Breaking News

අධිකරණ අපහාස කිරීම පිළිබඳ නීතිය මොකක්ද?

ශාලික විමලසේන

අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කිරීමේ චෝදනා ලත් නීතිඥවරයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත්, ඔහුගේ නීතිඥ වෘත්තීයභාවය තාවකාලිකව අත්හිටුවීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළ නියෝගය දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. අවස්ථා කිහිපයකදී ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් මේ චෝදනා ලත් නීතිඥ සුසිල් ප්‍රියන්ත ජයතුංගගෙන් විමසා තිබුණේ ‘ඔබ පෙර ස්ථාවරය ම දරන්නේද’ යනුවෙනි. ඒ සෑම අවස්ථාවකදී ම ඔහු සඳහන් කර තිබුණේ ‘ඔව්’ යන පිළිතුරයි.

නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විනිසුරුවරුන්ට හැකියාවක් නැති බවට නීතිඥවරයා විසින් තර්ක කරන ලදි. ඊට හේතුව තමන් මේ විනිසුරුවරුන්ට එරෙහිව නඩු පවරා තිබීම බව නීතිඥවරයා පෙන්වා දී තිබිණි. මේ නඩුව විමසීමට තමන්ට නියම කර ඇත්තේ අගවිනිසුරුවරයා විසින් බවත්, අධිකරණයේ කටයුතුවලට බාධා නොකරමින් එම කටයුතු පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන ලෙසත් මෙහිදී ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන් නීතිඥවරයාට දැනුම් දෙන ලදි.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මල විග්නේෂ්වරන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසයි. සියලු කරුණු සලකාබැලීමෙන් පසු අධිකරණය අදාළ නියෝගය ලබාදුන් අතර, ඒ අවස්ථාවේදී ‘ස්තූතියි ස්වාමීනි’ යනුවෙන් පවසා අධිකරණයට ආචාර කළ නීතිඥවරයා, ඔහු පැළඳ සිටි නීතිඥ කබාය ගලවා සිය අසුන මත දමන ලදි.

නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සමග අදාළ සිදුවීම සම්බන්ධයෙන් කළ සංවාදයක සටහනක් පහත දැක්වේ.

අධිකරණ අපහාසය සම්බන්ධයෙන් ලංකාවේ නීතියේ නිශ්චිත අර්ථ නිරූපණයක් නොමැති වීම ගැටළුවක් නේද, ඇයි ඒ වගේ තත්ත්වයක් මතුවෙලා තියෙන්නෙ…?
ඇත්ත. එහෙම නිවැරදි අර්ථ නිරූපණයක් නැති තත්ත්වයක් තියෙනවා. නමුත් අවසාන වශයෙන් අධිකරණ අපහාසය පිළිබඳ අවසාන තීන්දු ගැනීමේ බලය තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒක පැහැදිලියි. ඒ වගකීම තියෙන්නෙ එතැන.

නීතිඥවරයකුගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණය ඔබ විග්‍රහ කරන්නෙ කොහොමද?
අපි හිතමු මම වෘත්තීය විරෝධී කටයුත්තක් කළා කියලා. එතකොට අනුගමනය කළ හැකි ක්‍රමවේද කිහිපයක් තියෙනවා. එකක් තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණිල්ලක් හෝ අගවිනිසුරුතුමාට පෙත්සමක් යොමුකරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදි ඒ පිළිබඳ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළාම චෝදනාවට ලක්වන තැනැත්තා කරුණු දැක්විය යුතුද කියන කාරණය පිළිබඳ අධිකරණය තීරණයක් ගන්නවා. ඊට පස්සෙ පරීක්ෂණයක් පවත්වලා කටයුතු කරන්න හැකියාව තියෙනවා. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෝ අභියාචනාධිකරණය ඉදිරියේ යම් වෘත්තීය විරෝධී කටයුත්තක් කළා නම්, ඒ අධිකරණයටම ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමේ හිමිකම තියෙනවා.

මං මේ නීතිඥ මහත්මයගෙ සිදුවීම සම්බන්ධයෙන් හරියටම දන්නෙ නෑ. නමුත් මං හිතන්නෙ ඔහු අධිකරණයට අපහාස කළා කියන පූර්ව විනිශ්චය මත තමයි අධිකරණයෙන් මේ පියවර අරගෙන තියෙන්නෙ. ඒ කියන්නෙ එතැනින් අවසාන නෑ. මීට අදාළ චෝදනා ඉදිරිපත් කරන්න කියලා නීතිපතිතුමාට නියෝග කරලා තියෙනවා. ඊටපස්සෙ අදාළ නීතිඥ මහත්මයට අවස්ථාවක් දෙනවා ඔහුගේ නිදහසට කරුණු ඉදිරිපත් කරන්න. එතැනින් පස්සෙ තමයි අවසාන වශයෙන් තීන්දුවක් ගන්නෙ. දැනට අධිකරණය අරගෙන තියෙන්නෙ තාවකාලික තීන්දුවක්. මං හිතනවා කරලා තියෙන වරදේ බරපතළකම සලකා බලලා වෙන්න ඕනෙ ඒ අවස්ථාවෙම ඔහුව රිමාන්ඩ් භාරයට පත්කරලා තියෙන්නෙ.

මෙතැනදි ආපහු මුල් ප්‍රශ්නෙට ගියොත්, නිශ්චිත අර්ථ නිරූපණයක් නොමැති වීම කියන කාරණය මේවට බලපාන්නෙ කොහොමද?
මං මුලින් කිව්වා වගේ ඒ කතාවෙ යම් හරයක් තියෙනවා. ඒ සමග මං මෙහෙම උත්තරයක් දෙන්නම්. අපේ වෘත්තියේ සහ අධිකරණයේ ගෞරවය රැකිය යුතුයි. ඒක කැඩුණොත් ඒ පුද්ගලයන්ට විතරක් නෙමෙයි, ඒ සමාජයටම ලොකු හානියක් වෙනවා. එතකොට අධිකරණයේ සහ නීතිඥ වෘත්තියේ ගෞරවය රැකගැනීම ඉතාමත්ම වැදගත් කාරණයක්. ඒක බිඳවැටෙන අවස්ථාවකදි ඒකට අදාළව විමර්ශනයක් පවත්වලා අධිකරණය සෑහීමකට පත්වෙනවා නම් වරදක් වෙලා තියෙනවා කියලා අධිකරණයට හිමිකමක් තියෙනවා යම් නියෝගයක් කරන්න.
ඔබ අහන විදිහට ඒක අන්තිම වචනය දක්වා පැහැදිලි කරලා නැතිවෙන්න පුළුවන්. ඒක ගැන මම තර්ක කරන්න යන්නෙ නෑ. නමුත් අනාදිමත් කාලයක ඉඳලා ඒ බලතල ශ්‍රේෂ්ඨාධිකරණය සතු ව තියෙනවා.

මේ නීතිඥ මහත්මයා අධිකරණයට කියලා තිබුණා, අගවිනිසුරුතුමා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අටදෙනෙකුට එරෙහිව ඔහු පියවර අරගෙන තියෙනවා කියලා. මොකක්ද ඇත්තටම එහෙම ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නිවැරදි පිළිවෙල…?
මම මේ කියන දේ අසාධාරණ ප්‍රකාශයක් වෙන්නත් පුළුවන්. හැබැයි අපේ වෘත්තියේ ඇතැම් නීතිඥවරු සමහරු වෘත්තියේ ගෞරවය හෑල්ලුවට ලක්කරමින් කටයුතු කරනවා. නිවැරදි පිළිවෙල වෙනුවට වෙනත් මාර්ගවල යනවා. මේ නීතිඥ මහත්මයත් තර්ක කරලා තියෙන්නෙ ඔහු පෙත්සම් ඉදිරිපත් කරලා තියෙන නිසා මගේ පෙත්සම විභාග කරන්න බෑ කියලා. මං මේ එතුමට විරුද්ධව අදහස් දක්වනවා නෙමෙයි. එතුමට තමන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් කටයුතු කරන්න සාධාරණ අවස්ථා ලැබෙන්න ඕනෙ.
හැබැයි මේකෙ මෙහෙම පැත්තකුත් තියෙනවා, කෙනෙකුට ඕනෙ නම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමන්ට විරුද්ධව පියවර ගන්න එක වළක්වන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න විනිසුරුතුමන්ලා දාහත්දෙනාටම විරුද්ධව පෙත්සම් ගහනවා. ඒ වගේ තැන්වලදි යම් ආකාරයකට අකුරටම කටයුතු කරන්න අසීරු වෙන එකේ යම් අසාධාරණකමක් නෑ කියන එකයි මගේ අදහස. අපිට කිසිම අයිතියක් නෑ, ඒ නීතිඥ මහත්මයා වැරදියි කියලා හිතාගෙන කටයුතු කරන්න. අධිකරණයත් ඔහුට සාධාරණ අවස්ථා දෙනවා කියන එක ගැන මට විශ්වාසයක් තියෙනවා.

මෙතැනදි අධිකරණය චෝදනා ගොනුකිරීමේ වගකීම පවරන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවට. මේ නීතිඥ මහත්මයා නීතිපතිවරයාට එරෙහිවත් පෙත්සම් ගොනුකරලා තියෙනවා. එතකොට කාට හරි මේ චෝදනා ගොනුකිරීමේ ක්‍රමවේදය ගැන සැකයක් මතුවෙන්නත් පුළුවන්…?
නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යම් ආකාරයක ගැටළුසහගත බවක් තියෙනවා. ඒත් මෙතැනදි මේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයට, නීතිපති දෙපාර්තමේන්තුවට යනාදී සියලු තැන්වලට එරෙහිව පෙත්සම් ගොනුකරලා, ඒවගෙන් තමන්ට විරුද්ධව කටයුතු කරන එක වළක්වන්න පුළුවන් වුණොත්, ඔහු හෝ ඇය ඉන්නෙ ජනාධිපතිටත් වඩා ඉහළින්. ඒක නිසා මේක ප්‍රශ්නකාරී මොහොතක්.
මම විශ්වාස කරනවා, ශ්‍රේෂ්ඨාධිකරණය මෙතැනදි සාධාරණ සහ නිවැරදි තීන්දුවක් ගනියි කියලා. ඒ වගේම අපේ ක්‍රියාවලිය තුළින් ඒ ක්‍රියාවලිය අඩපණ කිරීමක් කරනවා නම් ඒකත් අනුමත කරන්න බෑ.

අධිකරණ අපහාස නඩු සහ තීන්දු

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) අනුව අධිකරණයේදී හෝ අන් ස්ථානයකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතු ය. ඊට අදාළ ව 2024 අංක 8 දරන නව පනතක් ද ඉදිරිපත් කොට තිබේ. මේ නීතිඥවරයාට චෝදනා ගොනුකරන ලෙස නියෝග කර ඇත්තේ එම පනත යටතේ ය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ඇමැති එස්.බී. දිසානායකට 2003 වසරේදී බරපතළ වැඩසහිත වසර 2ක සිරදඬුවමක් නියම කෙරිණි. අගවිනිසුරුවරයාට එරෙහිව පවරා තිබූ නඩුවක් අතරතුර අධිකරණයේදී උස් හඬින් කතාකිරීමේ චෝදනාව මත අගවිනිසුරුවරයා විසින් ම ටෝනි එම්මානුවෙල් ප්‍රනාන්දුට වසරක සිර දඬුවමක් නියම කර ඇත. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කළ බව පවසමින් එවකට හෝමාගම මහේස්ත්‍රාත් ධුරය දැරූ රංග දිසානායක අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් පසු, 2018 වසරේදී වසර 19ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි. කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් උන්වහන්සේට ජනාධිපති සමාව ලබාදෙන ලදි.
2017 අගොස්තු 21දා පැවති මාධ්‍ය හමුවකදී අධිකරණ විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් වූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක තීන්දුවට අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවම් නියම කෙරිණි. ඔහුට ද ජනාධිපති සමාව ලැබුණු අතර, අධිකරණ අපහාසය සම්බන්ධයෙන් වූ තවත් නඩුවකදී රංජන් රාමනායක සමාව ගන්නා ලදි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මහාධිකරණයෙන් මරණ දඬුවම ලබාදීම තහවුරු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව කළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ යුද හමුදාවේ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට 2023 ජනවාරි 24දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වසර 4ක සිර දඬුවමක් නියම කෙරිණි. නීතීඥ වෘත්තියට අගෟරවයක් සහ අවමානයක් වන පරිදි කටයුතු කළ බවට චෝදනා ලැබූ නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය පෙබරවාරි 29දා නියෝග කළේය.

උපුටා ගැනීම – Thetime වෙබ් අඩවිය

 

leave a reply