Breaking News

ඉදිරි මැතිවරණය තීරණාත්මකයි ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සූදානම් වන්න

2023 වර්ෂය සඳහා ඡන්දහිමියන් ගනන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකරමින් පවතී. පසුගිය වසර වල පැවති කොරෝනා වසංගතය හේතුවෙන් ගෘහයෙන් ගෘහයට ගොස් ඡන්ද හිමියන් ගනන් ගැනීමේ කටයුතු සිදුනොකල අතර ඉවත් කිරීම සහ ඇතුළත් කිරීම් සිදුකරමින් අදාල ලේඛනය යාවත් කාලීන කිරීම පමණක් සිදුකරන ලදී.

මෙවර ඡන්දහිමියන් ගනන් ගැනීමේ ආකෘති පත්‍රය (BC ආකෘති පත්‍රය) සෑම ගෘහයකටම ලබානොදෙන අතර දැනට වලංගු නාම ලේඛනයේ එක් එක් ගෘහය යටතේ නම් ඇතුළත් ඡන්දහිමියන්ගේ ලැයිස්තුවක් ග්‍රාම නිලධාරීවරයා විසින් ඔබගේ නිවසට රැගෙන එන අතර ඒ නිරවද්‍යතාවය තහවුරු කර ගෘහ මූලික හෝ වැඩිහිටියෙකු එම ලැයිස්තුවේ අත්සන තැබිය යුතුය. එම ලැයිස්තුවේ නම් සඳහන් තැනැත්තන් තවදුරටත් එම ලිපිනයේම පදිංචිව සිටින්නේ නම් වෙනත් කිසිඳු ආකෘති පත්‍රයක් සම්පූර්ණ කළ යුතු නොවේ. අවුරුදු 18 සම්පූර්ණ වීම හෝ පදිංචිය වෙනස් කිරීම සිදුකර ඇත්නම් ප්‍රධාන නාම ලේඛනයට ඇතුළත් වීම සඳහා ග්‍රාම නිලධාරී වෙතින් ER ආකෘතියක් ලබාගෙන සම්පූර්ණ කළ යුතුවේ.

එමෙන්ම ආබාධිත තැනැත්තන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා ආබාධිත ප්‍රජාව සිටින නිවෙස් වලට පෝරමයක් හඳුන්වා දීමද මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්නා ලද ඉදිරිගාමී පියවරක් ලෙස සඳහන් කළ හැකිය. එකී තොරතුරු හරහා එක් එක් ඡන්ද පොලට පැමිණීමට නියමිත ආබාධිත ප්‍රජාව පිළිබඳවත් ඔවුන්ට අවශ්‍ය කරනු ලබන ප්‍රවේශ පහසුකම කවරේද යන්න කල්වේලා ඇතිව දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත. එමෙන්ම මෙම දත්ත පද්ධතිය හරහා ඡනගහනයෙන් 8% කට වඩා සිටින ආබාධිත ප්‍රජාවට අපහසුතාවයකින් තොරව යම් අභිමානයක් යුතුව තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසෙනු ඇත. නමුත් මේ සියල්ල රඳා පවතින්නේ ආබාධිත ප්‍රජාව, ඔවුන් නියෝජනය කරනු ලබන සංවිධාන හා ගනන් ගන්නා නිලධාරීන් වැනි පාර්ශවකරුවන් මේ සඳහා දක්වන උනන්දුව මත බවද සඳහන් කළ යුතුය.

ඡන්දහිමියෙකු ලෙස සුදුසුකම් ලැබීමේ දිනය පෙබරවාරි 01 ලෙස සංශෝධනය කර ඇති හෙයින් ඡන්දහිමියන් ගනන් ගැනීම සඳහා යෝජිත දත්ත මුද්‍රිත ආකෘති පත්‍ර හා 2022 ඡන්දහිමි ලියාපදිංචි විස්තර ඇතුළත් ලැයිස්තු මුද්‍රණය සඳහා ඇනවුම රජයේ මුද්‍රණාලය වෙත කල්වේලා ඇතිව භාරදිය යුතුව තිබුනත් මුදල් අමාත්‍යාංශය අදාල ප්‍රතිපාදන නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවද දැඩි අර්බුදයට මුහුණදුන් බව පෙනෙන්නට තිබේ. එයට හේතුව ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2023.02.02 දිනැති අයවැය චක්‍රලේඛ 02රැ2023 හි 2 වන ඡේදය අනුව ප්‍රමුඛතා ගතකර ඇති අත්‍යවශ්‍ය වියදම් යටතට ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන කිරීම ඇතුලත් නොවීමයි. මෙය අතිශයින්ම කණගාටුදායක තත්ත්වයකි. වාර්ෂිකව සිදුවන ව්‍යවස්ථාපිත කාර්යයක් අත්‍යවශ්‍ය සේවා නොවන ගනයට ඇතුළත් කර ඒ සඳහා බාධාකිරීමේ තත්ත්වයක් මෑත ඉතිහාසය තුළ අප අත්දකින්නේ පළමු වතාවටය.

කෙසේ නමුත් මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශය වෙත සිහිකැඳවීම් කිහිපයක් නිකුත් කිරීමෙන් අනතුරුව ප්‍රතිපාදන නිදහස් කිරීමට කටයුතු කළ අතර එකී ප්‍රමාදය නිසාම 2023 පෙබරවාරි 15 දින සිට ආරම්භ කිරීමට සැලසුම් කොට තිබූ ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය 2023 අප්‍රේල් 28 දින දක්වා කල් දමන්නට සිදුවිය. පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සඳහා උපක්‍රමශීලීව ගන්නා ලද තීන්දු හේතුවෙන් ඡන්දහිමියන් ගනන් ගැනීමේ ක්‍රියාවලිය මාස 2 1රැ2 කින් ප්‍රමාද විය.

සුදුසුකම්ලත් සියල්ලන් ඇතුලත් නිවැරදි ඡන්දහිමි නාම ලේඛනයක් සකස් කර ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට සහය වීම දේශපාලන පක්ෂ සතු යුතුකමක් මෙන්ම වගකීමක් බවද අවධාරණය කරමු. නියමිත කාල සීමාව තුල අදාල පියවර නොගෙන පසුව මැසිවිලි නැගීමෙන් පලක් නොවන බව දේශපාලන පක්ෂද අවබෝධ කරගත යුතුව ඇත. 2023.02.02 දාතමින් පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරු අමතා මැතිවරණ කොමිෂන් සභාව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් නියෝජිතයෙකු බැගින් පත්කිරීමට හැකියාව ඇති බවත් 2023.02.20 දිනට පෙර පත්කරනු ලබන නියෝජිතයින්ගේ විස්තර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත දැනුම් දීමට කටයුතු කරන ලෙසත් ලිපියක් මගින් දන්වා ඇත.

නමුත් අවාසනාවකට මෙන් මෙයට ප්‍රතිචාර දක්වමින් නියෝජිතයින් පත් කිරීමට කටයුතු කර ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ 86 අතුරින් දේශපාලන පක්ෂ 5ක් පමණි. එකී දේශපාලන පක්ෂද තම නියෝජිතයින් ලෙස පුද්ගලයින් පත්කර ඇත්තේ නොසලකා හැරිය හැකි ඉතා අවම ප්‍රමාණයකි. උදාහරණයක් ලෙස ග්‍රාම නිලධාරී වසම් 13999 සඳහා එක් නියෝජිතයෙකු බැගින් පත් කිරීමට හැකියාව ඇතත් නියෝජිතයන් පත් කර ඇති දේශපාලන පක්ෂ 5 විසින්ම පත් කර ඇති සම්පූර්ණ නියෝජිතයන් වන්නේ 2387 වැනි ඉතා අවම ප්‍රමාණයකි. මෙහි විශේෂිතම කරුණ වන්නේ ආණ්ඩු බලය හොබවන ප්‍රධාන දේශපාලන පක්ෂයේත්, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයේත් එකදු නියෝජිතයෙකු හෝ පත්කිරීමට කටයුතු නොකිරීමය.

ඡන්දහිමියන් ගනන් ගන්නා නිලධාරීන් විසින් ගෙයින් ගෙට ගොස් ඡන්දහිමියන් ගනන් ගැනීම සිදුකරනු ලබන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව පක්ෂ නියෝජිතයෙකුට ලැබේ. එය කල්වේලා ගතවන අසීරු කර්තව්‍යයක් යැයි මොහොතකට සිතමු. අවශ්‍යතාවයක් තිබේ නම් ගනන් ගන්නා නිලධාරියා තොරතුරු එකතු කර අවසන් වූ පසු එම නිලධාරීන්ගේ කාර්යාලයේදී ඔහු ඉදිරිපිට ගනන් ගැනීමේ නිලධාරියගේ නිර්දේශය (ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචිය සඳහා සුදුසු නුසුදුසු බව) නිරීක්ෂණය කළ හැක. ක්ෂේත්‍ර ගනන් ගැනීමේ කටයුතු අවසන් කොට ගනන් ගන්නා නිලධාරීන් විසින් එම ලිපි ලේඛන මැතිවරණ කාර්යාලයට භාරදීමට පෙර ග්‍රාම නිලධාරී කාර්යාලයට ගොස් ඒවා පරීක්ෂා කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ නියෝජිතයින්ට තිබෙන අවස්ථාව මගහැරනද කිසියම් නියෝජිතයෙකු විසින් ඉල්ලා සිටින්නේ නම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී එම ලේඛන පරීක්ෂා කිරීමටද අවස්ථාව ඇතත් දේශපාලන පක්ෂ විසින් නියෝජිතයන් පත් නොකිරීම හේතුකොට ගෙන එකී වටිනා අවස්ථාවද ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වන තත්ත්වයක් නිර්මාණය විය හැකි බව සඳහන් කළ යුතුව ඇත.

නියමිත කාල සීමාව ඉක්මවා ගිය පසු දේශපාලන පක්ෂ විසින් සිය පාක්ෂිකයින් හෝ යම් යම් තැනැත්තන්ගේ නම් ඡන්දහිමි නාම ලේඛනයේ ඇතුලත් කිරීමට නිර්දේශ වී නොමැති බවත් නුසුදුසු තැනැත්තන් ඇතුළත් වී ඇති බවටත් චෝදනා කිරීමට වඩා වැදගත් වන්නේ මුල් අවස්ථාවේදීම නිවැරදි ඡන්ද නාම ලේඛනයක් සැකසීම සඳහා සිය නියෝජිතයින් සක්‍රිය ලෙස දායක කරවීමයි. මේ පිළිබඳව අප විසින් වාර්ෂික ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධන කාල සීමාව තුල නිරන්තරයෙන් සිහිපත් කළද ඒ සඳහා දේශපාලන පක්ෂ වලින් දක්නට ලැබෙන උනන්දුව ප්‍රමාණයත් නොවන බව කනගාටුවෙන් නමුත් සඳහන් කළ යුත්තේය.

නියමිත කාලසීමාව තුල මූල්‍ය ප්‍රතිපාදන නිදහස් නොකිරීම අදී හේතු කාරණා මත ඡන්දහිමියන්ගේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට යම් බාධාකාරී තත්ත්වයක් නිර්මාණය වූ බව පෙනෙන්නට තිබේ. මේ හේතුව නිසා ඡන්දහිමියන් මෙන්ම ග්‍රාම නිලධාරීන්ද අපහසුතාවයට පත්ව ඇත. එම තත්ත්වයට මැතිවරණ කොමිසම වගකිව යුතු නොවන බව අපගේ විශ්වාසයයි. කෙසේ නමුත් මේ මොහොතේ වඩාත් වැදගත් වන්නේ සුදුසුකම්ලත් සියල්ලන් ඇතුලත් ඡන්දහිමි නාම ලේඛනයක් සකස් කිරීම වෙනුවෙන් අවැසි පියවර ගැනීමයි. එය සියලු පාර්ශවකරුවන්ගේ වගකීමක් බව විශ්වාස කරන අප ඒ සඳහා සිය නම් ඇතුළත් කරගැනීම වෙනුවෙන් තව දුරටත් ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු යැයි යෝජනා කරමු.

සුදුසුකම්ලත් සියල්ලන් ඇතුලත් නිවැරදි ඡන්දහිමි නාම ලේඛනයක් සකස් කිරීම මැතිවරණ කොමිෂන් සභාවට පමණක් අයත් කාර්යයක් නොවේ. මේ සඳහා දේශපාලන පක්ෂ, ගනන් ගන්නා නිලධාරීන්, සිවිල් සංවිධාන මෙන්ම පුරවැසියන්ටද විශාල වගකීමක් ඇත. තම පාක්ෂිකයන්ගේ නම් ඇතුළත් කර නොමැති බවට පසුව චෝදනා නගනවාට වඩා නියමිත කාලසීමාව තුළ තම නියෝජිතයන් පත් කරමින් මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කරමින් සහයෝගය දැක්වීම දේශපාලන පක්ෂ වල වගකීම වන්නේය. ග්‍රාම නිලධාරී තනතුරු විශාල ප්‍රමාණයක පුරප්පාඩු ඇති හෙයින් තම වසමට අමතරව වෙනත් වසම් වලද රාජකාරී ආවරණ කිරීමට ග්‍රාම නිලධාරීන්ට සිදුව තිබෙන බව අප දන්නා නමුත් හැකි උපරිම දායකත්වය දක්වමින් ඡන්ද අයිතිය සුරක්ෂිත කරගැනීම සඳහා සහයෝගය දක්වන මෙන් ග්‍රාම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ග්‍රාම නිලධාරීවරයා කුමන හෝ හේතුවක් මත ඔබේ නිවසට නොපැමිණියේ නම් හැකි ඉක්මණින් ඔහුගේ කාර්යාලයේදී හමුවී අදාල ලේඛනය නිරවද්‍යභාවය පරීක්ෂා කර අත්සන් කරන්න. ආබාධිත පුද්ගලයින් ඔබේ නිවසේ සිටින්නේ නම් ඡන්ද පොලේදී ප්‍රවේශ පහසුකම් වලට අදාල පෝරමය ග්‍රාම නිලධාරීවරයාගෙන් ඉල්ලා සම්පූර්ණ කර භාර දෙන්න. නැතහොත් මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිස Online (මාර්ගගත) ක්‍රමයටද ලියාපදිංචි වීමේ හැකියාවද ඇත. ඡන්දයක් ආසන්නයේ හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවකදී මැසිවිලි නැගීමෙන් පලක් නොවන බව අවධාරණය කරන අප මේ පිළිබඳ ඔබේ අසල්වැසියන්, නෑදෑයින්, වෘත්තීය සගයන් දැනුවත් කිරීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලමු.

  • ඔබේ ඡන්දය මිල කළ නොහැකි අයිතියකි. එය ඔබේත් ඔබේ දරුවාගේත් අනාගතය තීරණය කරයි. –

මෙයට,
විශ්වාසී,

 

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

leave a reply