Breaking News

ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” තුන්වන කොටස

සීයාඅත්තම්මා ගෙදර පැමිණීම ට පෙර දින සිදු වූ සිදුවීම් මාලව මා මනස ඉදිරියේ සිතුවමක් සේ මැවෙමින් තව තවත් සිත පාරවයි. සතියක පමණ පෙර සිට අරවින්දගේ කිසිදු ඇමතුමක ට ප්‍රතිචාර නොදක්වා ඉඳ විශ්වවිද්‍යාලයෙන් පිටව දඹදෙනියේ යාමට තීරණය කළ නිසාවෙන් ද අරවින්ද හා මා ආදරය කරන්න ට පටන් ගත් පහුගිය අවුරුද්දක පමණ කාලය පුරා කිසිදු දිනක මම ඔහුට නොකියා ගමනක් නොගොස් නොසිටි නිසාවෙන් ද ඇරෙන්නට මේ ගමන කියා ඒමට තරම් ඔහු කෙරෙහි පහන් සිතක් මා සතුව නොපැවතිණි.

ඒත් කටහඩ අහන්න තිබුණා නම් හොදයි නේද? මේ සියළුම ප්‍රශ්ණ මොහොතකට අමතක කර යළිත් ඔහු හා සුපුරුදු පෙම් බස් දොඩමින් හුරතල් වෙන්න තිබුණා නම් යැයි ද බොළඳ සිතුවිල්ලක් ඒ වනවිට මගේ ඒකග්‍රතාවය බිඳිමින් තිබෙන්නට ඇත.

එම ගමන නොකියා ම ආවා නම් කොයිතරම් හොද දැයි, මේ වන විටත් මට දස දහස් වතාවකටත් වඩා සිත් වී හමාර ය. මා යනවා යි ඇමතුම දුන් සැණින් විශ්වවිද්‍යාලය අසලට මෝටර් රථයෙන් පැමිණියේ ඔහු ම ය. ඉන් විනාඩි කීපයකට පසුව දැඩි වේදනාවක් ඉතිරි කොට මා මහමඟ දමා ගියේ ද ඔහු ම ය.

කොයිතරම් මා පිළිබද සැකයක් නැතැයි පැවසූ වත් සමහර විටක මේ අවේලාවේ මා කවුරුන් හෝ සමඟ යනවා දැයි සැක සිතී ඔහු ආවා වෙන්නට බැරි ද, එසේ නොවන බව දැන මා දමා ගියා විය හැක. එවිට ඔහු සතුව මා කෙරෙහි ඇත්තේ කුමන ස්වරූපයක ආදරයක් ද?. මෙය අයිතිය කියා පෑමට පමණක් ලොබ වූ ආත්මාර්තකාමී සිතුවිල්ලක් ද?

මම සුපුරුදු ලෙසින් ම සිතුවිලි වලින් වැසී පඹ ගාලක පැටලැවී ඇති සැටියක් ද මෙය මානසික අවපීඩනයක් දක්වා යා හැකි නොවිඳිය යුතුු මානසික ස්වභාවයක් යැයි ද ක්ෂණිකව සිත් විණි. ඕනම දෙයක් අන්තයට ම හිතමින් හිතළු මවමින් වද දෙන මගේ හිත ගැන විටක මට ඇත්තේ දැඩි කණස්සල්ලකි. මෙවෙනි මානසිකත්වයන් ගේ අනර්ථකාරී ස්වභාවය මා පෙර අත්විඳ ඇති බවත් එවැනි තත්වයකට පත් වීමට ලැබුනොත් ඉන් මිඳීමට අතිශයම වෙහෙසක් දරන්නට සිදුවන බවත් අත්දැකීමෙන් මම දනිමි.

” විදූ මම කැමතියි ඔයා මගෙන් මේ එක එක දේවල් පස්සෙ ඕනවට වඩා පන්න පන්න ප්‍රශ්ණ කරන එක නවත්තනව නම් ”

” ඔයාට ආදරය කළ පලියට මට මගේ පෞද්ගලික ජීවිතේ නැති කරගන්න බැහැ විදූ, ආදරෙ කරනවා කියන්නෙ ඔහොම හිර කරගන්න හදන එකට නෙමේ.”

” මගෙ රස්සාවෙ හැටියට මට මිනිස්සු ආශ්‍රය නොකර ඉන්න බැහැ. Students ලා Lecturers ලා වගේම ඕනෑම තරාතිරමක අය එතන ඉන්න පුළුවන්.”

” විදූ මට කියන්න ඔයා මෙහෙම පටු විදියට හිතන්න පටන් ගත්තෙ කවද ඉදන් ද? ඉස්සර ඔයා මෙහෙම නැහැ”

සෝරත බිල්ඩිමේ පහත මාලයේ කොරිඩෝවක අරවින්ද සහ මානව ශාස්ත්‍ර පීඨයේ සංජීවනී මැඩම් සිනා සෙමින් ඕනෑවටත් වඩා ලංවී කතා කරණු දැක ගත හැකි වූයේ දේශනයක් අවසන hostel එකට පියමං කරන්නට පැමිණෙන අතර තුරුය. එක අතකට ඔහුට වඩා අවුරුදු කීපයක් වැඩිමහල් වූ ඇය ගැන මට මෙලෙස අනියත බියක් හෝ සැකයක් ඇති කරගත නොයුතු ව තිබුණි.

එනමුත් සංජීවනී මැඩම් සම්බන්ධ යෙන් පහුගිය කාළවකවානු වේ පැතිරුණු කටකතා එතරම් ම යහපත් නොවුණි. වයස නොතේරෙන තරමට ම ඇයගේ නවීන පන්නයට හැඩවැඩ වීම ඕනෑම පිරිමියෙකුගේ නෙත මොහොතක ට ග්‍රහණය කරලීමට සමත් වූ බව නම් කිවමනාම ය. ඇගේ හැඩය පිළිබද මනා සැලකිල්ලක් දක්වා ඇති නිසාවෙන් නාභියෙන් පහලට අදින සාරිය ඇයට ගෙන ආවේ දඟකාර පෙනුමකි.

ආදරය ඉක්මවා රාගය ළඟ නතර වන සිත් කවදත් සුලබ ය. විවිධ ලාභ ප්‍රයෝජන තකා වයස නොතකා ගැහැණු අය ළඟ නතර වන පිරිමින් ගෙන් අඩුවක් නොවන බව මට පසක් වූයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පැමිණ කොළඹ පරිසරය සමඟ අනුගත වූ පසුව පමණක් නොවේ.

කොතරම් සමබර මනසක් තබා ගැන්මට උත්සාහ කළත් අරවින්ද හා සම්බන්ධ කාරණා වලදී මගේ දාර්ශනික තාර්කික සිතුවිලි දියවී යන්නේ මා තුළ සිටින යක්ෂයා නින්දෙන් ඇහැරවමින් ය.

Hostel එකට ආ සැණින් දුරකථන ඇමතුමක් දී මා විසින් පහ කළ කෝපයට ඔහුගේ උත්තර බැදිලි එළෙස විය.

” ඔව් , ඉස්සර මම මෙහෙම නැහැ තමයි අරවින්ද, ඔයා නිසා තමයි මම මෙහෙම වෙලා තියෙන්නෙ”

” ඔයාගෙන් ම අහලා බලන්න, ඉස්සර ඔයා මට කොච්චර ආදරෙ කළාද, මගෙ ගැන හොයලා බැලුවද, දැන් මම කතා කරණකම් ම ඉන්නවා, ඒ කතා කළත් හැම වෙලේම ඔයා busy, ”

මම කියවා ගෙන ගියෙමි.

” මැණික, මේ අහන්න, ඔයා දන්නවා මම ඔයාට කොච්චර ආදරේද කියලා, ඒක විශේෂයි කියලත් ඔයා දන්නවා නේද?”

” ඒ දැන දැනම ඇයි මෙහෙම බොරුවට රංඬු වෙන්නෙ, ඔයා දන්නවා නේද පැටියො ඉස්සරට වඩා දැන් මට වැඩ වැඩියි, වඟකීම් වැඩියි කියලා”

හැමදාම ඔහුගේ මේ ආදරණීය විශේෂණ පද යොදා කරණ කතාබහ හමුයේ මගේ සිතුවිලි මෙල්ල වෙයි. ඔහුත් ඒ බව දනී.

” ඒත් මම ඉඩක් ලැබුණ ගමන් ඔයාට කතා කරනවා නේද? ”

” මේ දවස් වල මට වැඩ ගොඩ ගැහිලා රත්තරන්, මට පොඩි දවසක් දෙන්න, අපි ඉක්මනට හම්බවුනා ම ඔයාගෙ ඔය තොරතෝංචියක් නැති කතා ඔක්කොම කියන්නකො, මම අහගෙන ඉන්නම්”

අරවින්ද පොඩි දරුවෙකුට වගේ මට පැහැදිලි කරයි. ඒත් සංජීවනි මැඩම්ගේ දිළිසෙන ඇස් වල මතක මගේ දැවීම සමනය කරලීමට තව බොහෝ වෙලා ගතකරන්නට මං පෑදුව බවනම් මට හොදටම මතකය.

එදා ඒ පොඩි පොඩි සැකකිරීම් වචනවලින් යටපත් වූවා වුවද මෙදා නම් අප අතරේ මේ ප්‍රශ්ණය විසදා ගත නොහැකි අයුරින් ඔඩු දුවන්නට පටන් ගෙන තිබේ. දැන්නම් මෙය විසඳා ගැනීම ට අප දෙදෙනාම කල් ගත්තා බොහෝ වැඩිය.

අරවින්ද ට ආදරය කරන්න ට ගත් දවසේ පටන් මගේ ඔහු කෙරෙහි පවතින දැඩි ලෝබ සිත ද්වේශ සිතක් දක්වා ම වැඩි වර්ධනය වෙමින් පවතී. මගේ මට ම විතරයි සිතූවත් දිනෙන් දින ළමුන් අතරේ කතාබහට ලක්වන ඔහුගේ ආකර්ෂණීය දේශන ශෛලියත් , දේශපාලනික වශයෙන් ඔහු දරණ මතිමතාන්තර නිසා හිමි කරගත් සමාජ භූමිකාවත් මට අහිමිවේදෝයි යන අනියත බියක් ජනිත කරලීම,මේ සියල්ලටම මූළික කරුණු විය හැක.

“අද Business Management lectures  කරන්නේ අපේ campus එකේ ම ගිය අවුරුද්දෙ out වුන අයියා කෙනෙක්” සුමුදු සෝරත බිල්ඩිම පාමුල පඩිපෙළ නඟිමින් lecture එකට යමින් සිටි අප අතරට කොහෙදෝ සිට දුවවිත් ප්‍රකාශ කළේ හති දමමිනි.

මීට අවුරුද්දකට කලින් ජූනි හය වෙනිදාව , අරවින්ද හා මම මුලින්ම දැකපු දවස එදා විය. අප දෙදෙනාම එකම විශ්වවිද්‍යාලයක අධ්‍යන කටයුතු කළා වූවද මා එතෙක් ඔහුව දැක නොතිබුණි.

” ඇයි සුමුදු ඔයා පරක්කු, open එකේ බලන් ඉදලා ඉදලා බැරිම තැන මම මේ ආවේ.”

විශ්වවිද්‍යාලයට පිවිසෙනවාත් සමඟම මැදට වෙන්නට පිහිටි Open එකේ කුඩා කැන්ටිමෙන් තේකක් ගෙන තොලගාමින් මම සුමුදු එනතෙක් බොහෝ වේලාවක් ගත කළාය.

“Calls ගත්තා mobile එකත් off කරන් ඔයා,” මම ඇය දුටු සැණින් කියවාගෙන ගියෙමි.

” අනේ ඔව් විදූ අද මට පරක්කු වුණා ගෙදරින් එන්න , අයියා hospital එකට යන ගමන් එයාට කියලා car එකේ drop කරගත්තා බැනුමකුත් අහගෙනම” සුමුදු පෙරළා කියවාගෙන යයි.

” ඔය කළබල අස්සෙ ඔයා කොහොමද අලුතින් එන lecturer ගැන දැනගත්තෙ ඉතිං , මම කුතුහලයෙන් යුක්තව විමසීය.”

” ආ අපි එන ගමන් car එක petrol ගහන්න නැවැත්තුවනේ, එතනදි අරවින්ද අය්යා හම්බවුනා. ”

” එයා අය්යට කියලා තිබුණේ.”

“අපේ අය්යගෙ classmate කෙනෙක්. ඉස්සර අපේ ගෙදරත් එනවා අය්යගෙ යාළුවොත් එක්ක.”

සුමුදු මහ හඬින් කියවාගෙන යයි. ඇය හරිම නිදහස් මනස් ඇත්තියකි. කවුරුත් හිටියත් නොසිටියත් ඇයට කම් නැත. කිවයුත්ත කියන්නට මෙන්ම කලයුතු යැයි හැඟෙන දෙයක් එවිටම කිසි වැඩිදුර හිතීමකින් තොරවම කිරීම ඇගේ පුරුද්දකි.

ඇගේ මේ සැහැල්ලු ගති පැවතුම් නිසාම ඇය ට මම අන් අයට වඩා ලංවිය. දැන් ඇය මගේ හැම දෙයක්ම පාසා දන්නා වූ මට විශ්වවිද්‍යාලයෙ ඉන්න විශ්වාසදායී එකම හිතවතියයි.

එහෙත් අප දෙදෙනාගේ සිතුවිලි හාත්පසින් ම වෙනස් ය. කොළඹ උසස් බාළිකා පාසලක ඉගෙනුම ලැබූ නිසාවෙන් ම ඇයගේ සමාජ දැනුම මෙන් ම මානව සම්බන්ධතා පවත්වා ගැනීම සම්බන්ධව ඈ තුළ තිබූ දැනුම ද සැළකිය යුතු සාධනීය මට්ටමක පැවතීය. ඇය මා මෙන්ම ප්‍රශ්ණයක් ආ විට එහි පතුලට ම කිදාබැසගත්තේ නැත. ප්‍රශ්ණය පසෙක තබා සතුටින් ඉන්නට මං විවර කර ගත්තාය. එවිට කාළය විසින් ප්‍රශ්ණ ද විසදී හමාර වී තිබුණේ මනසට ද වෙහෙසකර පීඩාවක් නොදෙමින් ය. ඇය මෙන් වන්නට ඇත්නම් යැයි මට සිතුණ වාර නම් බොහෝ ය.

සුමුදු පැවසූ කාරණය බහුතරයක්  ගැහැනු ළමයින්ට සිත කළබලය ට සහ කුතුහලයට කාරණා කාරණ වුවත් පවුලේ පැවති අර්බුදකාරී වාතාවරණය හමුයේ මිනිසුන් සමඟ මිත්‍ර සබදතා ගොඩනඟා ගැනීම සම්බන්ධව මා හට තිබුණේ දැඩි අපහසුතාවයක් වගේම අවිශ්වාසයකි. කිසිවෙකු විශ්වාස කළ නොහැකි සැක සහිත මානසිකත්වය ක් මා සතු විය. මිනිසුන් තුළ අවංකව ආදරය, රැකවරණය ,විශ්වාස තිබේදැයි යන්න සම්බන්ධව ද මා තුළ පැවතියේ දැඩි අවිනිශ්චිත ඕලාරික සිතුවිලි සමුදායකි.

අලුත් තරුණ කතිකාචාර්යවරයෙකු ගේ පැමිණීම බහුතරයක් සිසුවියන්ගේ ප්‍රබෝධයට හේතු වූ කාරණාවක් වූවද  අවංකව ම මා සිටියේ හැඟීම් විරහිත ස්වභාවයක ය. බැඳීම් තුළ තිබෙන වේදනාකාරී බව මම ඒ වන විටත් අත්විඳිමින් සිටියෙමි.

අම්මා අපෙන් ඈත් වී මහේන්ද්‍ර අංකල් හා යන විට මම හත වසරට පාස් වූවා පමණි, මල්ලී පසු වූයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වී ප්‍රතිඵල ලැබ ධර්මරාජයේ hostel එකට යෑමේ බලාපොරොත්තු වෙනි.

කුරුණෑගල ප්‍රසිද්ධ බැංකුවක කළමනාකාරිණියක් වූ මගේ මව දුටුවන් සිත් වෂී කරණ රූ සපුවකින් හෙඹි කාන්තාවක් විය. උසට සරිලන මහත සේම පැහැපත් ඡවි වර්ණයත් දිගු මහත කොණ්ඩයත් හේතුවෙන් ඇය රූප සුන්දරියකට සමාන ලක්ෂණ ගෙනහැර පෑවාය. මා හට ඇත්තේද ඇය සතු දීප්තිමත් සිත් බදින ලොකු ඇස් දෙකක් බව මවගේ ඡායාරූපයක් නරඹමින් මා දෑසට එඹෙමින් දිනක් අරවින්ද පැවසූ අයුරු මගේ මතකයට පිවිසිණ.

පාසල් සමයේ ද විශ්වවිද්‍යාලය තුළද මගේ රූපය පිළිබද මුණට ම ලස්සන යැයි කියූ අය මෙන්ම මා දෙස බලමින් කියනා කසුකුසු ඇසී තිබුණ ද මා කෙරෙහි මා තුළ සැමවිටම පැවතියේ අඩුතක්සේරුවක් ම විය. ඉතා අවාසනාවන්ත ළමයෙකු යැයි කුඩා කාළයේ පටන් ම මගේ හිත මට පැවසීම ඊට හේතු කාරණා වන්නට ඇත.

මව අප දෙදෙනා තාත්තා ළඟ තනිකර දමා යෑම ඊට මූළික ම කාරණය වන්නට පුළුවන. ඊට බලපෑ අනිත් කාරණය පිළිබද අදටත් මට ඇත්තේ මතක් කරන්නට අපහසු වගේම මතක් වෙන වාරයක් පාසාම දැඩි වේදනාවකින් සිත පෙළන්නා වූ  කරුණකි.

” විදර්ශනා ඉරුගල්බණ්ඩාර, කවුද? ”

පාසලේ අට වසරේ දී විද්‍යා විෂය සදහා දුන් හදවතක කොටස් ඇදි රූප සටහනක් පොත් වල පිටපත් කරගනිමින් සිටි මොහොතක දැඩි නිහඬතාවය බිදිමින් කුඩා තුංඩු කෑල්ලක් දිහා බලමින් උප විදුහල්පතිනිය විමසූයේ සියළුම සිසුවියන් විපරිතව හිස ඔසවමින් බලන අතරතුර ය. උප විදුහල්පතිනිය පංතියකට පැමිණෙනුයේ වැදගත් කාරණයක් සදහා පමණි.

මට ක්ෂණිකවම හිට ගැණුනේ කිසිත් තේරුම් බේරුම් කරගත නොහැකි වූ  සිතකිනි. මගේ හිසේ සිට පහළට කරුණාබරිත බැල්මක් හෙළු ඇය පංතිභාරව කටයුතු කළ මිස් නිරංජලාගේ කණට කර යමක් පවසන අයුරුත් ඇය ද මා දෙස කම්පා සුළු නෙතකින් බලා

” විදර්ශනා , පොඩි හදිසියක් නිසා ඔයාට ගෙදර යන්න වෙලා තියනවා, පොත් බෑග් එකත් අරගෙන ප්‍රින්සිපල් මැඩම්ගෙ කාමරයට යන්න පුතේ”

යැයි වෙනදා නොදැක්වූ සෙනෙහසින් මා ඇමතූ අයුරුත් අදට ත් මට කණ ලඟම වගේ ඇසේ.

මගේ තාත්තා ලේඛකයෙකි, පත්තර කළා වේදියෙකි. ඔහු සමාජයේ කතාබහට ලක්වන යමක් කර ඇති බව මා දැනගත්තේ අරවින්ද ඔහු පිළිබද කළා වූ වර්ණනා නිසා වෙන් ය. එතෙක් පවුල් පරිසරය විසින් මට අත්කර දුන් අඳුරු මතක ඔවුන්ගේ වටිනාකම්ද යටපත් කරලීමට පවා සමත් වී තිබිණ.

සුදත් ඉරුගල්බණ්ඩාර හා බැංකු නිළධාරිනියක් වූ ශ්‍යාමලී බස්නායක කෙසේ නම් ගැලපුණිදැයි ගෙදර අඬදබර වන සෑම අවස්ථාවක ම මා සිත විමසූ වාර ගණන මෙතෙකැයි කිව නොහැක. උස් හඬින් වන අඬදබර වල බොහෝවිට වූයේ දෙනොගේම වංශය හාරා අවුස්සා ගැනීම්ය.

” ඕක ඉතිං තමුසෙලගෙ වලව් වල තියන ජන්ම පුරුදු , ඕවා අතාරින්න බැහැ”

” තමුසෙට ලැජ්ජ නැද්ද මනුස්සයො මේ කරදඬු උස් මහත් වෙච්ච ගැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ගෙදර ඉන්න කොට තමන්ගෙ වයසටවත් නොගැලපෙන ගෑණුන්ගෙ ගෙවල් වල රිංගන්න,”

“අම්මා බෙරිහන් දෙන විට,

” තමුසෙගෙ වලව්වල සිද්ධ වෙච්ච දේවල් මේ මුළු ගමම දන්නවා ඕයි”

“අම්මලා කරපු දේවල් දුවලා නොකර ඉදීවියැ” යැයි තාත්තා ද පවසන්නේ අහල පහල ගෙවල් වලටද ඇසෙනා තරම් වූ ඊටත් නොදෙවෙනි යටිගිරියෙනි.

මටත් මල්ලී ටත් තිබුණ ලොකුම ප්‍රශ්ණ ය වූයේ ඔවුන්ගේ රංඬු සරුවල් වීමවත් එය හා සම්බන්ධ ගැහැණු හා පිරිමින්ගේ යටගියාව වත් නොවීය. එම කතා අපට දන්නා කාලයේ සිටම හුරුපුරුදු ය. අපට තිබුණ එකම ප්‍රශ්ණ ය එළියට බැස අහල පහල මිනිසුන් ගේ මූණ බලන්නේ කෙළෙසද යන්නය. මෙලෙස ටිකක් දැඩිව රංඬු වූ වාරවල් වල පසුදින අප දෙදෙනා පාසල් යෑම බොහෝවිට ප්‍රතික්ෂේප කරයි.

අපේ නෑදෑ සනුහරේ සියළු දෙනාම පාහේ තාත්තාට අප්පච්චි යැයි ආමන්ත්‍රණය කළද වෙලේගෙදර අත්තම්මා හෙවත් තාත්තාගේ අම්මා පහතරටින් පැමිණි තැනැත්තියක්  නිසාවෙන් අපි තාත්තා ලෙස ආමන්ත්‍රණය ට හුරුවීය. මේ පිළිබද වද අපේ අම්මා සිටියේ නොසතුටෙනි. අත්තම්මා තාත්තා කීමට හුරු කිරීම සම්බන්ධව ද ඇය ඇඟේ වංශය කබල් ගාමින් දොස් කියූ වාර බොහෝය.

අම්මා උරණව සිටියා වුවද මමයි මල්ලි යි වැඩිපුර ම ආසා කලේ නිවාඩුවට වෙලේගෙදර සීයාඅත්තම්මා බැලීමට දඹදෙණි යාමට ය.

සීයාතාත්තා ගේ කොතරම් සෙල්ලක්කාර ගති පැවතුම් හමුයේ  වුවද අත්තම්මාගේ ඉවසීම මෙන්ම කරුණාබරිත සමබර මානසිකත්වය හේතුවෙන්දෝ එම ගෙදර තිබූ සැනසිලිදායක ගාම්භීර ස්වභාවයේ  අගය එදාටත් වඩා අද මට තදින් ම දැනෙන්නට පටන් ගෙන තිබේ.

[විදර්ශනා හි පළවන සියළුම පුද්ගල නාම මනඃකල්පිත වන අතර කතාවේ සන්දර්භය පරිකල්පන යක් පමණි.]

 

leave a reply