මානව විද්‍යාඥයින් භාවිතා නිරීක්ෂකයන් මගින් ඔප්පු කර ඇති ලක්ෂයක් වන්නේ මානවයා යනු ස්වභාවයෙන් ම රංචු ගැසී ජීවත්වීමට කැමති සත්වයෙක් කියන එක. මේ නිසා හුදකලාව, දුරස්ව ජීවත්වීම යනු මානවයා ප්‍රිය නොකරන හැසිරීම් රටාවක්. අනෙක් අතට මානව සම්බන්ධතා වල අර්ථ සෞන්දර්ය සියුම්ව විඳිය හැක්කේ හා දැකිය හැක්කේ මානසිකව හා භෞතිකව එකිනෙකා වඩාත් ලංව සිටිනා විටයි.
සියවසක් තුල සන්නිවේදන තාක්ෂණය අත්පත් කරගත් දියුණුව අනුව දුරස්ථභාවය යනු හිතළුවක් ලෙසින් පෙනුනද සැබෑ තත්ත්වය යනු ශාරීරිකව සමීපභාවය හා අවකාශමය සමීපභාවය යනු ඉඳුරාම වෙනස් තලයන් දෙකක්ය යන්න. මානව සන්නිවේදනය පංචේද්‍රියන් හරහා සිදුවීමත් ඉන්ද්‍රියයන් දෙකක් හරහා සිදුවීමත් යන කාරනා වල වෙනස් මත මෙය වඩාත් හොඳින් අවබෝධ කරගන්න පුලුවන්.
සන්නිවේදන තාක්ෂණය අත්පත්කරගෙන ඇති අද්විතීය දියුණුව මිනිසා හුදකලා (Isolated ) සත්වයෙකු බවට පරිනාමනය කරන්නට උත්සාහ කළද එය එතරම් සාර්ථක නොවන්නේ රංචුගැසීමෙන් බැහැරවීමට ඔහු හෝ ඇය තුල ඇති ආවේනික බව ඊට ඉඩ නොදෙන නිසායි.
නමුත්, හදිසියේ කඩාවැදුණු ගෝලීය පැන්ඩමික් තත්ත්වය තාක්ෂණයට කළ නොහැකිව තිබූ මානවයා එකිනෙකාගෙන් දුරස්ථ කිරීම ඉතා අපූරුවට පසුගිය වසර පුරා සිදුකලා. රෝගය බෝවීම වැලැක්වීම මෙහි එක් අරමුණක් වුවද සමාජ දුරස්ථීකරණය එක් අතකට ධනවාදී දේශපාලන පැවැත්මට අන්‍යාකාරයෙන් උදව් කරණවා. ධනවාදයේ මාරාන්තික බව ගොඩනැගෙන්නේ සාමූහිකත්වය තුලින්. සාමූහිකව සිතීම, සාමූහිකව තීරණගැනීම, සාමූහිකව ශක්තිය මුදාහැරීම, සාමූහික මානසිකත්වය ආදී කාරණාවන් ධනවාදයේ පැවැත්මට සැමවිටම අනතුරු හඟවනවා. මේ නිසා එකිනෙකා අතර ඇතිවන බැඳීම් දුරස් කර තැබීමෙන් සාමූහික බවෙන් ගොඩනැගෙන ශක්තිය දුර්වල වෙනවා. එය ධනේශ්වර ක්‍රමයේ පැවැත්මේ ආයුකාලය දීර්ඝ කරන බවයි අපට සිතෙන්නේ.
අනෙක් අතට මේ දුරස්ථභාවය පුද්ගලයාව විශාල මානසික පීඩනයකට යොමුකරනවා. ඒ පීඩනය ඇතිවන්නේ රංචුවෙන් දුරස්වීම යන ජානමය ස්වලක්ෂණය නිසා. මේ නිසා මානව සමාජය මානසිකව රෝගීවීම මෙහි අතුරු ඵලයක් විය හැකිව තිබෙනවා. එහි දිග පළල අනාගතයේදී දැකගත හැකියි.
මේ නිසා මිනිසුන් තුල පැවති බොහෝ යහලක්ෂණ තුරන්ව යාහැකි බවයි අපට සිතෙන්නේ. එකිනෙකා හඳුනාගැනීමට නොහැකිවීම වැනි දෙයක් මුව වසා සිටීම වගේ තත්ත්වයක් තුල සිදුවීම සුලබ වේවී. අනෙකා සැක කිරීම වැනි දේ දැනටමත් මානව හැසිරීමේ ප්‍රධාන ලක්ෂණයක් බවට පත්වෙලා. ඒ සියල්ල අර රංචුගැසීම යන ආවේනික මානව ලක්ෂණයට පහර ගසනවා. මෙය එතරම් සුභදායී දෙයක් නොවෙනවා ඇති.
කෙසේ වෙතත් ගෙවී යන 2020 මානව සමාජයේ ක්‍රමික විකාශනය නන්නත්තාර කළ වසරක් ලෙසයි අපට හැඟෙන්නේ. ඒ
නන්නත්තාරවීමෙන් මිදී යළි සුපුරුදු ගමන් මගට පිවිසීමේ දී වඩා තාර්කික නිර්මාණාත්මක මගක් සොයනු වෙනුවට අප වැනි පසුගාමිත්වයට උවමනාවෙන් තල්ලු කරනු ලැබූ සමාජයක් කාලි අම්මා ගේ පිහිට පැතීම, ගංගාවන් පිරිත් කිරීම, නොපෙනෙන බලවේගයන් හි සහාය සෙවීම වැනි අත්භූත කාරනා මත යැපෙන්නට මාන බැලීම 2021 වසර පිළිබඳ “රතු එළියක්” දල්වන බව හැඟෙනවා.
මේ සමස්ත ඓක්‍යය ලෙස දවස අවසානයේ උත්පාද වන වේදනාකාරී ප්‍රතිඵල විඳින්නට සිදුවන්නේ මධ්‍යම පන්තියද ඇතුලත් ඉන් පහළ පුළුල් සමාජ තලයට පමණි. ඉන් ඉහළ කුඩා ප්‍රතිශතයක් වූ සමාජ තීරුව එහි පෝෂ්‍යදායක කොටස තනිව භුක්තිවිඳිනු ඇති.
2021 බියකරු දශකාරම්භයක් නොවීමට නම් “කළයුත්තේ කුමක්ද?” යි අප තීරණාත්මක ලෙස සාකච්ඡා කළයුතු බවයි අපට හිතෙන්නේ. එය අතිශයින්ම දේශපාලනික කාරණයක්.