Breaking News

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ වගකීම

නව ආණ්ඩුවක් බලයට පත්වීමෙන් අනතුරුව තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව කටයුතු කිරීමට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට, එකී ආණ්ඩුවට ඇති වගකීම අපි පිළිගනිමු. එමෙන්ම ඊට යම් බාධා තිබේනම් ඒවා කළමනාකරණය කරගැනීමද කලයුතුව ඇත. එහෙත් එහිදී මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන මූලධර්ම නොසලකා කටයුතු කිරීම යහපත් පාලන තන්ත‍්‍රයකදී නොකල යුත්තකි.

එමෙන්ම ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු වත්මන් ජනාධිපතිතුමාගේ බොහෝ ක‍්‍රියාමාර්ග පක්ෂ භේදයකින් තොරව ජනතා ප‍්‍රසාදය දිනාගත් අතර ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය පාර්ලිමේන්තු මැතිවරණයේ ඉහළ ජයග‍්‍රහණයටද හේතුවිය. 20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව අපගේ නිරීක්ෂණයයි.

ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වත්මන් රජයට පැහැදිලි ජනවරමක් හිමිවූ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමද ඔවුන්ගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ ප‍්‍රධාන මාතෘකාවක් විය. ඒ අර්ථයෙන් සැලකීමේදී 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ජනවරමට අනුව යාමකි. එහෙත් 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගෙන එන ඕනෑම සංශෝධනයකට ජනතා වරම ලබා දී නැති බව අවබෝධ කර නොගතහොත් ජනතා අප‍්‍රසාදයට ලක් වීම නොවැළැක්විය හැකිය. ඒ අනුව 20 ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමේදී ඉතා ප‍්‍රවේශමෙන් ජනතා අභිලාශය අනුව තීරණ ගත යුතුව ඇත. එමෙන්ම නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන රටාවක් ක‍්‍රියාත්මක ලංකාවේ සංවරණ හා තුලන ක‍්‍රමය නොසලකා ව්‍යවස්ථා සංශෝධනය සිදුකල සෑම අවස්ථාවකම එකී ආණ්ඩු මහජන අප‍්‍රසාදයට ලක්වූ අතර රට තුළ අර්බුධකාරී තත්ත්වයන්ද නිර්මාණය විය.

එබැවින් අප පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් හා විශේෂයෙන්ම රජය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අත එසවීමට පෙර එය නැවත නැවතත් කියවා බලන ලෙසයි. ජනතාව වෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කිරීමට බැ`දි සිටින ඔබ මේ මොහොතේ ගනු ලබන තීරණ ඔබේ දේශපාලනයත් අපේ රටේ අනාගතයත් තීරණය කරන බැවින් 20 ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සාධනීය කරුණු මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයට නොගැලපෙන කරුණු සාකච්ඡා කර සංශෝධනය කරන ලෙසයි.

පැෆ්රල් සංවිධානය 20 වන සංශෝධනයේ ඉතා බරපතල කරුණු 22 ක් හඳුනාගෙන ඇති අතර, ස්වාධීනව පැවැතිය යුතු ආයතන දේශපාලනීකරණයට ලක්වීම ඒ අතර ප‍්‍රධාන තැනක් ගනු ලබයි. විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පත්කිරීම, මැතිවරණ කාලය තුළ රාජ්‍ය සේවයේ පත්වීම්, මාරු කිරීම්, උසස් කිරීම් හා රාජ්‍ය දේපල අවභාවිතය වැළැක්වීමට තිබූ බලතල ඉවත් කිරීම බරපතල තත්ත්වයකි. අනාගතයේ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මත රාජ්‍ය සේවා කොමිසම විසින් මැතිවරණ කාලය තුළ නිලධාරීන් මාරුකලහොත් මැතිවරණ කොමිෂන් සභාව අර්බුධයකට යනු ඇත. එවැනි වටපිටාවක ඉදිරි මැතිවරණ නිදහස් හා සාධාරණව පැවැත්වීමට නොහැකි වාතාවරණයක් උද්ගත වුවහොත් එහි වගකීමෙන් බැහැර වීමට ඔබට නොහැකිවනු ඇත.

එමෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 154 ව්‍යවස්ථා සංශෝධනය හරහා රාජ්‍ය සමාගම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට තිබූ අයිතිය අහිමි කිරීම හරහා රාජ්‍ය මූල්‍ය පාලනයට පාර්ලිමේන්තුවට තිබූ වගකීම හා අයිතිය අහිමි කර ඇත. එමගින් ශී‍්‍ර ලංකා ගුවන් සමාගම, ලිට්රෝ සමාගම, සීනි සමාගම්, විදුලි සමාගම් වැනි රාජ්‍ය මුදල් බිලියන ගණනින් හුවමාරුවන රාජ්‍ය සමාගම් 100 ට වැඩි ප‍්‍රමාණයක් පිළිබඳව ජනාධිපතිවරයාට හා පාර්ලිමේන්තුවට දැනගැනීමට තිබූ අයිතියද යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අහිමි වී ඇත.

මෙම කෙටුම්පතෙහි නැවත සංශෝධනය විය යුතු ප‍්‍රධාන කරුණු අතර ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීම, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන ප‍්‍රතිපාදනය අහෝසි කිරීම, ඇමති ධුර සංඛ්‍යාවට තිබූ සීමා ඉවත් කිරීම, වසරක් අවසන් වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය ලැබීම, විදේශ පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට ජනාධිපති මැතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීමට ඉඩ ලබාදීම පෙන්වාදිය හැකිය.

යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම තේමා කරගනිමින් පාර්ලිමේන්තුවට පත්වූ උගත් බුද්ධිමත් නවක මන්ත‍්‍රීවරුන්ගේ වගකීම වනුයේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදන වගකීම මැනැවින් වටහාගෙන හෘදසාක්ෂියට එකඟව සම්ප‍්‍රදායික මන්ත‍්‍රීවරුන්ට ආදර්ශමත්ව හා මගපෙන්වීමක් වන සේ මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී කටයුතු කිරීමයි.

එබැවින් අප ආණ්ඩු පක්ෂයේත්, විපක්ෂයේත්, පක්ෂ නායකයන්ගෙන් සහ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ දේශපාලන කඳවුරුවලින් බැහැරව 20 ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ඝතව ඇති සාධනීය හා නිශේධනාත්මක කරුණු පිළිබඳව මනා අධ්‍යනයක් සිදුකර, නව කෙටුම්පතක් සකස් කිරීම හෝ කාරක සභා අවස්ථාවේදී සුදුසු සංශෝධන සහිතව සම්මත කරගන්නා ලෙසයි.

එහිදී කරුණු දෙකක් ඔබේ අවධානයට යොමුකරනු කැමැත්තෙමු. 18 වන සංශෝධනයට අත් එසවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පසුව මහජනතාවගෙන් සමාව ඉල්ලූ අතර 19 සංශෝධනයට පාර්ලිමේන්තුවේ එක් මන්ත‍්‍රීවරයෙකු හැර සියයට 99.5 පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු එනම් 224 ක් ඊට සහාය දැක්වූහ. අද එම පිරිසෙන් සැලකිය යුතු පිරිසක් 20 වන සංශෝධනයට සහාය පලකරමින් සිටියි. එබැවින් ඔබ අනාගතයේ පසු නොතැවෙන ආකාරයට කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔබගේත් උත්තරීතර පාර්ලිමේන්තුවේත් ගෞරවයට හේතුවනු ඇත.

එමෙන්ම ඉතිහාසයේ පටන් රටේ මූලික නීති ලියවිල්ල පුද්ගල සාධක මත ඒ ඒ මොහොතේ පැවති දේශපාලන තත්ත්වය මත හා අහඹු වෙනස්වීම් මත සිදුකරන සංශෝධන වලට තිත තබා රටේ හා ජනතාවගේ යහපැවැත්ම අරභයා දීර්ඝකාලීන තත්ත්වයන් සැලකිල්ලට ගෙන ව්‍යවස්ථා සංශෝධන සිදුකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂක,
පැෆ්රල් සංවිධානය.

leave a reply