කොරෝනා වෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ පෙන්වුයේ නැති වුවත්, මේ වසංගතය නිසා සමාජයම ආතුර වී සිටින රෝගයක රෝග ලක්ෂණ ප්‍රදර්ශනය වී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව පැවසුවේ ඔක්තෝබර් 29වැනිදා බත්තරමුල්ල එම පක්ෂයේ කාර්යාලයේ පැවතුනු මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු තව දුරටත් මෙසේ පැවසීය.
‘කොවිඩ් වසංගතය නිසා අපි සමාජයක් ලෙස සිටින්නේ කොතනදැයි අනාවරණය වුණා. අපේ සමාජය විෂමතාවය පිරි සමාජයක් බවට අත්දැකීම් ඕනෑ තරම් ලැබුණා. පොලීසිය නිරෝධායන නීති කඩ කළා කියා ගෙදරට හාල් කිලෝවක් ගේන්න කඩේ යන කෙනාගේ ඉඳලා අත්අඩංගුවට ගන්නවා. ඒවා මාධ්‍ය වලත් පෙන්වනවා. නමුත් නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝනය කළ ලොකු සමාගම් වලට, ධන කුවෙරයන්ට ඒ නීති අදාළ නෑ. සිය සේවකයන් උණ රෝග ලක්ෂණ පෙන්වද්දීත් ඔවුන්ට පැනඩෝල් දිදී වැඩගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ලොක්කන්ට ඒ නීති අදාළ නෑ. තම හෝටලයේ සිටි අයෙකුට කොරෝනා ආසාදිත බව දැනගත් පසුවත් සේවකයන් නිරෝධායනය නොකර ඔවුන්ව වැඩ නිමවී නිවෙස් වලට පවා යැවූ සීදුව හෝටල් හිමිකරුවාට ඒ නීති නෑ. ඒවා ගැන අහද්දී කියන්නේ පරීක්ෂණ කරනවා කියලා. මේ වනවිට සති ගණනක් ගියා. ලොක්කන්ට එහෙම වුණාට සොක්කන්ට නම් ක්ෂණිකව නීතිය ක්‍රියාවේ යෙදවෙනවා. ඇඳිරි නීතිය පනවද්දී සහ ස්වයං නිරෝධායනය කරද්දීත් ආර්ථික හැකියාව නැති අයට කන්නවත් නැති තත්වයක් තියෙන්නේ. ඒ ගැන රජයේ මැදිහත්වීමක් නෑ. ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශ වල අයට සහ ස්වයං නිරෝධායනයේ යෙදෙන පවුල් වලට පමණක් නෙවෙයි, දෛනික ආදායමින් ජීවත් වන, අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ සේවයේ නියුතු රටේ සියලු දෙනාට රාජ්‍ය මැදිහත්වීමෙන් ජීවනාධාරයක් අවශ්‍යයි. ස්වයං රැකියා නියුක්තිකයන්ට සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාර කරන්නන්ට ණය හා ලීසිං සඳහා මාස කිහිපයක සහනයක් අවශ්‍යයි. ඒ හැම දෙනාගේම ආදායම් බිඳ වැටිලා.
මේ අවස්ථාවේ රජය හැසිරෙන්නේ කොහොමද? මිනුවන්ගොඩ පළමු කොරෝනා රෝගීන් වාර්තා වන ඇසිල්ලේ අනෙක් ප්‍රදේශ වලට එය ව්‍යාප්ත වීම වලක්වන පියවර ගන්න තිබුණා. එහෙම වුණානම් මේ විදියට රට පුරාම මෙය ව්‍යාප්ත වෙන්නේ නැහැ. නමුත් සමාගම් වල පීඩනය හමුවේ රජය ආර්ථිකය වහන්න බෑ කියමින් ඒ ප්‍රදේශ අනාරක්ෂිත කළා. නිදසුනක් ලෙස නිදහස් වෙළඳ කලාපයේ එක කම්හලක රෝගීන් වාර්තා වෙද්දීත් කලාපය විවෘතව තැබුවා. අවසානයේ වෛරසය කම්කරුවන් විශාල ගණනකට ව්‍යාප්ත වුණා. මේ ප්‍රශ්න වලදී රජය වැඩකරන ජනතාවගේ පැත්තෙන් බලන්නේ නෑ. දේශපාලන බලයේ වෙනසක් නැතිව මේ ප්‍රශ්නය විසඳන්න බෑ. අවම වශයෙන් රජය සෞඛ්‍ය සේවය පුළුල් කරන්න මැදිහත් වෙන්නේ නෑ. 2021 විසර්ජන කෙටුම්පත ගැසට් වී තිබෙනවා. 2021 වසර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 158යි. 2019 දී බිලියන 178ක් වෙන් කළා. මෙපමණ බරපතල වසංගත තත්වයක් තිබියදීත් සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන 20කින් කපලා. අද වනවිට මුල්ලේරියාව රෝහලේ ප්‍රධාන පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රය කැඩිලා. ඒ නිසා පරීක්ෂණ දින ගණන් ප්‍රමාද වෙනවා. සාම්පල දහස් ගණනක් හිර වෙලා. ගුවන් යානයක් ගුවන්ගත කරද්දීත් එන්ජින් දෙකක් භාවිතා කරනවා. එකක් ක්‍රියා විරහිත වුනොත් විකල්පයක් ඕන. වසංගතයක් පවතිද්දීත් එහෙම විකල්ප නැහැ. පී.සී.ආර්. යන්ත්‍ර ප්‍රමාණවත් නෑ. මීට වඩා කාර්යක්ෂම, නව තාක්ෂනය සහිත යන්ත්‍රයක් දෙකක් ගෙන්වන්න කියලා ඉල්ලීම් තිබුණේ මාර්තු මාසයේ ඉඳලා ඒවාට මුදල් වෙන් කරන්නේ නෑ. කොරෝනා වෛරසය බෝ වීමේදී පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන්නන්ට අවදානම වැඩියි. ඒ නිසා අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කළ යුතුයි. නමුත් කර තිබෙන්නේ කප්පාදුව. 2019දී පොදු ප්‍රවාහනයට වෙන්කළ රුපියල් බිලියන 69, 2021 විසර්ජන පනතේදී බිලියන 41ට කපලා. ජනතා අරමුදල් ලෝභ නැතිව වෙන් කර තිබෙන්නේ මර්දනයට.
මේ අර්බුදය ඉදිරියේ තව දුරටත් පාලකයන් අපේ ජීවිත බේරා දෙයි කියලා බලා සිට පලක් නෑ. සෞඛ්‍ය නිර්දේශ උපරිම රකින අතර අපේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට සංවිධානාත්මකව බල කරමු. සෞඛ්‍ය සේවයට ප්‍රතිපාදන ගන්න වගේම ජීවත් වෙන්න අවශ්‍ය සුභසාධනයක් ලබා ගන්නත් ජනතාව සටන් බිමට එන්න වෙනවා. නමුත් එය කෙටි කාලීනයි. මේ රාජ්‍ය ප්‍රතිපත්තියම වෙනස් නොකර, මේ පවතින දේශපාලන බලයේ වෙනසක් නොකර කල් පවත්නා උත්තරයක් සොයා ගන්න බෑ. සංවිධානය වන ජනතාවගේ දේශපාලන මට්ටම ඉහල නැංවිය යුත්තේ ඒ දිගු කාලීන උත්තරය සඳහා. එක්කෝ වැඩකරන ජනතාව දේශපාලන වේදිකාවට කඩා පැනලා, දේශපාලන බලය අත්පත් කරගෙන මේ තත්වය වෙනස් කරන්න ඕන. නැතිනම් කැලේ නීතියට ඉඩ දීලා වැඩිහිටියන් සහ නිධන්ගත රෝග වලින් පෙලෙන්නන්ට වෛරසයෙන් මැරෙන්න අරින, ආර්ථික හැකියාව නැති අයට බඩගින්නේ මැරෙන්න ඉඩ දෙන මේ යතාර්ථය පිලි ගන්න ඕන. ඒ ඉරණම භාර නොගෙන වෙනස් කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.’