Breaking News

මේ මැතිවරණ සාමය ආර්ථික හැකියාව අඩු පිරිස්වලට ප‍්‍රචාරණයේදී ලැබුනේ අවම ඉඩකඩක් – පැපරල්

මෑත ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා පැවති දීර්ඝතම ප‍්‍රචාරක සමය ඊයේ දිනයේදී නිමාවට පත් විය. කොවිඞ්-19 වසංගත තත්ත්වය තුළ දෙවරක්ම මැතිවරණය කල්දැමීමට සිදුවීම මෙම දීර්ඝ මැතිවරණ ප‍්‍රචාරක සමයක් ගත කිරීමට හේතුවයි. මෙම මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු වෙනත් පාර්ලිමේන්තු මැතිවරණවලට වඩා දෙයාකාරයකින්ම පාලනය කරන ලද තත්ත්වයක් යටතේ සිදුකිරීමට අපේක්‍ෂකයන්ට සිදුවිය. පළමුවැන්න නම් කොවිඞ්-19 සෞඛ්‍යය ආරක්‍ෂක නියෝග මගින් ප‍්‍රචාරක රැළි, ගෙයින් ගෙට ගොස් කරන ප‍්‍රචාරක කටයුතු සහ මැතිවරණ ප‍්‍රචාරක කාර්යාල සදහා සෞඛ්‍යමය විවිධිධාන පනවා තිබීමය. දෙවෙනි කාරණය වූයේ මැතිවරණ කොමිසම විසින් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප‍්‍රචාරක සීමාවන්ට අනුකූලව සිදුකිරීම තීරණය කර තිබීමයි. එමෙන්ම මෙම මැතිවරණයේදී ආර්ථික හැකියාව අඩු පිරිස්වලට ප‍්‍රචාරණයේදී අවම ඉඩකඩක් හිමිවන බව නිරීක්ෂණය විය. එය කොවිඞ් 19 සීමා කිරීම් යටතේ බරපතල කරුණකි.

පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්ෂණයට සියල්ල සූදානම්

දීර්ඝතම මැතිවරණ ප‍්‍රචාරණ කාලයක් හිමිවූ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පවත්වන 8 වන පාර්ලිමේන්තු මැතිවරණය 2020 අගෝස්තු 05 වන දින ඡුන්ද මධ්‍යස්ථාන 12,984 ක දී ඡුන්ද දායකයන් 16,263,885ක ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ය. මේ සඳහා තරග වදින අපේක්ෂකයින් 7452 ක් අතුරින් සෘජු ලෙස සුදුස්සන් 196 දෙනෙක් තෝරා ගැනීම ඡන්ද දායකයාගේ වගකීම වේ. ජනතාවගේ බදු මුදල් ලක්ෂ දසදහසක් එනම් කෝටි 1000ක් වියදම් කරමින් හා සෞඛ්‍ය අභියෝග හමුවේ පැවැත්වෙන මෙම මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා පැෆ්රල් සංවිධානය මේ වන විට සියලූ කටයුතු සංවිධානය කර ඇත.

නාම යෝජනා භාර ගැනීම ආරම්භ වීමත් සමග පැෆ්රල් සංවිධානය සෑම දිස්ත්‍රික්කයකටම දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් හා ක්ෂේත‍්‍ර සම්බන්ධීකාරකවරුන් 50 දෙනෙකු පත්කළ අතර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් දිගුකාලීන නිරීක්ෂකයින් 319 දෙනෙකු පත් කරනු ලැබීය. එම පිරිස මැතිවරණ දිනය දක්වාත්, මැතිවරණයෙන් අනතුරුව සති දෙකක කාලයක් නිරීක්ෂණ කටයුතුවල යෙදෙනු ඇත. ඊට අමතරව තැපැල් ඡන්ද නිරීක්ෂණය සඳහා යෙදවූ 1000 ක පිරිස ද තම බලප‍්‍රදේශවල අඛණ්ඩවම නිරික්ෂණ කටයුතු සිදු කරමින් සිටී. ඡුන්දය දිනයේදී (2020.08.05) ස්ථානගත නිරීක්ෂකයන් 3045ක ප‍්‍රමාණයක් උදෑසන 7.00 සිට සවස 5.00 දක්වා ඡුන්ද මධ්‍යස්ථාන ඇතුලත නිරික්ෂණ කටයුතුවල යෙදෙනු ඇත. එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන අවට තත්ත්වය නිරීක්ෂණය සඳහා ජංගම නිරීක්ෂණ රථ බස්නාහිර පළාත සඳහා 45 ක් ද, මධ්‍යම පළාත සඳහා 35 ක් ද, දකුණු පළාත සඳහා 31 ක් ද, උතුරු පළාත සඳහා 40 ක්ද, නැගෙනහිර පළාත සඳහා 21, වයඹ පළාත සඳහා 27ක් ද, උතුරු මැද පළාත සඳහා 18 ක් ද, ඌව පළාත සඳහා 19 ක් ද, සබරගමු පළාත සඳහා 24 ක් ද ලෙස රථ 260 ක් සඳහා නිරීක්ෂකයින් 1092 යෙදෙනු ඇත. ඊට අමතරව පසුගිය මැතිවරණ කාලවකවානුවේ අත්දැකීම් සහ මෙම මැතිවරණයේ පූර්ව කාලය සැළකිල්ලට ගෙන ජාතික මට්ටමින් ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 13 ක් අගෝස්තු 03 සහ 04 යන දෙදින තුළ දිවයින පුරා තෝරාගත් දිස්ත්‍රික්කවල නිරීක්ෂණ කටයුතු සඳහා පිටත් කෙරෙනු ඇත. ඊට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඡන්ද පෙට්ටි භාර ගැනීමේ මධ්‍යස්ථාන සඳහා 25 දෙනෙකුද, ඡන්ද බලප‍්‍රදේශ 160 සඳහා 160 දෙනෙකු ද, ප‍්‍රතිඵල ප‍්‍රකාශ කරන ස්ථාන සඳහා 25 දෙනෙකුද, යෙදවීමට අප සැළසුම් කර ඇත.

ඊට අමතරව සෑම දිස්ත්‍රික්කයකම පිහිටි පැමිණිලි මධ්‍යස්ථානයකටම පැෆ්රල් නියෝජිතයෙකු පත්කර ඇති අතර රාජගිරියේ පිහිටි ප‍්‍රධාන මැතිවරණ කාර්යාලයේ ස්ථාපිත කර ඇත ජාතික මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ මධ්‍යස්ථාන වෙත පළපුරුදු නීතීඥයෙකු ද ඇතුළුව දෙදෙනෙකු පත්කර ඇත. මීට අමතරව පැෆ්රල් ප‍්‍රධාන කාර්යාලය තුළ පැය 24 ක් පුරාම ක්‍රියාත්මක පැමිණිලි ඒකකයක් ස්ථාපිත කර ඇත. ඒ අනුව පහත සඳහන් අංකවලට ඕනෑම පුද්ගලයෙකුට සිය පැමිණිලි එම ඒකකය වෙත ඉදිරිපත් කළ හැක.

පැෆ්රල් පැමිණිලි ඒකකය –
ප‍්‍රධාන කාර්යාලය දුරකථන 011-2558570-74
ෆැක්ස් 011-2558572
වට්ස්ඇප් 071-0916989
ඊ මේල් paffrel2020elections@gmail.com
ක්ෂණික ඇමතුම් සඳහා
070-2274501 – 070-2264502

පළාත් කාර්යාල
1 වයඹ පළාත 0704701143 paffrel.lto6@gmail.com
2 දකුණු පළාත 0704701149 paffrel.lto7@gmail.com
3 නැගෙනහිර පළාත 0704701148 paffrel.lto10@gmail.com
4 ඌව පළාත 0704701150 paffrel.lto3@gmail.com
5ග සබරගමු පළාත 0704701144 paffrel.lto4@gmail.com
6ග උතුරු මැද පළාත 0704701145 paffrel.lto5@gmail.com
7ග උතුරු පළාත 0704701147 paffrel.lto11@gmail.com
8ග බස්නාහිර පළාත 0704701141 paffrel.lto1@gmail.com
9ග මධ්‍යම පළාත 0704701146 paffrel.lto08@gmail.com

පැෆ්රල් සංවිධානය වෙත යොමුවන සෑම පැමිණිල්ලක්ම විනාඩි කිහිපයක් තුළ නිරවද්‍යතාවය පරීක්ෂා කර අදාළ අංශ වෙත යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත.

ජනතාවට නිදහසේ තීන්දු ගැනීමට ඉඩදෙමු.

මෙවර මැතිවරණයේ නිහඩ කාලය හෙවත් ඡන්ද ප‍්‍රචාරක කටයුතු තහනම් කාලය අගෝස්තු 2වන දින රාත‍්‍රි 12න් පසු එළඹී ඇත. ඒ අනුව මේ වනවිට නිහඩ කාල සීමාව ක‍්‍රියාත්මක වන අතර එය ඡන්ද විමසීම අවසානය දක්වා ක‍්‍රියාත්මක වේ. එම කාලය තුල කිසිදු ආකාරයක ප‍්‍රචාරක කටයුතු තහනම් බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ. නිහඩ කාල සීමාව නියම කිරීමේ අරමුණ වන්නේ ඡන්ද දායකයන්ට බලපෑම්වලින් තොරව ස්වාධිනව තීරණයක් ගැනිම සදහා කල්පනා කිරිමට අවශ්‍ය විවේකය ලබාදීමයි. මෙම කාලය තුල මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නො යෙදෙන ලෙස සියලූම අපේක්‍ෂකයන්ගෙන් ඉල්ලා සිටිමු . එසේම පුවත්පත් කතුවරුන්ගෙන් , විද්‍යුත් නාලිකා ප‍්‍රධානීන්ගෙන් සහ සමාජ ජාල හසුරුවන්නන්ගෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටින්නේ ඡන්ද දායකයන්ට ස්වාධීනව තීරණයක් ගැනීමට විවේකයක් ගැනීම අවශ්‍යවන හෙයින් මෙම නිහඩ කාලය තුල කිසිදු පක්‍ෂ හෝ අපේක්‍ෂක ප‍්‍රවර්ධන කාර්යයන්ගෙන් වැළකී සිටින ලෙසයි.

විශේෂයෙන්ම විවිධ උපක‍්‍රම භාවතා කරමින් සහ ආගමික උත්සව සහ ක‍්‍රිඩා උත්සව මුවාවෙන් සිදුකරනු ලබන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු නවත්වන ලෙස සියලූ පක්‍ෂවලින් ඉල්ලා සිටින පැෆ්රල් සංවිධානය සියලූම පූජ්‍ය පූජක උතුමන්ලාගෙන් ආයාචනා කරන්නේ ආගමික පුදපූජාවලට මුවාවී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සිදු කිරීමට අපේක්ෂකයන්ට ඉඩ ලබා නොදෙන ලෙසයි.

දුරකථන භාවිතා කරමින් සිදුකරන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු

ජංගම හා ස්ථාවර දුරකථන භාවිතා කරමින් බොහෝ අපේක්‍ෂකයින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල යෙදෙන බව නිරීක්‍ෂණය විය. ඇතැම් ඡුන්ද දායකයන් අපවෙත පැමිණිලි කර සිටියේ මෙම දුරකථන ඇමතුම් සහ කෙටි පණිවිඩ ඔවුන්ට හිරිහැරයක් බවයි. එසේම ජංගම දුරකථන මගින් පැමිණෙන ඇතැම් අපේක්‍ෂකයන්ගේ කෙටිපණිවිඩ ලැබෙන දුරකථන අංකයක් වෙනුවට අපේක්‍ෂකයාගේ නමක් ප‍්‍රදර්ශනය වන අතර එය බොහෝ විට දුරකථන සමාගම් සමග සම්බන්ධ වී සිදුකරනු ලබන ප‍්‍රචාරක උපක‍්‍රමයක් ලෙස සැක සිතිය හැකිය. දුරකථන සමාගම් වලට ව්‍යාපාර කිරීමට ඇති අයිතිය පිළිගන්නා අප ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝගියන්ගේ පෞද්ගලිකත්වයටද ගරු කරන ලෙසයි.

ඡන්ද දිනයේ සෞඛ්‍ය ආරක්ෂිතම තැන ඔබගේ ඡන්ද පොළයි. නොබියව ඡන්දය භාවිත කරන්න

පසුගිය මාස දෙකක කාලය අප කොවිඞ් 19 සමග ජීවත්වීමට ඉගෙන ගතිමු. ඒ අනුව අප සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද භාවිත කරමින්, වෙළඳපොලට, අපගේ ආගමික ස්ථානවලට ප‍්‍රදේශයේ පොදු ස්ථානවලට අපගේ අවශ්‍යතා සඳහා ගියෙමු. දරුවන් පාසලට යැව්වෙමු. අගෝස්තු 5 වන දින ද අපට ඒ ආකාරයටම අපගේ ඡන්දපොළට යාමට සිදුවී තිබේ. එහෙත් එහි වෙනසක් ඇත. එනම් ඡන්ද මධ්‍යස්ථාන අනෙක් සෑම ස්ථානයකටම වඩා සෞඛ්‍ය ආරක්ෂිතව සකස් කර තිබීමයි. ඒ සඳහා මැතිවරණ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ ඒකාබද්ධව කටයුතු කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාව පූර්ව මැතිවරණ කාලය තුළ ආදර්ශ ඡන්ද මධ්‍යස්ථාන 15 කට වැඩි ප‍්‍රමාණයක් පවත්වා අත්දැකීම් ලබාගෙන මෙම කටයුතු සංවිධානය කර ඇත. එමෙන්ම පැෆ්රල් නිරීක්ෂණවලට අනුව තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 99% ම සෞඛ්‍ය ආරක්ෂිතව සකසක් කර තිබූ බව නිරීක්ෂණය විය. එබැවින් අප ඔබ ගෙන් ඉල්ලා සිටින්නේ කිසිදු බියකින් තොරව ඔබගේ ඡුන්දපොළට පැමිණ ඔබගේ ඡන්දය භාවිත කරන ලෙසයි. කොවිඞ් 19 සෞඛ්‍ය නිසා හෝ දේශපාලඥයින් පිළිබඳව කළ කිරීම නිසා හෝ ඔබ ඡන්දය භාවිත නොකළහොත් ඔබ අකැමැතිම පක්ෂය හෝ පුද්ගලයා පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට ඉඩ ඇත.
ඡන්දය භාවිතා කිරීමට නිවාඩු ලබාදීම-

ඡන්දය භාවිතා කිරීම සදහා නිවාඩු ලබාදීම සේවායෝජකයාගේ වගකීමක් බව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 122 වගන්තිය දක්වයි. ඒ අනුව ඡන්ද දායකයන්ට සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර අනුව හිමිවිය යුතු නිවාඩු කාලය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කර ඇත. ඒ අනුව
ඡන්ද මධ්‍යස්ථානය
දුර කි.මී. 40 හෝ ඊට අඩු නම් දින භාගයයි
කි.මී. 40ත්- 100ත් අතර නම් දින එකයි
කි.මී. 100ත්- 150ත් අතර නම් දින එකහමාරයි
කි.මී. 150ට වැඩි නම් දින දෙකයි.

සිය සේවකයකුට ඡන්දය භාවිතා කිරීමට වැටුප් සහිත නිවාඩු ලබා නොදීම දඩුවම් ලැබිය යුතු වරදක් බව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දක්වා ඇත.
ඉතා දුෂ්කර තත්වයක් යටතේ පවත් වන මෙම මැතිවරණය සදහා සිය කාර්ය මණ්ඩල සදහා අදාල පරිදී නිවාඩු ලබාදීමෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා දායක වන ලෙස සියලූම සේවා යෝජයන්ගේ ඉල්ලා සිටිමු

මැතිවරණ නීති ආරක්ෂා කරන ඡන්ද දිනය නිදහස් හා සාමකාමී දිනයක් කරමු.

කොව්ඩ්-19 බලපෑම් මත යම් යම් සීමාවන් පැනවුවද දීර්ඝතව මැතිවරණ ප‍්‍රචාරක කාලයක් හිමිවූ පාර්ලිමේන්තු මැතිවරණයට තව දින දෙකකි. එනම් අගෝස්තු 05 වන දින පැවැත්වීමට නියමිත මැතිවරණ ප‍්‍රචාරක කාලය තුළ පැෆ්රල් සංවිධානය වෙත පැමිණිලි සංඛ්‍යාත්මකව 2165 ලැබුන ද සාපේක්ෂව ප‍්‍රචණ්ඩත්වය අඩු සාමකාමී පූර්ව මැතිවරණ කාලයක් මෙවර දක්නට ලැබීම සාධනීය තත්ත්වයකි. ඒ පිළිබඳ අප සියලූ අදාළ පාර්ශ්වයන්ට අපගේ ස්තුතිය පිරි නමමු.

එමෙන්ම මැතිවරණ දිනයේ එනම් අගෝස්තු 05 වන දින ද එම සාමකාමී බව ආරක්ෂා කරගත යුතුය. එබැවින් අප සියලූම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඡන්දය දිනය තුළ ද මැතිවරණ නීතිවලට අනුගතව කටයුතු කරන ලෙසයි. ඡුන්දය ආයාචනා කිරීම, පත්‍රිකා බෙදා හැරීම, ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කිරීම, ඡන්ද දායකයන්ට සංග‍්‍රහ කිරීම, ඡන්ද දායකයන් බිය වැද්දීම, ඡුන්ද දායකයන් ඡුන්ද පොළට පැමිණීම වැළැක්වීම, අසත්‍ය ප‍්‍රචාර පැතිරවීම, වැනි කාරණාවලින් වළකින ලෙසයි. එමෙන්ම සමස්ථ ඡන්ද දායකයින්ගෙන්ම අප ඉල්ලා සිටින්නේ උදෑසනම ඡන්දපොළට ගොස් තම වටිනා ඡන්දය භාවිත කර ආපසු තම සුපුරුදු රාජකාරීවලට යොමුවන ලෙසයි. ඡන්ද මධ්‍යස්ථාන අවට ඒකරාශී වීමෙන් වළකින ලෙසයි.

ඡන්දය පොළට පැමිණීම

එසේම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණෙන විට මුව ආවරණයක් පැළදගෙන නිල් හෝ කලූ කාබන් පෑනක් රැගෙන එන ලෙසත් වලංගු අනන්‍යතා පත‍්‍රය සහ ඡන්ද නිවේදන පත‍්‍රිකාව හැර වෙනත් භාණ්ඩ ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන ඒමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටිමු. එසේම පෑන හෝ මුඛ ආවරණයේ කිසිදු ඡන්ද ලකුණක් හෝ ප‍්‍රවර්ධනය සදහා වන අංකයක් හෝ සලකුණුක් සදහන් නොවිය යුතු බවට සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටිමු. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබුක ද, 2019 ඡුන්ද හිමි නාමලේඛනයේ ඔබගේ සඳහන්ව ඇත්නම් ඔබට ඡන්දය භාවිත කළ හැක. එවැනි ආකාරයට පැමිණියහොත් එය මැතිවරණ දිනයේදී ඡන්ද ප‍්‍රචාරක කටයුතු කිරීමේ වරදට හසුවන බවත් සිහිපත් කරමු. එසේම ඡන්ද දිනයේදී ඡන්ද විමසීමට බාධාකාරීවන ලෙස සහ ඡන්දපොලට යාම අධෛර්ය කරන විවිධ කටකථා පැතිරවිය හැකි අතර එවැනි කටකථා වලින් නොමග නොයන ලෙසත් සැම විටම මැතිවරණ කොමිෂන් සභාවේ නිළ නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමු.

මැතිවරණ ආශ‍්‍රිත පැමිණිලි

මෙවර මැතිවරණයේදී මැතිවරණය ආශ‍්‍රිත ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් සාපේක්‍ෂ වශයෙන් අඩුවී තිබෙන බව අපගේ නිරීක්‍ෂණයයි. එසේම රාජ්‍ය දේපළ අයතා ලෙස භාවිතා කිරීමට ඉඩලබාදුන් රාජ්‍ය නිළධාරීන් පිළිබදවද අප නිරීක්‍ෂනය කර ඇති අතර එකී නිළධාරීන් සම්බන්ධව මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කර ඇති අතර ඉදිරියේදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් පරිදී ඒ පිලිබදව මැතිවරණ කොමිෂන් සභාව නීතිමය පියවර ගැනීම සදහා අතිරේක තොරතුරු ලබාදීමට අප සූදානමින් සිටයි. එසේම වත්කම් බැරකම් ප‍්‍රකාශ ලබා නොදුන් අපේක්‍ෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද අප සූදනමින් සිටියි.

මැතිවරණ කාර්යය මණ්ඩලය අගයමු

මෙවර මැතිවරණ සදහා මැතිවරණ කොමිෂන් සභාවේ නිළධාරීන් මෙන්ම සෞඛ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් කැපවීමකින් යුතුව තම දායකත්වය දීමට සූදානමින් සිටියි. නිදහස්ව සහ සාධාරණව පැවැත්වීමට සහ ඡන්ද මධ්‍යස්ථානය වඩාත් සෞඛ්‍ය ආරක්‍ෂිත ස්ථානයක් බවට පත් කිරීමට මෙම සියලූ දෙනා කැපවී සිටියි. එබැවින් නොබියව සිය ඡන්දය සළකුණු කිරීම සදහා පැමිණෙන ලෙස පැෆ්රල් සංවිධානය සියලූ ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.

පාර්ලිමේන්තුවට ගැළපෙන නියෝජිතයින් තෝරමු

අප මුහුණදෙමින් සිටින්නේ 9 වන පාර්ලිමේන්තු මැතිවරණයටයි. පාර්ලිමේන්තුව යනු රටේ ව්‍යවස්ථාන දායකය යි. එනම් නීති සම්පාදනය කරනු ලබන ආයතනය යි. 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී අප රටේ මූලික නීතිමය ලියවිල්ල වන ව්‍යවස්ථාව කුමක්දැයි නොදන්නා අය පවා පාර්ලිමේන්තුවට තෝරා යැව්වෙමු. එබැවින් මෙවර මැතිවරණයේදී පාර්ලිමේන්තු කාර්යභාර සිදු කිරීමට හැකි එනම් නීති සම්පාදනයට, ප‍්‍රතිපත්ති සම්පාදනයට , මහජන මුදල් කළමනාකරණය කිරීමට හැකි බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යවමු. පාර්ලිමේන්තුවට නියෝජිතයින් තොරා පත් කරන්නේ වසර 5කට වුවද අප සුදුසු පිරිසක් තෝරන්නට අපොහොසත් වුවහොත් ඔවුන් ගනු ලබන වැරදි තීරණ මත රටේ ඉදිරි දශක ගණනාවක පැවැත්ම අභියෝගයට ලක්වනු ඇත.

අපගේ ඉල්ලීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රධානතම ලක්‍ෂණයක් වන්නේ නිසි කලට පවත්වන නිදහස් සහ සාධාරණ මැතිවරණයන්ය. ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය නිසි ලෙස ක‍්‍රියාවේ යෙදවීමට නම් සියලූ පක්‍ෂ සහ කණ්ඩායම් සදහා සම බිමක් පැවතිය යුතුය. ජනතාවගේ නිවැරිදි ජනමතය බලපෑමකින් හෝ විකෘතිවීමකින් තොරව මැතිවරණයකදී ප‍්‍රකාශයට පත්වීම අත්‍යවශ්‍ය කරුණකි. එබැවින් ඒ සදහා දායකවීම මැතිවරණ කොමිෂන් සභාවේ, රාජ්‍ය නිළධාරීන්ගේ පොලිසියේ පමණක් නොව සමස්ථ ඡන්දදායකයින්ගේද වගකීමකි. එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වගකීම නිසි පරිදී ඉටුකරන ලෙස සියලූ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේම මැතිවරණයෙන් පසුවද ජය සහ පරාජය සාමාකාමී ලෙස සමරණ ලෙසද ඉල්ලා සිටිනු ලැබේ.

leave a reply