Breaking News

අපේ තරුණයන් කුලී හමුදාවන්ගේ ගොදුරක් වන්නට පෙර – සමන්සිරි හේරත් 

විරැකියාවට පිළිතුරක් ලෙස යුද හමුදාවට සම්බන්ධ වීම මීට දශක දෙකකට ඉහතදී මෙරට තරුණයන්ගේ තෝරා ගැනීම බවට පත්වී තිබුණි.එකල පාලකයෝ කියා සිටියේ සියලු ප්‍රශ්නවලට හේතුව පවතින යුද්ධය බවයි. යුද්ධයට වැය වෙන දැවැන්ත මුදල් සම්භාරය හේතුවෙන් රටේ සංවර්ධන ව්‍යාපෘති කර ගැනීමට නොහැකි බවත් රට තුළ ස්ථාවරත්වයක් නොමැති කම හේතුවෙන් විදේශීය ආයෝජකයෝ පැමිණ රට තුළ ආයෝජනයන් නොකරන බවත් මේ සියල්ලටම පිළිතුර යුද්ධය අවසාන කිරීම බව ඔවුන් පුන පුනා කියා සිටියා.

කුමන හේතුවක් පදනම් කරගෙන හෝ අවසානයේ යුද්ධය නිමාවට පත්වුණා.යුද්ධය නිමාවී දශක එකහමාරක් ගතවන තැන එම පාලකයෝම ශ්‍රී ලංකාව නැමැති දූපත් රාජ්‍යය බංකොලොත් රාජ්‍යයක් බවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කළා.

යුද්ධය නිමා වීමෙන් පසු සංවර්ධිත රාජ්‍යයක් බලාපොරොත්තුව සිටි ජනතාව දැන් එදාටත් වඩා දුක්ඛිත ජීවිතයක ඇලී ගැලී සිටිති. මේ අතර රට හැර යන පෝළිම වැඩිවී තිබේ. එදා විරැකියාවට පිළියමක් ලෙස යුද හමුදාවට බැඳෙන්න තිබුණු පෝලිම්වලට වඩා දිගු පෝළින් අද පාස්පෝට් ලබා ගැනීම සඳහා පෙළ ගැසී තිබේ.කුමන හෝ රැකියාවක් සඳහා රට හැර යන්නට තරුණ තරුණියෝ පෙළඹී සිටියි ..

රුසියානු යුක්රේන යුද්ධය.

තමන්ගේ බල දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යුක්‍රේනයත් රුසියාවත් කුලී හමුදාවන් සේවයට යොදා ගනිමින් සිටින බව හෙළිදරව් වෙමින් පවතී.මෙසේ කුලී හමුදාව ලෙස බඳවාගන්නා පිරිස් වංචනික ලෙස රවටා වෙනත් රැකියාවන් සඳහා යොමු කරන බව පවසා මුළා කළ එවුන්ය. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය වැනි රටවල තරුණයන් දෙපාර්ශ්වයේම හමුදාවන් වල සිට ජීවිතක්ෂයට පත්වී ඇති අවස්ථා හෙළිදරව් වීම මගින් මේ තත්ත්වය වඩා බරපතළ බව දැකගන්නට තිබේ.

ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් වාර්තා වී ඇති අතර තවත් බොහෝ පිරිසක් මේ යුද්ධයේ කුලී හේවායන් බවට පරිවර්තනය වී සිටියි. බීබීසීය අල් ජසීරා ඇතුළු විදෙස් මාධ්‍ය හෙළිදරව් කර තිබෙන කරුණු වලට අනුව පැහැදිලි වන්නේ තරුණයන්ව රවටා යුද්ධයට ආදාගෙන ඇති බවයි. 2023 දෙසැම්බර් දක්වා කාලය තුළ විදේශිකයන් 300 කට වැඩි ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වී ඇති බවට වාර්තා තිබෙන බව බීබීසීය ප්‍රකාශ කර තිබුණා. හමුදාව ආශ්‍රිත කටයුතුවලට සම්බන්ධ වන විදේශික තරුණයන්ට විවිධ පොරොන්දු පත්‍ර ලබා දී ඇති අතර ින් එම රටවල පුරවැසි භාවය සඳහා ඉල්ලුම් කිරීමේ අයිතිය ක් ඔවුන්ට ලබා දෙන බවට ද සහතික වී තිබේ . ඉහළ වැටුප් සහ පුරවැසිභාවයන් ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් විදෙස්ගත තරුණයන් කුලී හමුදාවන්ට සහය දැක්වීමට පෙලඹෙන සිටි .

ඉහත කරුණු සලකා බලන විට අප අවධානය යොමු කළ යුත්තේ අපේ රටේ විරැකියාවෙන් පෙළෙන තරුණයන් මේ සඳහා ආකර්ෂණය වෙනවාද නැද්ද යන්න පිළිබඳවයි . දැනටමත් වාර්තා වී ඇති ආකාරයට දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙපාර්ශ්වයේම  හමුදාවේ සහායට තරුණයන් ඉහළ වැටුප් බලාපොරොත්තුවෙන් ඍජුව හෝ වක්‍රාකාරව සම්බන්ධ වී සිටියි . විදෙස්ගත රැකියාවන් සඳහා මිනිස් ජාවාරම කෙසේ සිදුවන්නේ ද යන්න පිළිබඳව අපට හොඳ හැටි පැහැදිලිතාවයක් තිබේ. . විදෙස් රැකියා ලබාදෙන හොර ඒජන්සි හරහා විදෙස් රටවලට ගිහින් දුක් පීඩා විඳින අපේ මිනිසුන් පිළිබඳව පුවත් අපි නිතරම අසන්නෙමු. ලාංකීය තරුණ තරුණියන් පනස් දෙනකු පමණ පරිගණක ආශ්‍රිත රැකියාවලට යයි කියමින් වංචනික ලෙස රැගෙන ගොස්  ත්‍රස්තවාදී කණ්ඩායමක  උවමනාවන් ඉටුකරමින් සිටින පුවතක්  පසුගිය දිනවල ප්‍රචාරය වුණි . , තවමත් ඔවුන්ව නිදහස් කර ගැනීමට රාජ්‍යතාන්ත්‍රිකව මැදිහත්වීමට අපේ රජයට හැකියාවක් ලැබී නැත . උදාහරණ කොතෙකුත් පවතින තත්ත්වයක් තුළ  මේ අලුත් එළඹුම භයානක ප්‍රතිඵල අත්කර දෙන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ .

රැකියා අවස්ථා වලට යැයි පවසමින් ඉහළ වැටුප් තල ලබාදෙන බව පවසමින් හොර ඒජන්සි හරහා අපේ රටේ තරුණයන් තමන්ට කිසිසේත් අදාළ නැති යුද්ධයක  කොටස්කරුවන්  වන්න යෑම ඉදිරියේ අපට හමුවන දරුණු ඛේදවාචකයක් වන්නට පුළුවන . මේ පිළිබඳව අවධානය යොමු කිරීම රජයේ වගකීම වන අතර විදෙස්ගත රැකියාවන් සඳහා පිටත් වන්නට  බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ද වඩාත් සුපරික්ෂාකාරි විය යුතුය .

 

leave a reply