Breaking News

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතුද?

සුමනසිරි ලියනගේ

ශ්‍රීලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටවූයේ අන්තර් යුද සමයේ ලෝකයේ රටවල් අතර පැවති අසීමිත තරගකාරීත්වය ලෝක සාමයට අනතුරකැ යි ලෝක ප්‍රජාව විශ්වාස කළ හෙයිනි. රන් මිනුම බිදවැටීම සමග ලෝක මුදල් ක්‍රමයේ ඇතිවූ අස්ථාවරත්වය ආර්ථික වෘද්ධියට බාධාවක් ලෙස පිළිගැනින. මේ වනවිට කේන්සියානු සිද්ධාන්තවලට සෑහෙන පිළිගැන්මක් තිබූ හෙයින්, රාජ්‍යය ආර්ථිකයට මැදිහත්වීම නරකක් ලෙස නොසැලකින. ඒ අනුව ආයතන තුනක් පිහිටවින. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහින් තාවකාලික ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇතිවන සාමාජික රටවලට තම මුදලේ අගය ස්ථාවරව තබා ගැන්මට හැකිවන ණය සැපයීම අපේක්ෂා කෙරින.

ලෝක බැංකුව මගින් සාමාජික රටවලට සංවර්ධන ආධාර දීම අරමුණු කර ගැනින. වෙළදාම සහ තීරුබදු පිළිබද සාමාන්‍ය ගිවිසුම මගින් සාමාජික රටවල් අතර නිදහස් වෙළදාම ප්‍රවර්ධනය අපේක්ෂා කෙරින.

මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජික රටක් ලෙස ගෙවුම් ශේෂ ප්‍රශ්නයකදී එහි පිහිට පැතීමට ශ්‍රීලංකාවට අයිතියක් තිබේ. ශ්‍රීලංකාව 16 වතාවක් එසේ පිහිට පතා ඇත්තේ ය.

නවලිබරල් ගෝලීයකරණය 1980 පමණ පැන නැගීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සාමාජික රටවල ජාතික ආර්ථික ප්‍රතිපත්ති සහ වැඩ සටහන් කෙරෙහි ලොකු බලපෑමක් නොකළේ ය. නවලිබරල් ගෝලීයකරණය සමග මේ ආයතන ගැන නැවත කියවීමක් අනීවාර්‍ය වන්නේ ය.
දෙවන කරුණ වන්නේ, අද ශ්‍රීලංකාව මුහුණ දී සිටින ගෙවුම් ශේෂ අර්බුදය 1940 ගණන් අග ඇතිවේයැයි සිතූ වර්ගයේ එකක් නොවේ. මෙය දිග් ඇදුන ප්‍රශ්නයක් ය. මෙවන් දිග් ඇදුන ප්‍රශ්න සලකා නවලිබරල් ගෝලියකරණයට ගැලපෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෙක් වෙනස්කම් කර ඇතිබව සත්‍යයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීම ඒ නිසා දෘෂ්ටිවාදී ප්‍රශ්නයක් නොවේ. නවලිබරල් ගෝලීයකරණයට අවශ්‍ය සහ ගැලපෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ මෙහෙයුම්කරු ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්‍යභාරය වෙනස්වීම අපි සැලකිල්ලට ගතයුතු වෙමු. එය නොසලකා වියුක්ත ප්‍රශ්නයක් ලෙස සලකා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු අමාරු වෙලාවක පිහිටට එන ආයතනයක් ලෙස සැලකීම සාවද්‍ය ය.
මෙතනදී බොහෝ දෙන තර්ක කරන්නේ මාර්ග්‍රට් තැචර් අනුව යමින්, අපට වෙන විකල්පයක් නොමැති බව ය. මේ TINA ව්‍යාධිය අපේ රටේ වාමවාදී ආර්ථික විද්වතුන්ටද දැන් දැන් වැලදෙමින් තිබේ.
පටන්ගත යුත්තේ කොතනින්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතිය යුතුද නැත්ද යන්න අපට දෘෂ්ටිවාදී ගැටලුවක් නොව ප්‍රායෝගික ගැටලුවකි.
මේ අර්බුදය නිශ්පාදනය, නිශ්පාදනයේ කළමනාකරණය සහ නිශ්පාදනයේ අයිතිය අතර ඇති නොගැලපීමේ ප්‍රශ්නයක් ය. මෙරට ඩොලර් අතිරික්තය (dollar surplus) ප්‍රධාන වශයෙන් නිශ්පාදනය කරන්නේ, වතුකරයේ කම්කරුවන්, නිදහස් වෙළද කලාප කම්කරුවන් සහ සංක්‍රමණීය කම්කරුවන් ය. මෙයින් බහුතරය ගැහැණු ය. මේ අතිරික්තය පිළිබද තීරණ ගන්නේ මෙරට ප්‍රභූන් ය. එයින් සැලකිය යුතු කොටසක් ඔවුනගේ ආර්චනකාමී පරිභෝජනයට යෙද වේ. කොටසක් යටි මඩි ගැසේ. විසදුමක් සෙවීමේදි මෙය අවධාරණය කළ යුතුම ය.

විසිඑක්වෙනි සියවස ආරම්භයේ සිට මෙරට ණය ආර්ථිකයක් කළේ මේ පාලකයන් ය. අද රටේ විදේශ ණය ඩොලර් බිලියන 55 ක් ය. මෙය ශ්‍රීලංකාවට හෙමින් ඉතුරුකර ගෙවිය හැකි මුදලක් නොවේ. මේ ආර්ථික ක්‍රමය මගින් උත්පාදනය කළ හැක්කක් ද නොවේ. ණය ගෙව්වේ ණය කන්දට තව ණය එකතු කරමිනි. රාජපක්ෂ ආංඩුත්, යහපාලන ආංඩුවත් කරේ මෙය ය. අරපිරිමැස්ම අපේ පුරුද්දක් නොවින.
වරින්වර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට උපදෙස් දුන්නේ ය. ඒ උපදෙස් මගින් යෝජනා කළේ අපේ රටේ මේ තියන ජීවන තත්ත්වය පවත්වා ගැන්මට උදව් වූ අධ්‍යාපන හා සෞඛ්‍ය ක්‍රමය අඩපන කරන්නට ය. 1977 මේ ක්‍රියාත්මක වන ආර්ථික මූලෝපාය ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ය. එය රටේ ආර්ථික ස්වාධිපත්‍යය පැහැර ගත්තේ ය.

මේ නිසා දෘෂ්ටිවාදී නොවී ආංඩුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කරන විසදුම මෙරට පහළ මාලයේ ජනතාව කොන්දේසි තුනකට යට කරයි. ඒ කොන්දේසි තුන අපි මෙසේ ලැයිස්තුගත කරමු.
1. මේ අර්බුදය විසදීමට ඔවුන් යෝජනා කරන කිසිදු යෝජනකින් ජනතාවට විශේෂයෙන් සමාජ පහළ මාලයේ ජනතාවට කිසිදු අතිරේක බරක් නොපැටවිය යුතු ය.
2. මේ විසදුම් යෝජනා නිසා මේ වනවිට රටේ විශාල ණය කන්ද කිසිදු ආකාරයකින් ඉහළ නොදැමීමට වග බලාගත යුතුය.
3. මේ විසදුම් හේතුකොටගෙන ජාතියේ පොදු ධනයට සහ ජාතික ස්වාධිපත්‍යයට හානියක් නොවිය යුතු ය.
මේ කොන්දේසි වලට යටත්ව ඉදිරිපත් කරන ඕනෑම විසදුමක් සලකා බැලීමට සමාජ පහළ මාලයට දෘෂ්ටිවාදී බාධාවක් ඇතැයි මම නො සිතමි.

leave a reply