මේ වන විට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ නිලධාරීන් 25 දෙනෙකු IRIS Bushehr ඉරාන නෞකාවට ගොඩ වී සිටින බවත් ඉරාන නාවිකයන් 15 දෙනෙකු සමග නෞකාවේ කටයුතු ශ්‍රී ලංකාව සහ ඉරානය එක්ව මෙහෙයවමින් සිටින බවත් වාර්තාවේ.
විශේෂ ආරංචිමාර්ග වාර්තා කරන්නේ මෙම නෞකාව ශ්‍රී ලංකාව භාරයට පවරාගැනීමෙන් පසු යළි යුද්ධය අවසාන වන තුරු ශ්‍රී ලංකාව භාරයේ මෙම නෞකාව පවතිනු ඇති බවයි.
ශ්‍රී ලංකාව මෙම නෞකාව යුද්ධය අවසන් වීමට පෙර නිදහස් කළහොත් එය ජාත්‍යන්තර නීතිය අනුව සලකන්නේ යුද්ධයක සිටින රටකට නෞකාවක් නවත්වාගෙන සිට නැවත යුද්ධය සදහා යොදා ගන්නා තෙක් රදවාගැනීමට අවසර ලබා දීමක් ලෙසය.
ආරංචිමාර්ග පවසන ආකාරයට ශ්‍රී ලංකාව විසින් මෙම නෞකාව සිය භාරයට ගැනීමට දීර්ඝ සාකච්ඡා මාලාවක් 04 වැනිදා රාත්‍රිය පුරා සිදු කර තිබේ. එහිදී ප්‍රථමයෙන් ඉරාන නෞකාවේ කපිතාන්වරයා ශ්‍රී ලංකාවේ නියෝජිතයන්ට නෞකාවට ගොඩ වීමටත් අවසර දීමට මැලි වී තිබෙන බව වාර්තා වේ. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් එරට විදේශ කටයුතු ඇමතිවරයා සමග මේ පිළිබද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් මෙවැනි නෞකාවක් පිළිබද මෙරට පවතින ඉරාන තානාපති කාර්යාලය හරහා සාකච්ඡා කිරීමට ඉඩකඩක් නොලැබේ. එයට හේතුව නෞකාවේ සිටින කපිතාන්වරයා මෙරට රැදී සිටින තානාපතිවරයාගේ නියෝග බාර ගැනීමට බැදී නොසිටීමය. ඒ අනුව ඍජුවම ඉරානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට සිදු වේ. එහෙත් ආරක්ෂක හේතු මත ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සියලු ප්‍රධානීන් එක්වරම සම්බන්ධ කර ගැනීම අසීරුය. ඔවුන් දූරකථන ඇමතුම් ලබා දෙන වෙලාවක් පවතින අතර එතෙක් රැදී සිටීමට සිදු වේ.
ඒ ආකාරයට ශ්‍රී ලංකාවේ විදේශ ඇමති විජිත හේරත් සහ ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි අතර සම්බන්ධතා පවත්වා තිබුණි.
මේ අතර රජයේ ආරංචිමාර්ග වාර්තා කරන්නේ මුහුදේ ගිල්වන ලද ඉරාන නෞකාව ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර නොඉල්ලූ බවත්, පෙබරවාරි 09 සිට 13 දක්වා ‘ගුඩ්විල් විසිට්‘ හෙවත් සුහද හමුවකට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලු බවත්ය. ඉරානයේ යුධමය නෞකාවක් එලෙස හදිසියේ ‘ගුඩ්විල් විසිට්‘ එකකට පැමිණීම ශ්‍රී ලංකා බාරගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් නොවූ බවත් යුධ නෞකාවක් රට ඇතුළට ගැනීම යුද්ධයේ පාර්ශ්වයකට සහයෝගය දැක්වීමක් ලෙස සලකනු ඇතැයි ශ්‍රී ලංකා රජය සැලකිල්ලට ගත් බවත් එම ආරංචිමාර්ග වාර්තා කරයි.
මෙම නෞකාව භාරයට ගැනීමට පෙර ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තානාපති කාර්යාල ගණනාවකට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනුම් දුන් බවද වැඩිදුරටත් අපගේ ආරංචිමාර්ග සදහන් කරයි. නෞකාව සිය භාරයට ගැනීම පිළිබද එම රටවල්වලින් කිසිදු විරෝධයක් නොදැක්වූ බවත් එවැනි විරෝධය දැක්වීමක් සිදු කළේ නම් යුධමය ප්‍රහාරයකට මැදි වීමේ අවදානම මැද නෞකාව සිය රටට ගැනීමට ජනාධිපතිවරයා සූදානමින් නොසිටි බවත් එම ආරංචිමාර්ග පවසයි.
දැනට වැලිසර නාවික හමුදා කදවුරට ගෙන ගිය පිරිස දිගටම ශ්‍රී ලංකාවේ රදවා තබා ගැනීමට බලාපොරොත්තුවන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.






