මේ වීඩියෝ එක බැලුවෙ නැහැ. බලන්න බැහැ. බලන්නෙත් නැහැ. වීඩියෝ කරපු කෙනාට ස්තූතියි.
මේ ෆොටෝ එක දකින හැම වතාවකම මම කල්පනා කරනවා මේ මනුස්සයව අත්අඩංගුවට අරගෙන, යම් දඬුවමක් දීලා එළියට එව්වම ඒකෙන් මේ දරුවගෙ ආරක්ෂාව තහවුරු වෙයිද කියලා?!.
එහෙම නොවෙන බව අපි හැමෝම දන්නවා. මේ දරුවව පරිවාස බාරෙට අරන් කොහෙට හරි දැම්මොත්, ඒකත් උත්තරයක් නොවන බව අපි දන්නවා.
මේ පහර දෙන මනුස්සයට යම් දඬුවමක් දීමෙන් විතරක් එයාව නිවැරදි කරන්න බැහැ කියන එකයි ඇත්ත. මේ මනුස්සයා එක්ක ඉඳගෙන, මේ තත්වයට පත්වෙන්න බලපාපු හේතුව සහ වෙනස් වෙන්න උවමනා කරන පාර හොයාගන්න එයාට වෘත්තීමය චිකිත්සක සහය අවශ්‍යයයි. තමන් ඉදිරියේ ඉන්න වඩාත් දුර්වලම කෙනාට මේ තරම් පහරදෙන්න කිසි කෙනෙක් නිකරුණේ පෙළඹෙන්නෙ නැහැ. අපි හුඟක් අය මේ මොහොතේ විශ්වාසයෙන් ලියනවා අපිට කවදාවත් දරුවෙක්ට මෙහෙම ගහන්න තියා හිතන්නවත් බැරි බව. ඒ විශ්වාසය එන්නෙ කොහෙන්ද? ඒ විශ්වාසය ගොඩනැගෙන්න බලපාන හේතු රාශියක් තියෙනවා. මොනවා හෝ හේතුවකට මේ නරුමයෙක් වගේ හැසිරෙන මනුස්සයට අපිට ලැබුණු ආදරය, රැකවරණය, තමන්ව නිවැරදි කරගන්න අවස්ථාවන්, දැනුම, ධර්මය, යහගුණ ගැන අදහස, හිංසනයේ බරපතලකම ගැන දැනුම ලැබිලා නැහැ. එහෙම නැත්තම් ඒක එයාගෙන් උදුරගෙන. එයාව මාස හයක් හිරේ තියලා, දඩේකුත් ගහලා එළියට දැම්මම, එයා නිවැරදි වෙන්නෙ නැහැ. සමහරවිට දරුවා ගැන දැනෙන අසීමාන්තික කේන්තියකින් ජීවිතේ ඉතුරු කොටස පටන්ගන්නත් ඉඩ තියෙනවා.
දරුවව මේ අයගෙන් අයින් කරලා වෙන ආරක්ෂිතයි (?) කියලා හිතෙන තැනකට දැම්මා කියලා අනුමාන කරන්න. මේ දරුවා එයාගෙ කුඩා ජීවිතේ මෙච්චර කාලයක් මුහුණ දීපු අනේක විධ දුක් ගැහැට, ශාරිරීක හිංසනය, අත් හැර දැමීම, අනාරක්ෂිතභාවය, ප්‍රචණ්ඩත්වය වගේ සියල්ල අතුරුදහන් වෙලා එයා අලුත් දරුවෙක් වේවීද? එයා මේ මුහුණ දීපු අසීමාන්තික දුක එයාගෙ හැසිරීම ඇතුළෙ මතු නොවී තියේවිද?
නොකඩවා ගුටි කාපු නිසා සන්නිවේදනය කරන්න හිංසනය තෝරගන්න පොඩි දරුවෙක් ඉතුරු නොවෙයිද? හීනෙන් බයවෙන, නින්දෙන් මුත්‍රා පිටවෙන, කා දිහාවත් කෙළින් නොබලන, බයෙන් ඉන්න, සැකෙන් ඉන්න, පාඩම් ඔළුවට නොයන… මේ වගේ ලැයිස්තුවක් මට ලියන්න පුළුවන්. ගහපු මිනිහව හිරේ දැම්මම මේ ටිකට උත්තර ලැබෙයිද?
ඒ නිසයි පොලීසියේ වගේම ළමා මනෝවෛද්‍යවරුන්ගෙත්, අවබෝධයක් සහිත වැඩිහිටියන්ගෙත් මැදිහත්වීම අපිට උවමනා.
නිකන්ම මේ මිනිහව අත්අඩංගුවට ගැනීමෙන් මේ ගැටළුව අවසන් වෙනවනම් අපිට සතුටු වෙන්න පොඩි ඉඩක් තියෙනවා. ඒත් ආයේ තැනකින් මේක මීට වඩා බරපතල ලෙස දළු දාන්න පුළුවන් බව අපි දන්නවා. ඒ නිසයි ළමා ආරක්ෂණය ගැන මේ රට මීට වඩා සීරියස් විදිහට හිතන්න ඕනේ. ඒ නිසයි “දරුවොන්ට ගැහුවට මොකෝ? ගහලා හදන්න පුළුවන්” වගේ කතා පටන් ගන්න තැනම අහෝසි කරන්න ඕනේ.
වැඩිහිටියන්ගෙන් පහර කන හැම දරුවෙක්ගෙම වේදනාව අපිට දරන්න බැරි තරමින් දැනෙන දවසක් ඒවා කියන එකයි මගේ පැතුම. කවුරු හරි දරුවෙක්ට අත උස්සනවා දැක්කම, ඒ දරුවා වෙනුවෙන් පෙනී ඉන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා කියන එක තමා මේ ගුටි කකා බත් ටික කන පොඩි දරුවා මතක් කරන්නෙ. අපේ ක්‍රමය කොයි තරම් අජූතද, අසමත්ද කියන එකයි මේ වීඩීයෝ එක අපිට කියන්නෙ.
ෆේස්බුක් එකේ පහළට යන වේගයෙන් මේ දරුවව හෝ මිලියන ගණනාවක දරුවන්ව අපට අමතක නොවේවා!
ජූනි 04, 2024
ෂේනු පෙරේරා