Breaking News

ක්ෂුද්‍ර මූල්‍ය ණය ජාවාරම්කරුවන් ආරක්ෂා වන්නේ කොතැනින්ද?

මොකක්ද මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය
කෘෂිකාර්මික කටයුතු ,ස්වයං රැකියා ,කුඩා පරිමාණයේ ව්‍යාපාර කිරීම හරහා ග්‍රාමීය දුප්පත් කාන්තාවන් ගේ සමාජ තත්ත්වය උසස් කර දුප්පත් කම දුරලීම මෙම ණය හි තේමාවයි .දැනට පවතින 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධාන අති විශාල ප්‍රමාණයක් ලංකාවේ ගොවි දිස්ත්‍රික්කවල දිළිඳු ග්‍රාමීය කාන්තාවන් ,කඳුකර වතු ආශ්‍රිත කාන්තාවන් නාගරික වතු ආශ්‍රිත කාන්තාවන්ව පොළබවා ගන්නවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණයක් ලබා ගන්නේ කොහොමද?
මෙම ණය ලබාගැනීම සඳහා දේපල හිමිකම් ,ව්‍යාපාර හිමිකම් ඒවා ඇස්තමේන්තු කිරීම ණය ලබා දීමේදී සිදු නොකරයි. ස්ථිර මාසික වැටුප් හෝ වෙනත් කිසිවක් නොවිමසයි .අවශ්‍ය වන්නේ ණය ලබා ලබාගැනීම සඳහා එකඟ වූ , එකිනෙකාට ඇපයට අත්සන් කිරීමට එකඟ වූ , දිළිඳු කාන්තාවන් පස් දෙනෙක් ගේ කණ්ඩායමක් පමණි .සිංහලෙන් තිබුණත් කියවාගත නොහැකි පෝරම පහළොවක් විස්සක් වැනි ප්‍රමාණයක් (බොහෝ විට ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ඇත) මෙම කාන්තාවන් කැඳවා පැයක් එකහමාරක් තුළ අත්සන් කොට අවසන් කිරීමෙන් පසුව මෙම ණය ලබා දෙයි. පොලිය පිළිබඳ කිසිදු දැනුවත්භාවයක් සිදු නොකරයි. අනතුරුව දෙසතියක් හෝ මාසයක් තුළ වාරික අය කිරීම පටන් ගනී .

ණය පොලී අනුපාතය කියක් විතර වෙනවද ?
මෙම ණය හි පොලී අනුපාතය 35% හෝ සමහර විට ඊටත් වඩා වැඩි වේ .එහෙත් දැනට ලංකාවේ පවතින කිසිදු ව්‍යාපාරයකින් හෝ ස්වයං රැකියාවකින් 35% ක ලාභයක් තබා ඉන් අඩක් හෝ ලබාගත නොහැක .එබඳු ලාභයක් ලබාගත හැක්කේ මත් පැන් පෙරීම ,මත්ද්‍රව්‍ය ජාවාරම හෝ වෙනත් නීති විරෝධී ජාවාරම කින් පමණි .

මැතිවරණ පොරොන්දුවක් බවට පත් වන්නටත් ,මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රබල වන්නේ කිනම් හේතුවක් නිසාද?
2019 මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දාහතර වන සැසිවාරය වෙත ඉදිරිපත් කෙරුණු ණය සහන හා මානව හිමිකම් පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව තුළ 2 898 232 දෙනෙකු ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇත . මෙයින් 24 ලක්ෂයක් ම කාන්තාවන් වේ .ගෙවා ගැනීමට නොහැකි අධික ණය බර හේතුවෙන් ඔවුන්ගේ ප්‍රශ්න ලංකාවේ සිවු දෙසින්ම දවසින් දවස වාර්තාවේ . මෙම පිරිස ලක්ෂ හැටක් පමණ වන ලංකාවේ පවුල් අතරින් විශාල පවුල් සංඛ්‍යාවක් නියෝජනය කරයි. එනිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ද? වත්මන් පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව ද? මැතිවරණවලදී මෙම ප්‍රශ්නය ඡන්ද පොරොන්දුවක් බවට පත්කරගත් අතර මැතිවරණ තුළ බෙදා හරින ලද වැඩපිළිවෙළ තුළ පවා අන්තර්ගත කොට තිබිණි .එහෙත් කොරෝනා වසංගත තත්ත්වය තුළ ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ණය සහන ලබා දුන්නද ක්ෂුද්‍ර මූල්‍ය ණය කරුවන්ට කිසිදු සහනයක් ලබා දුන්නේ නැත.

මේ ණයක් ලබා ගත් කෙනෙක් අපහසුතාවයන් වලට පත් වන්නේ කොහොමද ?
ණය ගත් විගසම වාරික ගෙවන්නට සිදු වීම මෙහි පළමු අභාග්‍ය යයි .බොහෝ කාන්තාවන් එදිනෙදා ජීවිතයේ දුෂ්කර අවස්ථාවන් පැමිණිවිට (අධ්‍යාපන ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න අනතුරු හෝ මරණ උත්සව අවස්ථා )ඒ සඳහා ඉතිරි කළ අතිරේක මුදලක් නොමැති කම නිසා ණය ලබා ගැනීමට පෙළඹේ. තවත් සැලකිය යුතු පිරිසක් ජීවත්වීම සඳහා යම් තරමක හෝ නිවසක් තනා ගැනීම සඳහා ණය ලබා ගනී .බොහෝ ගොවි දිස්ත්‍රික්කවල වන සතුන්ගෙන් කෘමි උවදුරු වලින් ,ස්වභාවික විපත්වලින් ගොවිතැන විනාශ වූ විට එදිනෙදා පවුලේ අය ජීවත් කරවීම සඳහා කිසිවක් කර කර කියා ගැනුමට නොහැකි වීම නිසා ද මෙම ණය ලබා ගැනීමට පෙළඹේ . එනිසා සැබැවින්ම බොහෝ දෙනකුට මෙම ණය ඉක්මනින් ගෙවා ගැනීම අපහසු වේ . යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කළ කෙනෙකුට වුවද මෙම තත්වය එලෙසම බලපායි .වාරික ගෙවීමට අසමත් වූ විට එම මුදල් සඳහා ද වැල් පොලිය එකතු වේ . එනිසා නිශ්චිත කාල සීමාවේදී ලබාගත් මුදල මෙන් දෙගුණයක් ගෙවා අවසන් කළ ද තව දුරටත් ණය කරුවකු ලෙස දිගින් දිගටම ණය ගෙවීමට ක්ෂුද්‍ර මූල්‍ය ණය කරුවන්ට සිදුවේ .

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සඳහන් පරිදි දරිද්‍රතා රේඛාවට පහළින් 4% ක ට ආසන්න සංඛ්‍යාවක් සිටියද සැබෑ දරිද්‍රතා රේඛාව ඇත්තේ ඊට වඩා බොහෝ ඉහළින් ය. ආදායම එක තැන පල් වීමත් ,දිනෙන් දින ජීවන වියදම ඉහළ යෑමත් නිසා දරිද්‍රතා රේඛාවට පහළින් ගොඩගැසෙන අති විශාල ජන සමූහයාට ණය හැර වෙනත් කිසිදු පිළිසරණක් නැති තත්වයක් උදා වී ඇත. ස්ථිර මාසික ආදායමක් හෝ ,නීත්‍යානුකූල දේපලක් හෝ රජයේ වැටුපක් නැති කෙනෙකුට රජයේ බැංකුවකින් මීට වඩා අඩු පොලියට ණයක් ලබාගැනීමට නොහැකිය. අතමාරුවක් ලබාගැනීමට පවා ඉඩ ප්‍රස්ථා නොලැබේ. සමාජ ගරුත්වය හෝ ලැජ්ජාව වැනි තත්ත්වයන් නිසා වඩාත් පහසු ක්‍රමයක් ලෙසත් ගොඩ යෑමට සුදුසු ඉතාම සහනදායි ණය ක්‍රමයක් ලෙස නිවසටම පැමිණ මෙම ණය ක්‍රමය හඳුන්වා දීම නිසාත් මූල්‍ය සාක්ෂරතාවය නැති බොහෝ කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය කෙරෙහි රැවටීමට ලක් වෙති . සමහර කාන්තාවන් යම් අවබෝධයක් තිබිය දී වුවත් වෙනත් ක්‍රමයක් නැතිවීම නිසා ඉක්මනින් ගෙවා අවසන් කිරීම අරමුණු කරගෙන ණය ලබා ලබාගැනීම සිදුකරයි . දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න උතුරු මැද පළාත් වල සීග්‍රයෙන් පැතිර යන වකුගඩු රෝගී තත්ත්වය පිළිකා රෝග තත්ත්වයන්,උතුරේ යුද්ධයෙන් ඇති වූ දේපල හානි හා ජීවිකාව අහිමි වීම ,ස්වභාවික විපත් හා වන වනසතුන්ගෙන් ගොවිතැන් වලට සිදුවන දරාගැනීමට නොහැකි හානි ආදියට අධික ලෙස සංවේදී වන කාන්තාවන් එම ප්‍රශ්නයෙන් ගොඩ ඒම අරමුණු කරගෙන විශාල වශයෙන් මෙම ණයට ගොදුරු වෙයි . ක්ෂුද්‍ර මූල්‍ය කණ්ඩායම් විවිධ ව්‍යාපෘති අරගෙන ගෙයින් ගෙට ගොස් සිදුකරන මවාපෑම මේ තත්ත්වය වැඩි කිරීමට අති විශාල හේතුවක් වේ .

මේ ණය හේතුවෙන් මිනිසුන් අපහසුතාවයට පත්වන ආකාරය සහ ජීවිත හානි සිදුකර ගන්නා තැනට ගමන් කරන්නේ කෙසේද ?
මෙම ක්‍රියාවලිය අවසානයේ පවුලට එකතුවන ගෙවා ගැනීමට නොහැකි අධික ණය බර ,එන්තර වාසි හා අධිකරණ තීරණ හමුවේ කාන්තාවන් බොහෝ අසරණ අසරණභාවයට පත්වේ ලැබෙන දෛනික ආදායම පවා උදුරා ගැනීමෙන් තව දුරටත් ජීවත් වීමට නොහැකි තත්ත්වයකට පත් වේ. පවුල තුල ආරවුල් අඬදබර මතබේද පැනනග මේවා බොහෝමයක් දික්කසාද දක්වා දුරදිග ගොස් තිබෙනු ද දැකිය හැකිය . මව හා දරුවන් අතර සබඳතා පළුදු වේ . ණය ගෙවීමට නොහැකි වූ බොහෝ කාන්තාවන්ට ලිංගික හිංසන පවා සිදුවේ .එසේම ණය ගත් කණ්ඩායම තුළ අසමඟිය වර්ධනය වේ .ගම් විනාශ වේ. ණය කරුවන්ට තවදුරටත් ගමේ වාසය කිරීමට නොහැකි තත්ත්වයන් පවා උදාවේ . බොහෝ අයට ඊළඟ වහල් මෙහෙය එනම් ගෘහ සේවය සඳහා විදේශ ගත වීමට සිදු වේ. මෙම තත්ත්වයන් හමුවේ ණය ගෙවීමට නොහැකි නිසා සියදිවි නසාගත් ගණන මේ වන විට ලංකාවේ පොලිසියේ දත්ත අනුව 200 ඉක්මවා ඇත. එහෙත් ණය පාදක කර ගනිමින් පවුල තුළ ඇති වන ආරවුල් අඬදබර සිත්තැවුල් හේතුවෙන් සියදිවි නසාගත් සැබෑ සංඛ්‍යාව මෙහි සඳහන්ව නැත .

මේ ණය නොගෙවා සිටීමට බැරිද ?
මෙම ප්‍රශ්නයට ගොදුරු වූ බොහෝ දෙනකු ගෙවිය යුතු මුදලටත් වඩා ගෙවා තිබුණද ණය ගෙවීම කෙළවර කරන්නට සමත් වී නැත. ණය ගෙවීමෙන් වඩාත් දුප්පත් භාවයට පත්ව ඇති බොහෝ දෙනෙකුට වකුගඩු රෝගීන් සඳහා ලැබෙන රුපියල් පන්දාහේ සෞඛ්‍ය සහනාධාරය ,සමුර්දි සහනාධාරය පිළිකා රෝග සඳහා ලැබෙන සහනාධාර ආදී කිසිවක් අතට ගන්නට ලැබෙන්නේ නැත. ඒ සියල්ල ලැබෙන ස්ථානයේදීම මූල්‍ය ආයතන වල තැරැව්කරුවන් විසින් පැහැර ගෙන යාම සිදු කරයි. කෙසේ හෝ උපයා ගන්නා දෛනික ආදායම් නිවසට පැමිණ තර්ජනය කර daily collection ලෙස සූරා කයි . ණය හිලව්වට ගෘහ භාණ්ඩ මුලුතැන්ගේ උපකරණ පවා අත්පත් කරගනී. ඉන් නොනැවතී මූල්‍ය ආයතන විසින් ඔවුන් වෙත එන්තර වාසි එවීම සිදු කරයි. ඉනුත් ඔබ්බට අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ගොස් නඩු දැමීම ,අධිකරණ තීරණ හරහා දඩ අය කිරීම ආදිය සිදුවේ . මූල්‍ය ආයතන විසින් කාන්තාවන් සමග සිදුකරන ගනුදෙනු වලදී ආයතනයේ රබර් මුද්‍රාවක් හෝ භාවිතා නොකරන තත්ත්වයක් යටතේ තමන් ගෙවූ මුදල පිළිබඳව පවා නිශ්චිත ව ඔප්පු කිරීමට මොවුන් සතු නිරවද්ය සාක්ෂියක් නැත .

leave a reply