Breaking News

‘ටියුබ්ලයිට්’ ආණ්ඩුව – තෙල් ගන්න රුසියාව, කටාර් සමඟ සාකච්ඡා කරනවලු

රට තුළ පවතින ඉන්ධන හිඟය විසඳීම සඳහා ආණ්ඩුවට කඩිනම් වැඩපිළිවෙලක් නොතිබීම නිසා රට මේවනවිට අවුල් ජාලයක් බවට පත්ව තිබේ. ආණ්ඩුව ප්‍රශ්නයට උත්තර හෙවීම අරඹා තිබෙන්නේ ප්‍රශ්නය උග්‍ර වූ පසුවයි.

රටතුළ තිබෙන මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඉන්ධන සැපයුම සඳහා සමාගම්වලට ගෙවීමට ඇති මුදල් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟ වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහ බැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබාදීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබාගත නොහැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමග සාකච්ඡා කිරීමටත් තීරණ කළ බවත් ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එසේ පවසා ඇත.

ඊට අමතරව ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට යාමට නියමිත බව වාර්තා වේ.

ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතා ද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු ඉන්ධන සහ ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා අද (27) පස්වරුවේ පිටත්ව යෑමට නියමිතය.

රුසියාව වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩුවෙන් තෙල් ලබාදීම සිදුකරන බව කාලයක සිට ප්‍රසිද්ධ වූ කරුණකි. එහෙත් ලංකා ආණ්ඩුව ආර්ථික අර්බුදය හමුවේ පවා වැඩි මිලට තෙල් ලබාගත්තේ ඉන්දියාවෙනි. ඉන්දියාව අපට විකිණුවේ රුසියාවෙන් අඩු මිලට ලබාගත් තෙල් බව හෙළිව තිබුණි. අනිත් අතින් මෙම මස 16වනදා ඉන්දියාව විසින් ලබාදුන් තෙල් නැව පැමිණි පසු වෙනත් තෙල් නැවක් ලබාගැනීමට අදාළ සැලසුමක් ආණ්ඩුවට නොතිබුණි. ඒ වෙනුවට ආණ්ඩුව සිදුකරනු ලැබුවේ ජනතාවට බොරු පැවසීමයි. අවසානයේ වැඩේ අතේ මාට්ටුවන විට ‘සොරි’ කීමයි. දැන් ජනාධිපතිගේ සිට ඇමති නඩය දක්වා තෙල් ප්‍රශ්නය විසඳන්න මොනවා හෝ කරමින් සිටින බවට පෙන්වමින් සිටියි. මේ අනුව තෙල් ප්‍රශ්නය විසදීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්වීම ගැනද ජනතාව තුළ ඇත්තේ සැකයකි.

leave a reply