ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට විරුද්ධව එල්ල කරන මෙලෙච්ඡ යුද්ධය සහ මේ වනවිට පවතින ජාත්‍යන්තර දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද ( 2026. 03. 05 ) දින නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.
එහිදී මාධ්‍යට අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව.
” ඉරානයට එරෙහිව ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරමින් යන්න මෙලෙච්ඡ ප්‍රහාරය අපි ඉතාම පිළිකුල්සහගතව හෙළා දකිනවා. මේ ප්‍රහාරය නිසා උල්ලංඝනය වෙන්නේ ඉරාන ජනතාවගේ ස්වරීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. සමහරු උත්සහ කරනවා මේ යුද්ධය ආගමික යුද්ධයක් ලෙස හුවා දක්වන්න. නමුත් මේ යුද්ධෙ පිටුපස තියෙන්නේ ඊට වඩා වෙනස් ආර්ථික සහ දේශපානලන වුවමානාවක්. ඉදිරි වසර කිහිපය ඇතුළේ චීනය ලෝක ආර්ථික බලවතා වෙන්න නියමිතයි. අන්න ඒ ආර්ථික නැගීම වැළැක්වීම සඳහා වන උපායමාර්ගයක තමයි ඇමරිකාව මේ වෙද්දි ඉන්නේ. ඒ සඳහා ඔවුන්ට අවශ්‍යයි මැදපෙරදිග කලාපයේ භූ දේශපානලන බලය මුළුමනින්ම ඔවුන් අතට ගන්න. ඒ කතාවේ විවිධ පරිච්ඡේද අපිට පහුගිය කාලෙම දකින්න ලැබුනා. ගාසාතීරයේ, ඉරාකයේ, වෙනිසියුලාවේ වගේම ලිබියාව වගේ රටවලත් දිගහැරුණේ ඇමරිකානු බල ලෝභී වුවමානාවම තමයි.
අපි දන්නවා ලෝකයේ ස්වාභාවික ගෑස් නිධිවලින් දෙවැනියට ස්වයංපෝෂිත රට තමයි ඉරානය. ඒ වගේම ඉරානය සතුව තෙල් නිධි විශාල ප්‍රමාණයක් තියනවා. මෙන්න මේ තෙල් නිධිවල අයිතිය චීනයට ද අයිතිවෙන්න ඕන ඇමරිකාවට ද අයිතිවෙන්න ඕන කියන කාරණය තමයි මේ යුද්ධයට මුල් වෙලා තියෙන්නේ. ඇමරිකාවට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැහැ මෙහෙම වෙනත් රටකට පහර දෙන්න. අනිත් කාරණය තමයි ඇමරිකාව ඉරානයට විරුද්ධව දියත් කරන මේ යුද්ධය සඳහා ඇමරිකානු කොංග්‍රසය නිල වශයෙන් අනුමැතියක් දීලා නෑ. අද වෙද්දි මේ ප්‍රහාරය නිසා අහිංසක සාමාන්‍යෙ ජනතාව දහසකට වැඩි පිරිසක් මෙලෙච්ඡ විදිහට ඝාතනය වෙලා ඉවරයි. ඛේදජනකම සිද්ධිය තමයි මානවහිමිකම් ගැන පම්පෝරි ගහන ඇමරිකාව මේ ප්‍රහාරය පටන් ගත්තෙම බාලිකා පාසලකට බෝම්බ හෙලීමෙන්. ඒ ප්‍රහාරයෙන් ඉරාන පාසල් ශිෂ්‍යාවන් 140ක් පමණ ඝාතනය වුනා.
දැන් ඊයෙ දවසේ ඇමරිකානු හමුදාව ඉරාන යුධ නැවකට පහර දුන්නා. ඒ ලංකාව ආසන්න මුහුදු කලාපයේදී. මේ ප්‍රහාරයට ආව ඇමරිකානු සබ්මැරීනය ලංකාවේ මුහුදට ඇතුළු වුණාද කියන සැකයත් මේ වෙද්දි මතුවෙලා තියනවා. එහෙම බලහත්කාරයෙන් රටකට ඇතුළු වෙන්න පුලුවන් කමක් නැහැ. හැබැයි අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂලගේ කාලේ රනිල් වික්‍රමසිංහලගේ කාලේ ඇස්කා වගේ භයානක යුධ ගිවිසුම් ඇමරිකාව එක්ක අත්සන් කරලා තිබුණා. ඒ වගේම තමයි මේ ආණ්ඩුවත් SPP කියලා අළුත් ආරක්ෂක ගිවිසුමක් ඇමරිකාව එක්ක අත්සන් කළා. මේ යුද ගිවිසුම්වල තියෙන්නේ අපේ රටේ ස්වාධීනත්වය ස්වෛරී භාවය පාවා දෙන වගන්ති. මේවට අනුව ඇමරිකාව පැටලෙන ඕනෑම යුද්ධයකදි අපි ඔවුන්ට රෝහල් පහසුකම් අපේ භූමිය යටිතල පහසුකම් ලබා දෙන්න බැඳිලා ඉන්නවා. මේක ඉතාම භයනකයි. ඇමරිකානු සබ්මැරීනය අපේ මුහුදට ආවද නැද්ද සහ එහෙම ආව නම් ඒකට අවසර ලැබුණේ කොහොමද කියලා ලංකාවේ රජය වහාම හෙළිදරව් කළ යුතුයි. අනික් කාරණය තමයි මේ කියන ඉරාන නැව ආසියානු සාගරයට ඇවිත් තිබුණේ ආරක්ෂක අභ්‍යාසයකට. එහෙම ආව නැවකට තමයි ඇමරිකාව පහර දුන්නේ. මේ ප්‍රහාරය නිසා සියයකට වැඩි පිරිසක් ඝාතනය වෙලා ඉවරයි.
මේ මෙලෙච්ඡ ක්‍රියාවලින් අපිට පේනව ඇමරිකාව දැන් ඉන්නේ වියරු වැටිලා. තමන්ගෙන් ගිලිහෙන බලය රැකගන්න ඕනම තුච්ඡ ක්‍රියාවක් කරන්න ට්‍රම්ප් ලෑස්ති වෙලා ඉන්නේ. නමුත් ඒ මෙලෙච්ඡ ක්‍රියා හෙලාදකින්න තරම්වත් ලංකාවේ ආණ්ඩුවට කොන්දක් නෑ. ඇහුවම කියන්නේ ඒක උපක්‍රමයක් කියලා. එහෙම උපක්‍රමයක් නම් හැම එකටම නිහඬව ඉන්න ඕන. එහෙම නැතුව ඇයි ඉරානය ප්‍රතිප්‍රහාරයක් විදිහට සෞදි අරාබියේ ඇමරිකානු හමුදා කඳවුරුවලට පහර දුන්නම ඒකට විතරක් නින්දෙන් ඇහැරිල කණගාටුව ප්‍රකාශ කරන්නේ ? වෙනිසියුලානු ජනාධිපති පැහැරගත්තා, කියුබාවට සම්බන්ධක දැම්මා, ගාසාතීරයට පහර දුන්නා, ඉරානයට මෙලෙච්ඡ ප්‍රහාරයක් එල්ල වුනා, හැබැයි ඒ එකකටවත් කතාකරපු නැති ආණ්ඩුව සෞදියේ ඇමරිකානු කඳවුරුවලට පහර දීපු එකට විතරක් ප්‍රකාශ නිකුත් කරනවා. ඇමරිකාවට මේ ආණ්ඩුව කොච්චර හීලෑද කියලා මේකෙන් පැහැදිලියි. දැන් පාර්ලිමේන්තුව ඇතුලේ මේවට නාමල් රාජපක්ෂලා සජිත් ප්‍රේමදාසලා කිඹුල් කඳුළු හෙළනවා. හැබැයි අපි දන්නවා ඇස්කා වගේ භයානක පාවාදීමේ ගිවිසුම් අත්සන් කලේ ගෝඨාභයගේ කාලේ. ඊටපස්සෙ රනිල් ඒ ගිවිසුම දින නියමයක් නැතුව දිගු කළා. ඒ නිසා මේ විපක්ෂයත් අද ඇමරිකාව කරන මැදිහත්වීම්වලට වගකියන්න ඕන.
අපි මේ වෙලාවේ ජන අරගල සන්ධානය විදිහට මේ ආණ්ඩුවට කියන්නේ මේක එන එන්නම උත්සන්න වෙන යුද්ධයක්. මේ යුද්ධය මෙතනින් නතර වෙන්නේ නැහැ. ඇමරිකානු කඳවුර හරි චීන කඳවුර හරි තමන්ගේ බල අධිකාරිය තහවරු කරගන්න කල් මේ බල යුද්ධය දිගටම ඇදෙන්න නියමිතයි. අපි මේ යුද්ධයේ පාර්ශව කරුවෙක් වෙන්න ගියොත් වෙන්නේ අනෙක් පාර්ශවයේ ප්‍රහාරයට ලක් වෙන්න වෙන එක. මේක දැන් සීසෝවක් වගේ අපි ඇමරිකාව පැත්තෙ ගිහිල්ලා වාඩිවෙලා ඉන්න වෙලාවට සීසෝවේ චීන පැත්ත ඉස්සුනොත් මොකද කරන්නේ ? ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ යුද්ධයෙදි නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්න කියලා. ඒක තමයි මේ වෙලාවේ හොඳම දේ. හැබැයි ඒ කියන්නේ අධිරාජ්‍යවාදී රටවල් මේ කරන මනුෂ්‍යත්වයට එරෙහි මෙලෙච්ඡ විදිහට අපරාධ අනුමත කරන්න කියන එක නෙවෙයි. මේ ජන ඝාතක මෙලෙච්ඡ යුද්ධය ගැන අපි අනිවාරෙන් අපේ අප්‍රසාදය පල කළ යුතුයි.
අපි මේ වෙලාවේ අධිරාජ්‍යවාදි ඇමරිකානු භූ දේශපානලන ප්‍රතිපත්තියට වගේම ඉරානයේ තියෙන ආගමික අන්තවාදයටත් එරෙහි විය යුතුයි. අන්න ඒ සඳහා ජාත්‍යන්තර ජනතා සහයෝගිතා ව්‍යාපාරයක් ගොඩනගන්න එකතුවෙමු කියලා අපි ලෝකයේ සියලු වැඩ කරන ජනතාවට ආරධානා කරනවා. ඉරාන ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගන්න පුලුවන් වෙන්නේ එවැනි ජනතා මැදිහත්වීමක් හරහා විතරයි. “






