අයිලයේ තැනිබිමට ආයේ ඇවිදින් යන්න – රසිකා මුහන්දිරමිගේ

සුරංගීට දුක හිතෙන්නට ඇති ය.ඒ කවි පොත ලැබී බොහෝ කල් ගියත් වචනයක් හෝ මගෙන් නොකියවුණු නිසා විය හැකි ය.

නමුත් අයිලයේ තැනිබිමට ආයේ ඇවිදින් යන්න මගේ බෑගයේ මා සමග ම විය.වරින් වර එළියට අවුත් කවියක් දෙකක් තලු මරා විඳින මම කල් ගෙන සුරංගීගේ කවිය ගැන මෙසේ ලියමි.

සුරංගී ගෑනියක ලෙස ගෑනු ගැන ලියන්න තම කවියේ වැඩි ඉඩක් වෙන් කරන්නී ය.එසේම ඈ පවත්නා ක්‍රමය පිළිබඳ සංවේදී ය.ඇය ලෝකය කියවන්නී ය.එය යථාවාදී දෘෂ්ටියෙන් ය.සමාජ ගැටුම්,අසමානතා ,විරෝධතා ඈ කවිතුළ සඟවන්නී ය.

කවියේ බස සුමටය නමුත් ගැඹුරු අ‍ර්ථ උත්පාදනයට සමත් ය.මේ ඈ ලිහූ මා බැඳුණු පළමු කවයි.ඒ 34 වෙනි කවයි.

ගෑරුප්පුවයි පිහියයි
තරගෙක
පිළී ගෑවෙයි කියල
පිරිත් නූලක…

ගැඹුරු උපහාසයක් පද ස්වල්පයක් අතර සඟවන්නට බසින් උපරිම ප්‍රයෝජන ගන්නට සුරංගී මේ කවේදී පරිස්සං වී ඇත.

දහසය කවිය මගේ සිතේ රූප අඳියි.ඒ මේඝලතා විජ්ජුලතා ය.

මල් අරන් බුදු පුදට යද්දි පිදුරංගල
උල් වගේ හිත් ඇවිත් වැදුණ තෙත නෙත්වල
රිදුණු කැටයම් අරන් සිහගිරියෙ බිත්වල
අප්සරාවොයි දන්නෙ තිබුණ දුක හිත්වල…

එකිනෙකට යාබඳ කඳුය.කැටයම් කළේ ගෑනුන් ය.නොකීයවෙව්වේ ඔවුන්ගේ හිත් ය. කියෙව්වේ ගෑනු සිරුරු ය.

මේ සුරංගී ප්‍රසිද්ධියේ නිරුවත් කළ ගෑනු ගැන සංවේදීව ලියූ හැටි ය.බස මෘදුය.හැඟුම ත්‍රීව්‍ර ය.
කවිය අවසන හඬන සිහගිරි සුන්දරිය ගැන සුරංගී සංවේදී වෙන්නී ය.අපි සිහගිරි ළලනාව විඳියි.ඈ ඔවුන් විඳවන බව පවසයි.තේමාව මෑත කාලීනව පොදුවුව එහි අපූර්වත්වය තවරන්නේ සුරංගී බස නැවුම් ව යොදා ගැනීම මගින් ය.

සුරංගීගේ කවි පොත කවි 43කින් පිරෙද්දී මගේ හිත පිරෙව් තව කවියක්ලෙස හත්පෙති මල හැදින්විය හැක.මුළු කවියම තත්‍ය ලෝකය විනිවිඳියි.ඈ පොළවේ පය තබාගෙන කවි ලියන බවට සාක්කිය ඒ කවියයි.

අප දන්නා පාන් වළලු රැගෙන ආ ශේන්‍යාගේ දියණිය ලෙස ඈ කවිය අරඹයි.ඈ මල්පෙත්තෙන් පෙත්ත කඩන්නී මේ විසල් විසම ලොවෙන් බොහෝ දේ ඉවත්ව යා යුතු බව පතන්නී ය.කවියේ අවසන ඈ සහෘදයා තිගස්වයි.

මේක අන්තිම එක
“හොරා කන්නේ නැති මිනිස්සු ඕන පාලනයට”

අපරාදේ…..
මේ පෙත්ත මුලින් ම කැඩුව නම්
ඉතිරියි පෙති හයක් මට …..

අපි හැමෝටම වැරදුණේ එතැනය.කවිකාරිය එය සංවේදීව ප්‍රශ්න නොනඟා ප්‍රශ්න කරන්නීය.සුරංගි මේ අපට නොකියා කියන්නේ තවදුරත් අප ප්‍රමාද නැතිබව නොවේ ද?

සාහිත්‍යාංගයක් හරහා හුදු මායාව ඇඹීම නොව යථාව කියවීම කාලෝචිතය.එහෙම බලද්දී සුරංගී භෞතික ලොව හා ගැටෙමින් එය විසිතුරුව මවා නොපෙන්වයි.එහෙත් බස විසිතුරුව යොදා ගනිමින් කටුක යථාව ඉස්මතු කරයි.

මේ ඇගේ කවියයි.එන්න අපි ඇවිද යමු අයිලයේ තැනිබිම හරහා…..

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...