අලංකාරවත් දිගු දළ යුගලක් හිමි සුමේධ ඇත් රජු කලකට පසු මේ දිනවල මින්නේරිය ජාතික උද්‍යානයේ සැරිසැරීම සම්බන්ධයෙන් වනජීවී ක්ෂේත්‍රයේ කාගේත් අවධානය යොමුවී තිබේ. නමුත් සුමේධ මෙන්ම තවත් අලි ඇතුන් තුන්-හාරසියයකට වියළි සමයට තමන්ගේ ආහාර සහ අභිජනන අවශ්‍යතා සපුරාගැනීමට මග පෑදූ මින්නේරියේ වාර්ෂික වන අලි ඒකරාශීවීමට අත්වී ඇති අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් නම් බොහෝ දෙනෙකුට තැකීමක් නොවීම කණගාටුවට කරුණකි.
සෑම වසරකම මැයි සිට ඔක්තෝබර් දක්වා මින්නේරියේ දිගහැරෙන මෙම සොබාදහමේ අපූරු සංසිද්ධිය එහි උච්චතම අවස්ථාව වෙත ළඟාවන අගෝස්තු – සැප්තැම්බර් වන විට, 400 ක් තරම් වන අලි ඇතුන් ප්‍රමාණයක් මින්නේරි ජලාශයේ වැව් පිටියේ තණ බිම් මතට රැස් වුණේ බොහෝ කලක සිටය. ඊට හේතුව වන්නේ ක්‍රමයෙන් සිඳී යන ජලාශයේ මතුවන වැව් පිටියේ වර්ධනයවන නැවුම් තණකොළයි. ඒවා වියළි සමයේ අලි ඇතුන්ට ඉතා රසවත් මෙන්ම පෝෂණීය ආහාරයකි. එය ප්‍රදේශයේ අලි ඇතුන් සංරක්ෂණයට සහ අලි-මිනිස් ගැටුම් කලමනාකරණයට විශාල සහයක් ලබාදුන් අතරම වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින් උද්‍යානය වෙත ආකර්ෂණය වීමටද හේතුවක් විය. නමුත් රජයේ දෙපාර්තමේන්තු කිහිපයක කඹ ඇදිල්ල නිසා මෙම අසිරිමත් සිදුවීම දැන් අතීත මතකයක් පමණක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි.
ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයා අතරම ප්‍රකට සංචාරක ගමනාන්තයක් බවට පත්වීමට මෙරට වනජීවීන් සහ ජාතික උද්‍යාන පද්ධතිය ප්‍රධාන වශයෙන් බලපා ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. ඒ අතරින් අලි ඇතුන් වැඩිම සංඛ්‍යාවක් එක් ස්ථානයකදී නැරඹීම සඳහා ඉඩකඩ සැලසෙන මින්නේරිය ජාතික උද්‍යානයේ වාර්ෂික වන අලි ඒකරාශීවීමට (Elephant gathering) ලැබෙන ජනාදරය අතිශයින්ම විශාලය. මෙම විශ්මිත වනජීවී දර්ශනය ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යයන් 10 න් එකක්’ ලෙස ප්‍රකාශයට පත්කිරීමට ජාත්‍යන්තරව පිළිගත් සංචාරක මාර්ගෝපදේශකයක් වන ලෝන්ලි ප්ලැනට් සඟරාවද කටයුතු කළේ එබැවින් විය යුතුය.
නමුත් අලි ඇතුන්ගේ භාරකාරීත්වය දරණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මින්නේරිය ජලාශයේ භාරකාරීත්වය දරණ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන රජයේ ආයතන දෙක අන්තර්පාර්ශවීය සහයෝගයෙන්, සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් යුතුව කටයුතු නොකිරීමේ ප්‍රතිපලයක් ලෙස අප ඉහත කී ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යය’ අපට අහිමිවීම කොතරම් නම් අභාග්‍යක්ද?
සංචාරක සංවර්ධන විශේෂඥයෙකු සහ පර්යේෂකයෙකු වන ශ්‍රීලාල් මිත්තපාල මහතා පවසන්නේ මෙරටට පැමිණෙන සියලු විදේශ සංචාරකයින්ගෙන් සියයට තිස්පහක් පමණ පසුගිය ඉතිහාසය පුරා ජාතික උද්‍යාන නැරඹීම සිදුකර ඇති බවයි. නමුත් අප්‍රේල් 21 ප්‍රහාරය සහ කෝවිඩ් වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පසුබෑමකට ලක්වීමට පෙර අවසන් වශයෙන් 2018 වසර වන විට එම ප්‍රතිශතය සියයට හතළිස්‌හත දක්වා ඉහළට ගමන්කර තිබේ. මෙම සංචාරකයින්ගේ ප්‍රධාන ආකර්ශකය බවට පත්වන්නේ අලි ඇතුන් සහ කොටියන් වැනි සතුන්ය. මින්නේරිය ජාතික උද්‍යානයේ අලි ඇතුන්ට සංචාරක කර්මාන්තය හරහා ලැබී ඇති මුල්‍යමය වටිනාකම පිළිබඳව සිදුකරන ලද තක්සේරුවකදී අනාවරණයවී ඇත්තේ එක් සංචාරක සමයකදී මින්නේරිය ජාතික උද්‍යානයේ වන අලි ඒකරාශීවීම හරහා එහි පැමිණෙන එක් අලියෙකු රුපියල් මිලියන දහයක් පමණ අපේ රටට උපයා දෙන බවයි. ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෆාරි ජීප්රථ කර්මාන්තය සහ සංචාරක හෝටල් මගින් උපයන ලද ආදායම ඇතුලත්.
මින්නේරිය ජාතික උද්‍යානයේ අලි ඇතුන් පිළිබඳව දීර්ඝකාලීන අධ්‍යනයක නිරතව සිටින ආචාර්ය සුමිත් පිලපිටිය මහතා සඳහන් කරන්නේ මින්නේරිය ජාතික උද්‍යානයට මෙම ඉරණම අත්වුයේ 2018 වසරේ මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් මින්නේරිය ජලාශයට ජලය මුදාහැරීමත් සමග බවය. මින්නේරිය ජාතික උද්‍යානය වෙත ඒකරාශීවන අලි ඇතුන් ප්‍රමාණය ඉහළම අගයක් වෙත ළඟාවන සැප්තැම්බර් මාසයේ දෛනිකව වාර්තාවූ වන අලි සංඛ්‍යාවේ සාමාන්‍ය පිළිබඳව ආචාර්ය පිලපිටියගේ නිරීක්ෂණ අනුව 2017 වසරේ දිනකට අලින් 402 නිරීක්ෂණය වී ඇත. 2018 වසරේදී එම සංඛ්‍යාව 354 දක්වා අඩුවී ඇත. ක්‍රමිකව අඩුවී ඇති එම සංඛ්‍යාව ඉකුත් 2021 වසර වන විට 20 දක්වා ඉතාම බරපතල ලෙස අඩුවී තිබේ. ජලාශයේ ජලය පිරී තිබීම නිසා තෘණ පිටි නිර්මාණය නොවීමෙන් අලි ඇතුන්ට ආහාර හිඟවීම ඊට හේතුව බව ඔහුගේ නිගමනයයි. මෙම ඛේදවාචකය අවසන්කර යළිත් මින්නේරියේ වියළි සෘතු තෘණ බිම් අලි ඇතුන්ට හිමිකරදීමේ අවශ්‍යතාවය සංරක්ෂණවේදීන්, පර්යේෂකයින් මෙන්ම ජනමාධ්‍යවේදීන් 2022 අවුරුද්දේදී අවධාරණය කළෝය. නමුත් මේ සම්බන්ධයෙන් රාජකාරි ඉටුකිරීම සඳහා මහජන බදු මුදලින් වේතනය ලබා ගන්නා බලධාරීන් සහ නිලධාරීන් ඊට සංවේදී නොවීම හේතුවෙන් තවමත් මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් මින්නේරිය ගලවාගැනීමට අපි අසමත්ව සිටිමු.
ඉඩම් අක්කර ලක්ෂ 3ක් අලුතින් අස්වද්දා පුද්ගලයන් ලක්ෂ 15කට සෙත සැළසීම සහ පුද්ගලයන් ලක්ෂ 3කට පිරිසිදු පානීය ජලය සැපයීම මොරගහකන්ද කළුගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු අතර වෙයි. නමුත් වාර්ෂිකව රටට හිමිවූ රුපියල් බිලියන ගණනක් වටිනා විදේශ විණිමය අහිමිකරමින් ඉඩම් අක්කර ලක්ෂ 3ක් අස්වැද්දීමේ වැදගත්කම කුමක්ද යන්න බලධාරීන් දැන්වත් විමසා බැලය යුතුයි. තවද මෙම පාරම්පරික වියළි සෘතු ගොදුරුබිම අහිමි වීමෙන් ආහාර හිඟයට මුහුණදෙන අලි ඇතුන් නිතැතින්ම ප්‍රදේශයේ ජනතාවගේ නිවාස, ගෙවතු සහ කුඹුරු බිම් ආක්‍රමණය කිරීම නොවැලැක්විය හැකි අතර එයින් සිදුවන්නේ දැනට අලි-මිනිස් ගැටුමෙන් පීඩා විඳින අහිංසක දුප්පත් ගොවි ජනතාව කබලෙන් ලිපට වැටීම සහ තවත් අලුත් පිරිසක් අක්‍රමවත් සංවර්ධනයේ අනාථයන් බවට පත්වීම පමණයි. අලි ඇතුන්ගේ ගැහැණු සතුන් සහ පැටවුන් මිනිසුන්ගේ භවබෝග ආක්‍රමණය කිරීමක් සිදු නොකරන අතර ඔවුන්ටත් සිදුවන්නේ කුසගින්නේ සහ මන්දපෝෂණයෙන් මරණයට පත්වීමටයි. එම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ආසියානු අලි උප විශේෂයේ අනාගත ඉරණම තීරණය කරනු ලබන්නේ කුමන ආකාරයකින්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමුකර අපේ රටට උරුම මෙකී ‘ලෝකයේ ශ්‍රේෂ්ඨතම වනජීවී ආශ්චර්යය’ නැවතත් මින්නේරිය ජාතික උද්‍යානයේ දිගහැරෙන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වගකිවයුතු සියලු දෙනාගේ යුතුකම සහ වගකීම වුවත් ඊට පරහට හිට තිබෙන අදාළ ආයතන තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි අයුරින් ඉටු නොකිරීම, කර ඇරීම සහ කඹ ඇදීම තවමත් නිමාවට පත්ව නොමැති බව අප අවධාරණය කරමු.
මෙරට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දැක්ම වන්නේ ‘අහසින් වැටෙන එක ජල බිඳුවකුදු ලෝකෝපකාරයෙන් තොරව මුහුදට ගලා යා නොදෙනු’ යන මහා පරාක්‍රමබාහු රජතුමාගේ පාඨය ගුරුතැන්හිලා, පරිසරයද සුරැකෙමින්, තිරසාර ආර්ථික හා සමාජ සංවර්ධනය සහතික කරනු සඳහා රටේ ජල සම්පත් වලින් ලබාගත හැකි ප්‍රයෝජන ප්‍රශස්ත මට්ටමට ගෙන ඒම’ ය.
අදාළ දෙපාර්තමේන්තුව උක්ත ‘දැක්ම’ මත අකුරටම පිහිටා කටයුතු කිරීම නිසාදෝ ඔවුන් දිය බිඳක් මුදාහැර වියළි සමයට මින්නේරියේ වැව් පිටි නිරාවරණය වන පරිදි ජලාශයේ ජල මට්ටම කලමනාකරණය කිරීමට පැකිලෙනවාද යන සැකය මේ මොහොතේ අප හමුවේ ඇත. නමුත් මිනිස් අවශ්‍යතා සඳහා අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන අතර අතිරික්ත ජලය ස්වල්පයක් මුදාහැර වන අලින්ට අවශ්‍ය ගොදුරුබිම් සපයා දීම උත්සාහ කළොත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අපහසු කටයුත්තක් නොවේ. එහෙත් ඊට පරහට හිට ඇත්තේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ‘වතුර බිංදුවේ න්‍යාය’ බව දැනගන්නට ලැබේ. එබැවින් සුමේධ ඇතුළු අලි ඇතුන් තුන්-හාරසියයකට මෙම ඉරණම අත්කරදී ඇත්තේ මහා පැරකුම්බා රජ විනා වාරිමාර්ග හෝ වනජීවී දෙපාර්තමේන්තුව නොවන බව පැහැදිළිය.
එබැවින් මහා පැරකුම් නිරිඳුනි,
මේ අසරණයන්ගේ ජීවිත ගැන ඔබ වහන්සේගේ කාරුණික අවධානය යොමුකර ඉන්න තැනක සිට ‘වතුර බිංදුවේ න්‍යාය’ සංශෝධනය කර ප්‍රකාශයක් නිකුත්කරනු මැනවි!
ඡායාරූපය: සාරංග දේව ද අල්විස්