය තුල මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුල ඒ රනිල් රාජපක්ෂගේ ජනාධිපති කම තුලද කියාය. කෙනෙකුට ප‍්‍රශ්නයක් පැන නගින්නට පුලූවන් මේ සේරම වෙනස් වෙනතුරු මැතිවරණ නොපවත්වා සිටින්නද අප මේ යෝජනා කරන්නේ කියා. අපට ඉතිහාසය අමතක නැත්නම් පාලක පංතියේ බලපරාක‍්‍රමය බිඳුනු අවස්ථාව වූයේ අරගලයයි. එසේනම් මැතිවරණයක් දිනා ගත යුත්තේද එවන් අරගලයකින් නොවේද? එනම් එය කල හැක්කේ සම්ප‍්‍රදායට ජනතාව කොටු කිරීමෙන්ද නැවත අරගලය ශක්තිමත් කිරීම තුලින්ද යන්නයි.

අනුර කුමාරම කියන ආකාරයට පැවති දේශපාලන බල කඳවුරු බිඳවැටී එළියට බහින්නට බැරි තත්වයක් නිර්මානය වී තිබේ නම් එසේ වී තිබෙන්නේ රටේ විශේෂ දේශපාලන තත්වයක් තුල බවත් එය අරගලය බවත් කියන විට එය නිවැරදිය. එසේනම් ඒ සකලවිධ බලය සුණු විසුණු කරන්නට හැකිවූ එකම තත්වය ජන බලය බවයි. එම බලය සක‍්‍රීය වූයේ අරගලයෙන් බවත් තේරුම් ගන්නේනම් කල යුත්තේ එය තව තවත් ශක්තිමත් කිරීම මිස එය දිය කිරීම නොවේ. ඔහුට අනුව ඒ බලවේගය තමයි ජාතික ජන බවවේගය. අපට තිබෙන විචිකිච්චාව තමයි හුදු ඡුන්ද දායකයින්ගෙන් එවන් බලවේගයක් නිර්මාණය වෙයිද යන්නයි. කල යුත්තේ ඡුන්දදායකයින්ගෙන්/පේ‍්‍රක්ෂකයින්ගෙන් නොව ඇත්ත අරගල කරුවන්ගෙන් ඒ බලය ගොඩ නැගීමයි. එසේ නොවුනහොත් සිදුවිය හැක්කේ බලය ගත්තද එම ආණ්ඩුවද ප‍්‍රතිවිප්ලවවාදීන්ට යටවීමයි.

කෙසේ වෙතත් අපගේ පුරෝකථනය වන්නේ හුදු සම්ප‍්‍රදාය තුල මුහුණදෙන මැතිවරණයකින් කිසිදු පක්ෂයකට හෝ සංධානයකට සියයට 50 ඉක්මවූ ප‍්‍රතිශතයක් ලබා ගන්නට සමත් නොවනු ඇති බවයි. එසේ වූ විට සිදු වන්නේ මෑත කාලීන ඉතාලි දේශපාලය බල ව්‍යූහය තුල සිදුවනවා මෙන් හා මේ මොහොතේ ලංකාවේ බල ව්‍යූහය තුල සිදුවන පරිදි බලය සඳහා එකිනෙකට පරස්පර ප‍්‍රතිපත්ති තිබෙන කණ්ඩායම් වල රංචු ගැසීමයි. එවන් වාතාවරණයකදී සිදුවන්නේ ජනතා අපේක්ෂාවන් බිඳවැටීමෙන් නැවත රාජපක්ෂ රනිල් රෙජීමය වැනි මජර දක්ෂිණාංශික කණ්ඩායම් බලය තහවුරු කර ගැනීමයි. ඉතාලි නව ආණ්ඩුව ඊට හොඳම නිදසුනයි.

 

leave a reply