ජාතික ජනබලවේගය ආණ්ඩුව අප්‍රේල් 5 වැනිදා අත්සන් කළ ගිවිසුම් අතර ඇති බව කියන ඉන්දු ලංකා ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට ජනමාධ්‍ය තුළින් බරපතළ කරුණු ගණනාවක් අනාවරණය වී ඇත. මේ තත්වය තුළ මෙවැනි ගිවිසුමක් සම්බන්ධ ආණ්ඩුව විසින් වගකීම භාර ගන්නේද නැත. ඒ නිසා මෙවැනි ගිවිසුමක් අත්සන් කර ඇත් නම් එයින් වහාම ඉවත්වන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ආණ්ඩුවට බලකර සිටී. අද නුගේගොඩ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මේ බව අවධාරනය කළේය. ඔහු පළ කළ අදහස් සංක්ෂිප්තයක් මෙසේය.
” ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කරපු ආරක්ෂක ගිවිසුමක් ‘ඉකොනොමි නෙක්ස්ට්’ (Economy Next) කියන වෙබ් අඩවියේ පල කරලා තියෙනවා. තවමත් මේ ගිවිසුම සාවද්‍ය එකක්, කූට ලේඛනයක් කියලා ආණ්ඩුව පැත්තෙන් ප්‍රතික්ෂේප කිරීමක් වෙලා නැහැ. ඒ නිසා අපිට හිතන්න පුළුවන් මේක අප්‍රේල් 5 වැනිදා මොදිගේ ලංකා සංචාරය අතරතුර ඉන්දියාවත් එක්ක අත්සන් කරපු ප්‍රධාන ආරක්ෂක ගිවිසුම කියලා. මේ පිටපතේ පෙනෙන ආකාරයට මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා සහ ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා. රටවල් දෙකම මේ ආරක්ෂක ගිවිසුම හෙළිදරව් නොකර සඟවා තබා ගැනීමට උත්සාහ කළා. 1987 ඉන්දු – ලංකා ගිවිසුම රජීව් ගාන්ධි සහ ජේ. ආර්. ජයවර්ධන අතර අත්සන් කරද්දී ප්‍රධාන ගිවිසුමයි, ඒකේ උපලේඛන ටිකයි අපි දැක්කා. පසුව දෙරට අතර හුවමාරු වූ ලිපි ලේඛනත් සමාජගත වුනා. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්දියාව එක්ක ගිවිසුම් කීයක් අත්සන් කලාද, ඒ ගිවිසුම් වල අන්තර්ගතය මොකක්ද කියලා කවුරුත් දන්නේ නෑ. මම අප්‍රේල් 4 වෙනිදා තොරතුරු දැන ගැනීමේ පනතෙන් පිටපත් ඉල්ලුවාම මට ලිපියක් ඒවා තිබෙනවා ජනාධිපති කාර්යාලයේ එම පිටපත් නැත කියලා. ඒ කියන්නේ ජනාධිපතිත් මේ ගිවිසුම් දැකලා නැද්ද කියන සැකය එනවා.
අවසානයේ අන්තර්ජාලය හරහා අප අතට පත්වුණු මේ ගිවිසුමේ ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේ අවබෝධතා ගිවිසුමේ වගන්ති දොළහක් තියෙනවා. ඒ වගන්ති අතර ආරක්ෂක නිලධාරී පිරිස් හුවමාරුව, ආරක්ෂක නිලධාරීන් පුහුණුව, පුහුණුව හැර වෙනත් හුවමාරු, ආරක්ෂක කර්මාන්තයේ සහයෝගීතාවය, තාක්ෂණය හා පර්යේෂණ ක්ෂේත්‍රය, මූල්‍ය ක්ෂේත්‍රය, රහසිගත තොරතුරු ආරක්ෂා කිරීම වගේ වගන්ති ගණනාවක් තියෙනවා. මේක එක්තරා විදිහකට උසාවියේ දික්කසාද නඩුවක් දාන්න බැහැ කියන කොන්දේසියක් යටතේ කසාද බඳිනවා වගේ. මේ ගිවිසුමේ දහවෙනි වගන්තියේ තියෙනවා ගිවිසුම සම්බන්ධ ආරවුලක් ඇති වුනොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ වෙනත් අධිකරණයකට හෝ සමථ සභාවකට යන්න බෑ කියලා. ඒ වගේම අතරමැදියෙකු ලෙස කිසිම තුන්වන පාර්ශවයක් සම්බන්ධ කර ගන්නත් බෑ කියලා. රටවල් දෙක කතා කරලා විසඳ ගන්න තමයි එකඟ වෙලා තියෙන්නේ. ඉන්දියාවයි ලංකාවයි අතර තියෙන්නේ හාවයි කොටියයි වගේ පරතරයක්. එහෙම තත්වයක් ඇතුලේ කොහොමද කතාකරලා ප්‍රශ්න විසඳගන්නේ ? මේක ඉතාම බරපතල තත්වයක්.
1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කලාට පසුව ඉන්දියානු සාම සාධක හමුදාව ලංකාවට ආවා. ලංකාවේ පසුව ජනාධිපති වුණ ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඉන්දියානු සාම සාධක හමුදාවට යන්න කියලා ඉන්දියානු රජයට ලියුම් යැව්වා. ඉන්දියානු ආණ්ඩුව හමුදාව නැවත කැඳවන්න බෑ කිව්වා. ඔවුන් යන එක ප්‍රතික්ෂේප කරමින් හිටියා. අවසානයේදී ඉන්දියානු හමුදාව ලංකාවෙන් ගියේ ඉන්දියාවේ ආණ්ඩු මාරුවක් වෙලා වී. පී. සිං ආණ්ඩුව ආවට පස්සේ. එදා 1987 ඉන්දු – ලංකා ගිවිසුමට එරෙහිව ජනතාව පාරට ගෙන්නපු ප්‍රධානතම පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් ගත්තට පස්සේ ඊටත් වඩා අවදානම්කාරී ගිවිසුමක් අත්සන් කිරීම පාවාදීමක් සහ අපරාධයක්.
ඒ වගේම මේ ගිවිසුමේ හත්වෙනි වගන්තියේ තියෙනවා ක්ලැසිෆයිඩ්, එහෙම නැතිනම් වර්ගීකරණය කරන ලද තොරතුරු කියලා වර්ගයක් ගැන. ඒ තොරතුරු කියන්නේ මොනවද කියලා නිර්වචනය කරලා තියෙන්නේ වර්ගීකරණය කරන ලද තොරතුරක් ලෙස නම් කරනු ලබන ඕනෑම එකක් ඒ යටතට ගැනෙන විදියට. ඒ කියන්නේ ඉන්දියාවට පුළුවන් ඕනෑම දෙයක් තමන්ගේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්, රහසිගත තොරතුරක් ලෙස නම් කරන්න. මේ නිර්වචනය මෙච්චර පුළුල් කලේ ඇයි? ඉන්දියාවට ඕන ඕන වෙලාවට කබරගොයා තලගොයා කර ගන්න. ඒ ක්ලැසිෆයිඩ් ලෙස නම් කරන ලද රහසිගත තොරතුරු කිසිදු ආකාරයකින් හෙළිදරව් කරන්න බෑ. ඒ වගේම මේ රහසිගත තොරතුර කියන එකේ තියෙන තොරතුරක් විතරක් නෙවෙයි ද්‍රව්‍යයක් පවා අයත්.
මේ ගිවිසුමේ ‘මටීරියල්’ කියලා වචනයක් තියෙනවා. ඒකේ නිර්වචනය නෑ. ඒ කියන්නේ යුද අවි, ප්‍රහාරක යානා වගේ භෞතික දේවල් පවා සම්ප්‍රේෂණය කරන්න, ගබඩා කරන්න සහ ඒ ගැන තොරතුරු රහසිගතව රකින්න මේ වගන්තිය හරහා අපි බැඳෙනවා. ඒ සම්ප්‍රේෂණය සහ ගබඩා කිරීම සම්බන්ධ කිසිදු තුන්වෙනි පාර්ශවයකට තොරතුරු දෙන්න බෑ. ගිවිසුමේ 7.3 වගන්තියේ තියෙනවා ගිවිසුම අවසන් වුණාට පස්සේවත් ඒවා හෙළිදරව් කරන්න බෑ කියලා.
මේ ගිවිසුමට අනුව, විශේෂයෙන් මේකේ 3.2.2 වගන්තියට අනුව හමුදා වෛද්‍ය පහසුකම් සපයන්න යුද්ධයකදී තුවාල වන අයට ප්‍රතිකාර කරන්න එකඟ වෙලා තියනවා. ඒ කියන්නේ මේකත් ඇක්සා වගේ සේවා සැපයීමේ ගිවිසුමක්.
රාජපක්ෂ ආණ්ඩුව 2009දී ඇක්සා ගිවිසුම අත්සන් කරද්දී විරුද්ධ වුනු ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුවක් ගත්තට පස්සේ ඒ වගේම භයානක යුද සේවා සැපයීමේ ගිවිසුමක් අත්සන් කරලා. මේ ගිවිසුම වසර පහකට වලංගුයි කියලා දොළොස්වැනි වගන්තිය කියනවා. නමුත් ඒ අතර මාස තුනකට පෙර කරන දැනුම්දීමකින් ඉවත් වෙන්නත් පුළුවන් කියලා කියනවා. අපි යෝජනා කරනවා ආණ්ඩුවට මේ ගිවිසුමේ තියෙන ආකාරයට වහාම මාස තුනකට කලින් ලිපියක් ලබා දීලා මේ ගිවිසුමෙන් ඉවත් වෙන්න කියලා. අපි ජනතාවගෙන් ඉල්ලනවා ලංකාවේ ජනතාව භූ – දේශපාලන උගුලක පටලවන, ලංකාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව අවදානමේ හෙලන මේ පාවාදීමේ හොර ගිවිසුම පරදවන්න පුළුල් ජනතා බලයක් ගොඩ නගමු කියලා. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට ඒ සඳහා පෙරටුගාමී කාර්යභාරයක් කරන්න සූදානම්. “