Breaking News

ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරියක් මදි, සියලු ණය කොන්දේසි විරහිතව කපා දැමිය යුතුයි – නිරෝෂා ගුරුගේ

දැන් ආණ්ඩුව ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරියක් ආරම්භ කරන බව පැවසුවත් එය ප්‍රමාණවත් නොවන බවත් සියලු ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා දැමිය යුතු බවත් ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයනගේ ජාතික ව්‍යාපාරය පවසයි. ඊයේ (18) කන්තලේ පැවති පළමු සමුළුව අවස්ථාවේ අදහස් දක්වමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයනගේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කාරිනි නිරෝෂා ගුරුගේ මේ බව පැවසීය.

ඇය වැඩිදුරටත් පැවසුවේ,
“ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ ප්‍රශ්නේ ආණ්ඩුවට ඇහෙන්න පටන් අරන්. ඒ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිත්යනගේ පළමු සමුළුව කැඳවන වෙලාවේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. තව අපිට යන්න තියෙන්නේ ටික දුරයි. හදිසියේ ෂෙහාන් සේමසිංහට මතක් වෙලා ක්ෂුද්‍ර මූල්‍ය ගැන කතා කරන්න. අවුරුදු ගණනක් අපි ප්‍රශ්නේ ගැන කිව්වා. අපි එක දිගට කිව්වා මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය තවදුරටත් අපිට ගෙවන්න බැහැ කියලා. ඒ නිසා මේක කපා හරින්න කිව්වා. කන් ඇහුනේ නැහැ. හැබැයි අපේ ප්‍රභලම අවිය අපි අතට ගත්ත වෙලාවේ අපි සංවිධානය වෙනවා කියලා උන්ට දැනිච්ච් වෙලාවේ ප්‍රකාශ නිකුත් කරන්න පටන් අරන්. දැන් කියනවා ක්ෂුද්‍ර මූල්‍ය නියාමන අධිකාරියක් දෙනවා. ඒක ඇතුලේ මේ ණය කපා හරින්න, මේකේ නිත්‍යානුකුල කටයුතු ටික පටන් ගන්නවා කියලා අපහු කියනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා දැමීමට අදාළව රජය තම වගකීම ඉෂ්ඨ කළ යුතුයි. නමුත් ඔවුන් ඒක ඉෂ්ඨ කරේ නැහැ. ඔවුන් අපිට පොරොන්දු මලු පිටින් ගෙනත් දුන්නා. අපි පොරොන්දු මලු බදන් හිටියා. 2018 පොළොන්නරුවේ බකමුන ජාතික පාසලට ආපු මංගල සමරවීර එවකට හිටිය මුදල් ඇමති සහ දැන් පිං ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ කිව්වා මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපනවා කියලා. ලක්ෂෙට අඩු ගොවි ණය කැපුවා. ලංකාවේම 49000කගෙයි කැපුවේ. ඒකෙත් ගෙවන්න ඉතුරුවෙලා තිබුණේ පුංචි මුදල් ප්‍රමාණ. එක කපලා කිව්වා කැපුවා කියලා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නෙ. 2018 පොරොන්දුව දිහා බලාගෙන ගෙවන්නේ නැතුව හිටිය මිනිස්සුන්ට දැන් එනවා ලක්ෂ ගණන්වලින් පොලී හැදිලා එකතුවෙලා දැන් එනවා. ඊට පස්සේ 2019 නැවතත් සෞභාගය දැක්මේදී කිව්වා බලයට පත්වූ වහාම ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරිනවා කියලා. බලයට පත්වෙලා මිනිස්සු බලයෙන් එළවලාත් ඉවරයි.බලයේ හිටපු කාලයේ ඒ පොරොන්දු ඉෂ්ඨ කරේ නැහැ. දැනුත් තියෙන්නේ ඒ ආණ්ඩුවමයි. ක්ෂුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය නොවන ඇමති ෂෙහාන් සේමසිංහ තමයි එදත් හිටියේ. එදත් එකයි අදත් එකයි. හැබැයි අපේ ප්‍රශ්නෙට උත්තර දීලා නැහැ. අපි ඉල්ලුවේ ණය කපන්න කියලා. මේ යෝජනා අපිට ගෙයින් ගෙට ගිහින් කිව්වා. ඒවගේම මේක මේ රටේ පාලකයන්ට කිව්වා. අපි අනිත් සංවිධානවලට කිව්වා. හැබැයි අපට දුන්නේ ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක්. ඒකත් යෝජනාවලියේ කොනක තිබුනා. හැබැයි අපේ ප්‍රධාන ඉල්ලීම කොන්දේසි විරහිතව ණය කපන්න. මාස 3ක් ගෙව්වේ නැති එක කපන්නම්, ලක්ෂේට අඩු එක කපන්නම් ලක්ෂෙට වැඩි එක කපන්නම්. එහෙම කොන්දේසි ගේන්න බැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ණය නම් ඒ සියලු ණය අහෝසි වෙන්න ඕනා. ඒක රජයෙන්ද, පුද්ගලක අංශයෙන්ද, පුද්ගලයෙක්ද දුන්නේ මේ සියල්ල අහෝසි වෙන්න ඕනා.

දැනට මාස කිහිපයකට කලින් ලංකාව පුරා දැවැන්ත අරගලයක් තිබුණා. ඒක ගෝල්ෆේස් අරගලය කියලා නම් වුනා. ඒක ජනතාවගේ අරගලයක්. ඒ අරගලය ඇතුලෙත් ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැටලුව නියෝජනය වුණා. සමාගමෙන් කොමිස් එක අරගෙන ගෙදර යනකොට අපිට දීපු ඡන්ද පොරොන්දුව අමතකයි. ඊළඟ මැතිවරණයට සමාගමෙන් මුදල් ගන්න ඕනා එතකොට අපිට දීපු පොරොන්දු අමතකයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි වෙනුවෙන් පෙනී සිටින්න.

දැන් මේ දවස්වල විදුලි බිල වැඩිකරනවා කියනවා. අපේ ගෙවල්වල අපි විදුලිය පාවිච්චි කරන්නේ ඉතාම අඩුවෙන් . කාමරයෙන් කාමරයට යනකොට ලයිට් එක off කරන් යනවා. රයිස් කුකර් එකේ බත් එක හැදිලා ඉවරනම් ඉක්මනින් off කරනවා. ගෙදර ෆ්‍රිජ් එකක් තියෙනවනම් ඒක පවිච්චි කරන්නේ නැහැ. හැබැයි පහුගිය කාලෙ පුටු රත්කරපු මන්ත්‍රීලා ඇමතිලා 80ක් කෝටි ගණන් බිල් ගෙවලා නැහැ. ගෙවන්නේ නැතුව උන් ඉන්නවනෙ. මැති ඇමතිකම් තියාගෙන ඉන්නවා. ලස්සනට පාරෙත් බැහැලා යනවා. අපේ ගෙවල්වලට ඇවිල්ලා ඡන්දෙත් ඉල්ලනවා. අපි ලක්ෂ ගණන් නෙමෙයි, පුංචි මුදලක් ගෙවන්න තියෙන්නේ. උපරිම ලක්ෂයක් තියෙයි . ඒකෙත් අපි ගෙවලා. නමුත් අපි හිතනවා ගෙවන්නේ නැතුව ඉන්න බැහැ කියලා. මෙතන තමයි අපිට වැරදුන තැන. උන්ට ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන්. අපිට ගෙවන්නේ නැතුව ඉන්න බැහැ. නැහැ අපිටයි ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන්. අපි තමයි මේ රට ජීවත් කරන්නේ. කාන්තා ශ්‍රමය නැති තැනක් නැහැ. අපේ ශ්‍රමයෙන් තමයි උන් අර රජ පුටුවල ඉන්නේ. අර්ජුන් ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගම බැංකු දෙකට අපේට තියලා සල්ලි අරගෙන ඒ ණය ගෙවන්නේ නැහැ. හැබැයි අපි දරුවා ජීවත් කරන්න, බෙහෙත් ටික ගන්න, කැඩිච්ච ගේ හදාගන්න, විශ්ව විද්‍යාලයට යන් දරුවාගේ ආම්පන්න ටික අරගෙන දෙන්න. ගෙදරට බඩුමුට්ටු ගන්න. අන්න ඒකට ගත්ත ණය ගෙවාගන්න බැරුව ඉන්නවා. ඒ ගෙවාගන්නත් බැරි මුන් අපේ ආර්ථිකේ නැති කරලා දාපු නිසා. කුඹුරට පොහොර ටික දෙන්නෙ නැහැ කියලා ගොබ්බ තීරණේ ගත්තෙ උන්.

දැන් අපි කල්පනා කරනවා අපිට පුලුවන්ද ගෙවන්නේ නැතුව ඉන්න කියලා. පාලකයන්ට පුළුවන් අපිට බෑ කියලා හිතන එක අපි අනිත් පැත්ත හරවන්න ඕනා. පාලකයෝ ගෙවන්න ඕනා ඒ තියෙන දේවල්. අපිට ගෙවන්න බැහැ. දැන් අපි මේ ණය කපා හරින තත්ත්වෙට ගෙනියන්න ඕනා. ඒ වෙනුවෙන් තමයි අපි සංවිධාන හැකියාව වර්ධනය කරගත යුත්තේ. හරියට තමන්ගේ ප්‍රශ්නේ වෙනුවෙන් එළියට බැස්සොත් අරගල කරොත් උත්තර නැති තැනක් නැහැ.

හෙට අනිද්දා ඡන්ද එයි ඒගොල්ලන්ට දිනන්න පුළුවන් කියලා හිතනවානම්. ආයිමත් අපිට ඇවිල්ලා කියයි ගෙවන්න එපා. දැන් නියාමන අධිකාරියක් ඇවිල්ලා තියෙන්නේ. ඕක අපි බලාගන්නම්. ඒ නිසා දෙන්න අපිට ඡන්දේ. ගෙවන්න එපා කියලා කියන එකට අපිට කොහොමත් කයන්න තියෙන්නේ ඔව් අපි ගෙවන්නේ නැහැ තමයි. ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය ලෙස මුළු රටටම අපි කියලා ඉවරයි මේ ණය තවදුරටත් ගෙවන්නේ නැහැ. හිරේ දානවනම් හිරේ දාන්න ලක්ෂ 30ක්. උසාවි ඉස්සරහට ගේනවානම් ගේන්න ලක්ෂ 30ම. පුලුවන්නම් එක කරලා පෙන්නන්න.

2022 මාර්තු 31 වෙනකොට මුළු ලාභය විහරක් රුපියල් බිලියන 161ක්. 2018 වෙනකොට ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලෙස අපිට ලබාදී තිබූ මුළු මුදලත් රුපියල් බිලියන 94යි. උන්ට අපි ගෙවලා නැත්තම් කොහොමද ලාභ ගන්නේ. උන්ට අපි ගෙවල ඉවරයි. ඒ නිසා තවදුරටත් අපිට ගෙවන්න දෙයක් නැහැ. “

leave a reply