ඕක් ගස් හරි උස යි.
ගහ යට හිට ගත්තම මුළු බෙල්ල ම හරවලා තමයි ගහේ සිරස දිහා බලන්න වෙන්නෙ.
ඉතිං මමත් බැලුවෙ එහෙම තමයි ඒ ගස් දිහා ඒ දවස් වල.
පාවෙල් දිහාත් බැලුවෙ එහෙම. එයා මට වඩා ගොඩක් උසයි. හරි හීන්දැරියි. උඩු රැවුලක් තිබුණා. මූණ පුරා තැනින් තැන අපිළිවෙළ ට රැවුල් කොට වැවිලා. වැඩි හිනාවක් නැති මූණට ඒ පෙනුම ගෙනාවෙ හරිම රැඩිකල් බවක්.
අමුතු ම හැඩයක පැත්තකට බර වෙච්ච තොප්පියක් එයාගෙ ඔළුවේ තිබුණා හැම වෙලේ ම.
මම ගොඩක් ම ආස කලේ ෆැක්ට්රි එකේ වැඩ ඉවර වෙලා මහන්සි වෙලා ඉර දම්පාට ට බැහැගෙන යන හවස් වරුව ට ගෙදර එන එයාගෙ ස්වරූපය ට.
යාළුවොත් එක්ක මඟදිග ට බරසාර කතා පවත්වමින් ඉදලා දූවිලි ගැහිච්ච බූට් සපත්තු වලින් බර අඩි තිය තිය චරස් චරස් ගාලා කර වෙච්ච ඕක් කොළ පාග ගෙන බැරෑරුම් මූණක් හදාගනෙ ලොකු කල්පනාවක ඈතින් එන එයා දිහා ගෙදර දොරකඩ ට වෙලා බලාගෙන ඉන්න මම හරි ආසයි.
තොප්පිය ගලවලා රාක්කෙ එල්ලුවා ම හිමින් ලඟට ගිහින් පපුව ට තුරුළු වෙලා ඕක් ගහ දිහා බලනවා වගේ මුළු මූණම හරවලා එයාගෙ ඇතුළට ගිළුණ ඇස් දිහා බලන්න.
රළු අත් වලින් ආදරෙන් මගේ ඔළුව අතගාලා ටිකක් වැඩිපුර පහත ට නැමිලා නළල ඉබිනකොට, කූරු කූරු රැවුල් කොට ගෑවෙන්න මගෙ කම්මුල් ඉඹින කොට යකඩ, දූවිලි මිශ්‍ර දාඩිය සුවඳ විඳින ගමන් ඒ අවංක ආදරය දැනෙන්න අරින්න මම හරිම ආසයි.
දැනටමත් උදුන උඩ නටන කේතලෙන් උණු ම උණු කෝපි කෝප්පයක් හදලා දුන්න ම ඒකත් තොල ගාන ගමන් පුටුව ට බර වෙලා ඇස් දෙකත් පියාගෙන බැලලයිකාව වයන පාවෙල් දිහා මම ඈත ඉදන් බලන් ඉන්නවා.
හිමින් ඇස් ඇරලා ඔළුවෙන් සන් කරාම හා පැටියෙක් වගේ ඒ පුටුව ලඟට ඇදිලා ඇවිත් බිම වාඩිවෙලා එයාගෙ දණහිසක් අත් දෙකින් ම බදාගනෙ මූණ දිහා බලාගෙන ඒ හඬ ට ඇහුම්කන් දෙන්න මම කවදත් ආසයි.
ඉතිං ඔන්න ඔහොම යි මැක්සිම් ගොර්කිගෙ ‘අම්මා’ නවකතාව කියවන කොට මම පාවෙල් ට ආදරෙ කළේ. මට ඕන කරලා තිබුණේ පාවෙල් වගේ ආදරවන්තයෙක්.
ඔය කාළේ තමයි දුයිෂෙන් අපේ අයිලය ට ආවේ. පාවෙල් වත් හිතේ කොණක තියාගනෙ කළු ලොම් කබායකුත් පොරවගෙන යුධ හමුදා සේවය කර පැමිණි තෂ්තාන්බෙක්ගේ පුත් ගැටවර දුයිෂෙන්ගේ අපූර්ව පෞර්ෂය මාව, මගේ හිත හරිම ඉක්මන ට ආක්‍රමණය කරන්න පටන් ගත්තා.
ඒ ඉවසිලිමත් නමුත් තියුණු නොනැමෙන ගතිගුණ හදවතට ම කිඳා බැසගෙන කියලා තේරුම් ගියෙ ඇත්තට ම ගොඩක් ම පහුවෙලා.
අයිලය ට උඩ පොප්ලර් ගස් අතරින් අශ්වගාල ට හෙමින් හෙමින් පියවර තියලා යන, රාජලියෙකුගෙ වගෙ දිග ඇහිබැමි තියන, උස, ශාන්ත පෙණුමක් තියන ගැටවර දුයිෂෙන් ට මම ඉබේ ට ම ආදරය කරන්න පටන් අර ගත්තා.
ඒක ගෞරවය මුසු හරිම අපූරු ආදරයක්. ලංනොවී දරාගන්න විදිය දුයිෂෙන් මට කියලා දුන්නා. ඒ නිහඬ ආදරය ට මම ගොඩක් ම ආදරය කළා.
උස දුඹුරු තොප්පියක් දාලා , නිල් , දුඹුරු කොටු මිශ්‍ර අත්දිග කොට්න් කමිසයක් ඇදගෙන මම ආසම විදිය ට අතේ වැලමිට ට ටිකක් පහළට අත් දෙක නමලා කන්ද නඟින, මවා ගත්ත ඒ රූපකාය හිමි චිංගීස් අයිත්මාතව්ගේ ‘ගුරුගීතයේ’ දුයිෂෙන් නොදැන ම මගෙ හිතේ අරක් ගත්තෙ ඔය විදිය ට.
ඉතිං ඊට පස්සෙ ඔහොම ඔහොම ගිහින් ,
මාටින් වික්‍රමසිංහයන් විසින් රචිත ‘ගම්පෙරලියෙ’ පියල් ට, කරුණාසේන ජයලත්යන් ගෙ ‘ගැහැණු ළමයින්ගෙ’ ලොක්කයියා ට වගේ ම ‘ගොළු හදවතේ’ සුගත් ට, හර්බට් රන්ජිත් පිරිස්යන් ගේ ‘එක්ටැම් ගේ’ චිත්‍රපටයේ සුපර්වයිසර් සරත්ටත් නොසෑහෙන්න ආදරය කළා. ඒ වගේ ම විජය ධර්ම ශ්‍රී යන් අධ්‍යක්ෂණය කළ ‘දුහුල් මලක්’ චිත්‍රපටයෙ රොහාන් හදවත ට ම කිඳා බැහැගෙන තිබුණේ.
මගේ හිතේ හිටපු ආදරවන්තයා මේ හැමෝගෙ ම සම්මිශ්‍රණයක් කියලා මම පස්සෙ තේරුම් ගත්තා.
ඉතිං මේ සේරම විලම්බෑසි අතරේ මහාචාර්ය සුනිල් අරියරත්නයන් විසින් රචිත නන්දා මාලනිය නම් අසහාය ගායිකාව විසින් ගයන ‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි’ සිංදුව පිස්සුවෙන් වගේ අහන්න පටන් ගත්තා.
දැන් ඉතිං මම, රුසියාවෙ සොලියන්කා, බොට්විනා එක්ක ගෝවා සුප් බීපු, ලංකාවේ මාළු ඇඹුල් තියල් ඇතුළු කළවම් කෑම ජාති ගොඩක් ම රස බලපු අච්චාරුවක් වගේ ප්‍රේමවන්තයො හිතේ හිරකරගෙන මහාචාර්ය සුනිල් අරියරත්නයන් ලියලා තිබුණ රාගයෙන් තොරව ආලය කරණ පිරිමියෙක්ගෙ පුදුමාකාර ආදරයක් තමයි හෙව්වෙ.
අපි හැමෝම ත් ජීවිත කාළයේ ම සෘතු භේදයකින් තොරව ම අපේ හිතේ අරක් ගත්ත ෆැන්ටසියක හිර වෙලා ඉන්න ආදරවන්තයා හොයමින් යන ගමනක් මේක.
මුලදී මුළු හදවතින් ම ආදරය කරන්න පටන් ගන්නෙ ඒ හොයමින් යන අතර හම්බවෙන පුද්ගලයාට නෙමෙයි , අපේ හිතින් මවාගත්ත චරිතාංගයන්ගෙන් හෙබි ආදරණීය ආදරවන්තයාට හෝ ආදරවන්තිය ට.
ඉතිං ඊට පස්සෙ මේ සම්බන්ධතා ඇතුළෙදි , එක් එක් පුද්ගලයා ට සාපේක්ෂව නිශ්චය කළ නොහැකි අඩු වැඩි කාළ සීමාවල් තුළදි අවබෝධ කරගන්නවා මේ අපේ හිතේ හිටපු පුද්ගලයා නෙමේ කියලා.
ඒත් එක්කම අර ෆැන්ටසියක හිරවුණ හීන ලෝකේ කැඩිලා බිඳිලා යනවා. ඒ වුනත් දෙදෙනා ට දෙදෙනා තුළ තියන ආකර්ෂණයේ ධාරිතාවය මත සමහර අයට ඒ ආදර සම්බන්ධතා අතැර ගන්න බැරි වෙනවා, සමහර අය අතැර ගන්නවා ,සමහරු ගලපා ගෙන යන්න උත්සාහ කරනවා. මේ කොහොම වුනත් ආදර සම්බන්ධතා වලදි අපි කවදාවත් සෑහීමක ට පත්වෙන්නෙ නැහැ.
ඔය ආදර පුරාවෘතයන් ගෙ එන ආදරවන්තයෝ වුනත් එක් නිශ්චිත කාළයක දී ඒ ආදර කතාව නවත්තපු නිසාම යි ඒවා අදට ත් නම ගිය ආදර කතා බවට පත් වෙලා තියෙන්නෙ.
බැරි වෙලාවත් හිතන්න, රොමියෝ, ජුලියට් මැරි කරානම්, තරහ ගියපු වෙලාව ට බනින්න ඉඩ තිබ්බා වහ බොන්න සිද්ධ කරපු එක ට. දසකොන් ප්‍රමිලාව අරගෙන පැනලා ගියා නම් ගෙදර අඩුපාඩු දැනෙන කොට , ලැබුණ රජ සැප මතක් කර කර කියවන කොට, දස්කොන් ගේ ආදරේ පෑල දොරින් පැනලා යන්න තිබුණා.
අපේ හිත් ඇතුලේ ඉන්න මනඃකල්පිත ආදරවන්තයා හෝ ආදරවන්තිය ඒ විදියට ම අපිට කවදාවත් යතාර්ථවාදී ලෝකේ පුද්ගලයෙක් ගෙන් ලබාගන්න හම්බ වෙන්නෙ නැහැ.
ඉතිං කළයුතු හොදම දේ අපිට දැනෙන ආදරයක නතර වෙලා ඉන්නවනම් , ඒ කෙනාගෙන් අපි හිතන ආදරවන්තයා බලාපොරොත්තු නොවී ඉඳීම. අපේ හිතේ ඉන්න ආදරවන්තයා ට ඇත්තට ම අපි ආදරේ නම්, එයා එහෙමයි කියලා හිතලා අවංකව ඒ හිතේ ඉන්න ආදරවන්තයාට ආදරේ කරමින් ම යාම තමයි හොදම.
බාහිර පුද්ගලයා කරණ ආදරෙ පිළිබද තක්සේරුවකින් තොරවම පාන අසීමාන්තික ආදරයක් ඒක. ඒ වගේ ම විරුද්ධ පාර්ශ්වය ට උපරිම නිදහස දීම තුළ තමයි සැබෑ ආදරය රදා පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නෙ.
‘ඔබ ආදරය කරන පුද්ගලයා ට ඔබෙන් යමක් නොලැබේ නම් එය ලැබෙන කෙනෙක් වෙත යාමට ඉඩහැරීම ට තරම් ඔබ පරිත්‍යාගශීලි නම් එතන මයි ආදරය’ කියලා ආදරය පිළිබද තියන විග්‍රහයක සදහන් වෙනවා. ඔබේ අවංකත්වය දවසක ඔබට එහි ප්‍රථිපල ලබා දේවි.
ආදරය පිළිබද තවත් විශ්ලේෂණයකදි එක තැනක සදහන් වෙලා තියනවා , ‘සිත් බිඳීම් , වංචනික හැසිරීම්, අයථා සම්බන්ධකම් එකී මෙකී නොකී හැම දෙයක් ම දැනගෙනත් අවසානයේ ඔබගේ හිත තුළ තම ආදරවන්තයා හෝ ආදරවන්තිය පිළිබද නොනැසෙන ප්‍රේමය ක් පවත්නේ ද එතැන තමයි ආදරය’ කියලා .
එවෙනි අවෛරී හිතක් හදාගෙන , හිත ප්‍රභාශ්වර තබාගෙන ආදරය කරන්නා ට මුළු ලෝකයට ම ආදරණීය හදවතකින් අවංකව ම ආදරය කරන්න පුළුවන් වෙයි.
ඒ වගේම තව දෙයක් තියනවා, ඔය ස්ත්‍රී පුරුෂ ආදරය , ප්‍රේමය කියන්නේ චිත්තවේගාත්මක , භාවාත්මක ලිංගික ආකර්ෂණය ට සම්බන්ධ හැඟීම් සහ අත්දැකීම් ගොඩක් එකතුවක් නිසා අන්තිම ට තේරුම් ගත යුතුම දේ තමයි ඔය ගීත වල තියන විදියට රාගයෙන් තොර දෙයක් නම් නෙමේ ඒක කියලා.
ඉතිං,
ආදරයට ආදරේ කරන්න වගේම ආදරේ උපරිමව ම විඳින්න ඕන නම් , පුරුෂයන්ගේ ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම, ගැහැණුන් ගේ ඊස්ට්‍රජන් නිපදවීම වගේ ම ගැහැණු පිරිමි ආකර්ෂණය සදහා වඩාත්ම උපයෝගී වෙන ඩොපමීන් , සෙරටීන් වගේ හෝමෝන නිපදවීම සම්බන්ධව ත් ටිකක් වැඩිපුර අධ්‍යනය අනිවාර්යයෙන් ම වැදගත් වෙයි.
ආදර සම්බන්ධයකදි ඔය ආකර්ෂණය උපරිම තැනක දී හම්බවුන දෙන්නෙක් ට ඒ සම්බන්ධය පෙර කී ලෙස අවබෝධයෙන් පවත්වාගෙන යන්න පුළුවන් නම් එතන ලස්සන ම ආදර කතාවක් ගොඩනැගේවි.
ගමනාන්තයක් නොමැති නොනවතින වක්‍රයක් වගේ චක්‍රයක ගමන් කරණ විශේෂයෙන් ම ක්ෂීරපායි සත්වයන් වන අපිට ස්වභාවධර්මය විසින් දීලා තියන මේ ආදරය , ප්‍රේමය කියන භාවාත්මක හැඟීම උපරිමව අවංකව පතුරුවන් ට පුළුවන් සහකම්පනයක් තියන සුන්දර මිනිහෙක් වෙන්න පුළුවන් නම් එදාට මේ ලෝකය දැනට වඩා ගොඩක් සුන්දර තැනක් වේවි.