‘කල්පිත කවියකුගේ කල්පනා කවුළු’ නමින් අප අතර පැමිණ තිබෙන නඳුන්ගේ අභිනව කාව්‍ය සංග්‍රහය කියවමින් සිටින අතර මේ සටහන තබන්නේ අප සමග එකම කලක කවි ලියමින් සිටින කවියකුට ගෞරව කිරීමක් සහ ඔහුගේ කාව්‍ය භාවිතය වටහා ගත හැක්කේ කවර පර්‍යාලෝකයක දැයි සිතමින් සිටින අතරය.
ලෝකයේ පවතින විවිධ කාව්‍ය සම්ප්‍රදායන් ගැන තබා සිංහල කව්‍ය සම්ප්‍රදාය ගැනවත් ගැඹුරු අවබෝධයක් මට නැතත් වසර තිහක පමණ කාලයක් තිස්සේ කාව්‍ය රසිකයකු ලෙස මම කාලය ගතකර ඇත්තෙමි . ඒ දිගු කාලය තුළ කවිය විමසීම අරබයා මා රැස් කරගත් භාවමය සහ ඥානමය සම්පත් අභියෝගයට ලක් කරන කවියක් රැගෙන නඳුන් පැමිණ තිබෙයි . ඒ කවිය මා විඳින්නේ කෙසේද?. ඒ කවිය ගැන හරවත් සංවාදයක් සිංහල කාව්‍ය රසිකයන් සමග ඇති කරගන්නේ කෙසේද?යන්න සරල දෙයක් නොවේ . ‘සුළඟෙහිම සුළඟක්ව’ නම් කෘතියේ සිට නඳුන්ගේ කවිය යම් ආකාරයක බුද්ධිවාදී එළඹුමක් ද සහිත කවියක් බවට රූපාන්තරණය වෙමින් පවතියි . හුදෙක් නිශ්චල රූපකයක් වෙනුවට තීර්‍යක් තරංගයක ස්වරූපයක් ගත් රූපක භාවිතයෙන් නඳුන් සාර්ථක්ත්වය වෙත පැමිණ ඇති බව ඒත්තු යන කවි ඉන් පසු පැමිණි කාව්‍ය සංග්‍රහ ද්විත්වයෙන්ම පෙනෙන්නට තිබුණු අතර දැන් පැමිණ ඇති අභිනව කාව්‍ය සංග්‍රහයෙන් ද එය තහවුරු වෙයි .
නඳුන්ගේ කවිය වෙත ප්‍රවේශ වන විටම මට හැරල්ඩ් බ්ලූම්ගේ HOW TO READ AND WHY කෘතියේ ආරම්භයේ දී ම එන අදහසක් මතකයට එයි .
“Literary criticism ,as I have learned to understand it ,ought to be experiential and pragmatic, rather than theoretical .”
සැබැවින්ම තමා ළඟ ඇති කෘතිය කියවීමට අවශ්‍ය ආලෝකය ලබා ගැනීමට මිස කෘතිය කියවන්නාගේ තරම පෙන්වීමට කඳවන න්‍යායවලින් පලක් නැත .
ලාල් හෑගොඩගෙන් සිංහල කවිය අවසන් නොවන බව තිර ලෙස අපට ඒත්තු ගැන්වූ කවියා මංජුල වෙඩිවර්ධන බව කීම අතිශයෝක්තියක් නොවේ .ඉන් පසු ලක්ශාන්ත අතුකෝරල ඒ බව සනාථ කළේ ය. නඳුන් ද එබඳු කවියකු බව කීමට අප ප්‍රමාද විය යුතු නැත . කාලයෙන් කාලයට එන කවියන්ගේ භාවිතය වෙනස්වීම ඕනෑම සම්ප්‍රදායක ලක්ෂණයකි . නදුන්ගේ කවියේ රූපක භාවිතය පමණක් නොව ඔහුගෙ කවිය ස්පර්ශ කරන තේමා පවා කිසියම් නැවුම් බවක් පෙන්වයි .නඳුන් ගැන කතා කිරීමේ දී නව කවි සලකුණ කෘතියේ එන පහත දක්වෙන අදහස වැදගත් යැයි සිතමි .
“කවිය උදෙසා එවැනි සක්‍රිය පාඨකයකු ගොඩ නැඟීම අවශ්‍යවේ.කවි කියවීම නම් කාර්‍ය වෙත පැමිණෙන පාඨකයන් සතුව නිසර්ගයෙන්ම පාහේ මේ හැකියාව පිහිටා ඇති බව ද බොහෝ විට දකින්නට පුළුවන . ඔවුන් කවිය වෙත ඇදෙන්නේම ඒ නිසාය .එහෙත් එවැනි සක්‍රීය පාඨකයන්ගේ ගණන සහ ගුණය වැඩි කර ගැනීම ඕනෑම සාහිත්‍ය සංස්කෘතියකට අවශ්‍ය වන දෙයකි .සාහිත්‍ය කලින් කල විවිධ ස්වරූප ගෙන වැඩෙන නිසා මේ සක්‍රීය පාඨකයා ගොඩ නැඟීම සහ ඒ පාඨකයා සක්‍රියව තබා ගැනීමේ කාර්‍ය නොනැවතී සිදුවිය යුතු ය.”
නඳුන්ගේ කවිය සක්‍රීය පාඨකයකුගේ සහභාගිත්වය තදින් ඉල්ලා සිටින කවියකි .ඒ සක්‍රිය සහභාගිත්වයේ ස්වරූපය වටහා ගන්නට ‘ද්විත්ව අවධානයකින් කියවීම’ යන උපශීර්ශය යටතේ එන නවකවි සලකුණ කෘතියෙන් උපුටාගත් අදහස වැදගත් වෙයි .
“…ඉහත කී විචාරකයන් ඉතා කුඩා කවියක වුවත් ආකෘතිකමය අංග දෙස පවා බැලුවේ සමාජ ඉතිහාසය පිළිබඳ විඥානයෙන් යුතුවය .එ නිසා මේ විචාරකයන්ට දැනුණ මේ වග කීම පිළිබඳ හැඟීම ෆෙඩ්‍රික් ජෙම්ප්සන්ගේ වචනවලින් කියන්නේ නම් මෙසේය ;ඒ වගකීම යනු තනි තනි වාක්යේ හැඩය වටහා ගැනීමේ දුෂ්කර ව්‍යායාමය පිළිබඳ හැඟීමකි .”
ජාතියකට පහළවන කවියකු වටහා ගැනීමේ දී ලයනල් ට්‍රිලින් විචාරය සම්බන්ධයෙන් කී බුද්ධිමය ආදරය පිළිබඳ කතාව ඉතා වැදගත් ය. රේන මරියා රිල්ක කී කවියකට ළංවිය හැක්කේ ආදරයට පමණක් ය යන අදහස ද එවැන්නකි . නඳුන්ගේ පොත කියවා සංවාදයක් හදා ගන්නා තෙක් ඔහුට සුබපතමි.