Breaking News

-උත්තම පොසොන් පෝ දා ලියූ උපදේශ කතාන්දරය-

තක්ෂිලා වීරසේකර

වෛද්‍යවරයා අබියස සිටගෙන සිටියේ, පුරාතන ග්‍රීක දෙවඟනක සිහි ගන්වන ආකාරයේ, සුන්දර පිරිපුන් කාන්තාවකි. පාරාදීසයේ සිට පැමිණියාක් බඳු වූ අතීත රෝමානු පන්නයේ සුදු දළ රෙද්දෙන් මැසූ, බොලට දක්වා දිගු ගවොමක් ද, හම් පටි සහිත සරල පාවහන් යුවලක් ද පැළැඳ හුන් ඇයගේ සිරස ස්වේත රෙදි කඩකින් අර්ධව වැසී තිබිණ. ඇගේ වම් කණට කිට්ටු වන්නට හිසෙහි කුඩා මල් ඉත්තක් ගසා තිබූ අතර, සුරතෙහි වූයේ, දුර්වර්ණ වූ පිත්තල ගාංචු සහිත ඝන බැටළු හමකින් එතූ පැරණි පුස්තකයකි.

වෛද්‍යවරයා සිටියේ ඉමහත් ප්‍රීතියෙනි. මේ, ඔහු තම සුහුඹුල් පෞද්ගලික මාතෘ සායනයේ වැඩ ඇරඹූ ප්‍රථම දිනයයි. ප්‍රථම දින මුල් අඩහෝරාව ඉකුත්ව යන්නටත් පෙර ඔහු සම්මුඛ වීමට ආ සිව්වන රෝගියායි මේ.

වෛද්‍යවරයා අසුන වෙත සුරත දිගු කරමින්, ඇයට හිඳගන්නා ලෙස සන් කළේය. සායනයේ බිත්ති වල ආලේප කළ නැවුම් තීන්ත සුවඳත්, තමන් ඉදිරිපස සිටගෙන සිටින මේ ප්‍රසන්න කාන්තාවත්, ඔහුට ආහ්ලාදජනක හැඟුමක් ගෙන ආයේය. ඔහු ඇය දෙස මද සිනහවකින් යුතුව බලා සිටියේය.

ඇය ඉතා පරෙස්සමින් නමුත් වේගයෙන් හිඳ ගත්තී, වෛද්‍යවරයා උගුර පාදා වචනයක් හෝ පිට කිරීමට පෙර, පැරණි පුස්තකය ගාංචුවෙන් මුදා, මේසය දිගේ ඔහු අසලට තල්ලු කර එව්වාය. විදුලි වේගයෙන් ඉදිරියට තල්ලු වී ආ පොතෙහි පිටු කීපයක් සට සට ගා එහා මෙහා පෙරැළී ගියේය.

අනුපිළිවෙලින් අංකනය කරන ලද නාමාවලියක් සහිත ඒ පොත ඔහු වහා අතට ගත්තේ කුතුහලයෙනි.
“1) Adem
2) Eve
3) Grace
4) Jaden
5) Mona…….
මොනවද මේ නම්…..?” වෛද්‍යවරයා ඇස් කණ්නාඩිය පහත් කරමින් විමසිලිමත්ව නමුත්, ආචාරශීලීව ඇසුවේය.
“දරුවන්ගෙ නම්”
“දරුවන්ගෙ?”
“ඔව්… දරුවන්ගෙ”
“කාගෙද?”
“මගෙ”
අනුමාන වශයෙන් පොතේ පිටු සියක් දහසකටත් එහා ඇති බව දුටු වෛද්‍යවරයා වහාම එහි අවසන් පිටුව පෙරළා ගත්තේය.
කියවාගත නොහැකි තරම් ඉතාමත්ම දිගු අංකයක් ඉදිරියෙන් වූ
“ස්වාස්‍යා සෙත්ශාස්‍රා සහස්‍රනෙසුල්‍යා…..” යන නාමය වෛද්‍යවරයා කියවා ගත්තේ ඉතාමත් අසීරුවෙනි.
“එයා ඉපදුනේ, තත්පර පණස් හයකට ඉස්සර. දැනට, මගෙ අන්තිම බබා එයා…”
“මොකක් ???”
“ඔව්, ඒත් අපි ඉක්මන් කරන්ඩ ඕනි ඩොක්ටර්. පුදුම වෙහෙසක් අරගෙනයි මම මේ විනාඩි පහේ ශෝට් ලීව් එක ඉල්ලා ගත්තෙ ඔබතුමාව මුණගැහෙන්ඩ. ‘කාලය’ කියන්නේ පොඩ්ඩක්වත් නවතින්ඩ කැමති හාදයෙක් නෙවෙයි. එයා නවතින්නෙත් නෑ, අපිට නවතින්ඩ දෙන්නෙත් නෑ. එයා කාව හරි නිවාඩු යවන්නෙ තත් ක්ෂණයකට විතරයි. ඒකත්, මරණයෙන්. ඒ නිවාඩුවත්, එහෙ බලල- මෙහෙ බලද්දි අවසන්. ඇයි වදේ, මැරෙන එකා ඉතිං අනික් අතට ඉපදෙන්ඩත් එපැයි.”

“හෝව්, හෝව්… මොකක්ද මේ කියන්නෙ? තමුන් මේ, අංගොඩින් පැනල එන ගමන් ද?”
වෛද්‍යවරයා නොසන්සුන් වූයේය. ඔහුගේ රැළි වූ නළෙලතෙහි වේගවත් දහඩිය බිංදු පෙළක් ඇඳී ගියේය.

“සමාවෙන්ඩ. ඔබතුමා කන්ෆියුස් වෙන්ඩැති. ඒත්, මට හරිම හදිස්සියි. තව විනාඩි පහකින් මම සෙනගාල් වල, ‘තෝමස් ශැනෝන් ගේබ්‍රියල්ස්’ ව බිහි කරන්ඩ ඕනි කියලයි පොතේ ලියැවෙමින් යන්නේ…”

සම්පූර්ණයෙන්ම හිස අවුල් වූ වෛද්‍යවරයා, විශාල කරගත් දෑසින් ඈ දෙස ගොළුව බලා සිටියේය. ඔහුගේ නිහඬතාවය නොඉවසූ ඇය නැවතත් වේගයෙන් කතා කරන්නට වූවාය.

“මං මෙහෙම කරන්ඩය කියලා ඔබතුමාගෙන් ඉල්ලන එක හරි නෑ… මාතෘ දෙවඟන කළල සංහාරය කරන්ඩ තීරණය කරලා, ගබ්සා වෛද්‍යවරයෙක් ගාවට රහසේම ගියාය කියලා දැන ගත්තොත් හැමෝම මට බොහොම දොස් කියාවි. ඒත්, දැන් මට වෙන කරන්ඩ දෙයක් නෑ… මේ සෙල්ලමෙන් මම දැන් හොඳටෝම හෙම්බත් වෙලා. ‘මනුෂ්‍ය’ ලේබලය යටතේ ‘අමනුෂ්‍යයින්’ බිහි කරලා, කරලාම දැන් මට එපා වෙලා ඩොක්ටර්….”

“මොකක් ??? මනුෂ්‍ය ලේබලය යටතේ අමනුෂ්‍යයින් බිහි කරලාම එපා වෙලා…?” වෛද්‍යවරයා අමාරුවෙන් උගුර පාදා ගත්තේය.

“ඔව්, ඔව්, ඔව්… මිනිස්සු බිහි වුණාට කෝ එතැන මනුෂ්‍යත්වය? කුහක, ප්‍රෝඩාකාර, යටිකූට්ටු වැඩ කරන, තවෙකෙක්ගෙ දියුණුවට වැට කඬුළු බඳින, හූල්ලන, ඉරිසියාකාර මිනිස් ප්‍රතිරූපකයො බිහි කරනවයි කියලා විශ්වය මට හැමදාම දොස් කියනවා. එයා කියන්නේ, මේ තරම් දහ බලු වැඩ කරන අසමජ්ජාතීන්ට දඬුවම් දීල දීලම දැන් එයාට ජීවිතේත් එපා වෙලාලු තියෙන්නේ. ඒ නරුමයින්ව බිහි කරන්නේ මං නිසා, එයාට මාවත් දැන් තිත්ත වෙලා. නීතියේ දෙවඟනත් තනතුරෙන් අයින් වෙන්ඩ ඕනි කියලා හැමවෙලාවෙම පැමිණිලි කරමින් ඉන්නේ… ඇත්ත තමයි ඉතිං, දවස ගාණෙ ලෝකෙ පුරා උසාවි ලක්ෂ ගාණකට ගොඩවෙලා, එක එකාට එරෙහි කන්දොස්කිරියාවල් අහන් ඉන්ඩ මොන දේවතාවිටද පුළුවන්? එයත් බණින්නෙ මට. ඇතීනාත් යුද්ධ කරලා, කරලාම හොඳටම වෙහෙස වෙලයි ඉන්නේ… ඊශ්‍රායලයට දුවලා ඊගාව මොහොතෙම ඇමරිකාවටයි, චීනෙටයි ගිහින් ආයෙමත් ගාසා තීරයටත් ගිහින්, ඊගාවට දියවන්නාව පැත්තෙත් ඇවිදින්ඩ උනාම ඇතීනට උනත් එපා වෙන එක හොඳටම සාධාරණයි..”

“හරි. ඇති, ඇති, හොඳටෝම ඇති. පැහැදිලියි. දැන් මගෙන්.. මගෙන්… මේ මගෙන් තමුන්ට ඕන උදව්ව මොකක්ද….?”

තොල කට වියැළී ගිය වෛද්‍යවරයා, අමාරුවෙන් කෙළ බිඳිත්තක් ගිල ගනිමින් හිස දෙපසට වනමින් මහ හඬින් කෑගැසුවේය. මේ මොහොතේ, තමන් පිස්සකු වී ඇති බවත්, විවෘත කිරීමේ උත්සවයේ අවිවේකී බව නිසාම අද කොලෙස්ටරෝල් පෙත්ත ගන්නට අමතක වූ බවත්, ඊයේ රාත්‍රියේ ප්‍රෙශර් පෙත්ත නොබිවු බවත් ඔහුට එක්වරම මතකයට ආයේය. මරණයට කැප වූ බිළිඳු කළල රැසක් තමන් වටා භ්‍රමණය වනවාක් මෙන් ඔහුට පෙනී ගිය අතර, ඔහුගේ දෑස් නිලංකාර වී ගියේය.

“හරි, හරි, ඔබතුමා මේ තරම් කලබල වෙන්ඩ එපා… අපිට තව විනාඩි තුන හමාරක්ම ඉතුරුයි. මට මගේ ගර්භාෂය ඉවත් කර ගන්ඩ ඕනෙ. මේ ඉපදෙන්ඩ ඉන්න ගේබ්‍රියල් එක්කම. ඉන් පස්සේ මම සදාතනිකව විශ්‍රාම යනවා. මට පුළුවනි, ඉන්දු නිම්නෙයි, යුප්‍රටීස් ටයිග්‍රීස් නිම්න වලයි, නයිල් ඩෙල්ටාවෙයි මගෙ දෙවොල් වලට වෙලා විවේක සුවයෙන් ප්‍රීතියෙන් ඉන්ඩ….. අනේ, මට මේ අමනුස්සයින් බිහිකරන ප්‍රොජෙක්ට් එක නවත්තලා දෙන්ඩ ඩොක්ටර්…”
.
.
.
“සර්, සර්….”
ඈත දුරක සිට කවුරුන් හෝ තමන් අමතන බව වෛද්‍යවරයාට ඇසුණි. ඔහු වහා නෙත් විවර කළේය. ඔහුගේ හිසට මහා බර ගතියක් දැණුනි.

“සර්, පේශන්ට්ස්ලා තුන් දෙනාගෙම ප්‍රෙශර් නෝමල්. ස්කෑන් රිපෝට්ස් ඕකේ. නෝ කම්ප්ලිකේශන්ස්. ඇබෝෂන්ස් තුනට තියටර් එක රෙඩි කරන්නද?”
සුදෝ සුදු වතින් සැරසුණු කරුණාවන්ත හෙදිය වෛද්‍යවරයා ඉදිරියේ සිටගෙන සිටියාය.

“ඇබෝශන්ස්? ඇබෝශන්ස්? පිස්සුද ඕයි? වහල දානවා මේ කෙහෙම්මල් බඩකඩිත්තුව. අකවුන්ට්ස් සෙක්ශන් එකෙන් මාසෙකම පඩිය ඉල්ලා ගනිල්ලා… ඉන් පස්සේ, හැම එකාම පලයව් ගෙදර. ආයෙ එකෙකුටවත් මෙහෙ රස්සා නෑ. එකෙක්වත් ආය මේ පැත්ත පළාතෙ එන්ඩ එපා. එලවල දාපල්ලා ඔය අම්මණ්ඩිලා රොත්තත්. ඇබෝශන්ස්… ඇබෝශන්ස්… ආව මෙතන දරුවො මරා දාන්ඩ…”

“ස්…සර්.., සර් ?”
හෙදිය ඔහු දෙස බලා සිටියේ තැති ගත් විස්මය පිරුණු දෑසිනි.

“අර මාතෘ දෙවඟනද කව්ද මන්දා කියපු කතාව ඇත්ත. මාත් මනුස්ස වේශයෙන් ඉන්න අමනුස්සයෙක්. මිනීමරුවෙක්. මගේ දියුණුව වෙන්න ඕනි මනුස්සකම අතින් නේද? ඇයි මම ජීවිත විනාස කරමින් මේ තරම් පව්කාරයෙක් වෙන්න හදන්නේ…? මට බෑ මේක කරන්ඩ… මට බෑ මේක කරන්ඩ…”

සායන කාමරයේ දොර “ඩාං” ගා විවර කර බිත්තියේ හප්පමින් වේගයෙන් සායනයෙන් පිටතට දිව ගිය වෛද්‍යවරයා, සුඛෝපභෝගී රථයට ගොඩ වී, සුක්කානමේ වැරෙන් හිස ගසා ගත්තේය…

 

කරන කලට පව්
මීරිය මී සේ
විඳින කලට දුක් දැඩිවෙයි
ගිනි සේ….

leave a reply