බලයට පත්වී මාස හතරකට පසු, ජාතික ජන බලවේග ආණ්ඩුව විපක්ෂයේ සිටින පිරිස් වෙතින් වැඩිවන විවේචනවලට මුහුණ දී සිටින අතර, රට සහ එහි ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව සැක මතුවෙමින් පවතී. ජනමාධ්‍යවල ඇති ආකර්ශනීය කතා, සෑමවිටම ආණ්ඩුවේ නායකයන්ගේ අතීතයේ සිදු වූ යම් අනතුරක් හෝ අඩුපාඩුවක් සම්බන්ධයෙන් වේ. මේවායින් සමහරක් නව මැති ඇමැතිවරුන්ගේ අත්දැකීම් අඩුකමට සම්බන්ධ වන අතර, ඔවුන්ගෙන් බොහෝදෙනකු දේශපාලනයේ හෝ රාජ්‍ය පරිපාලනයේ නොව ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ තම ජීවිත ගතකර ඇත. මහජනයා අතර සැබෑ ලෙස පවතින විරෝධතා සම්බන්ධ වන්නේ, ඔවුන් අඛණ්ඩව අත්විඳින ආර්ථික දුෂ්කරතා සමඟය. පසුගිය දශක කිහිපය තුළ සිය ක්‍රියා මඟින් 2022 දී ආර්ථික නිර්මාණය වූ ආර්ථික අර්බුදයට දායකවූවන්ට මෙම ගැටළු විවේචනය කිරීමට ඇත්තේ සුළු වශයෙන් වූ හැකියාවක් පමණකි.
ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලබාදුන් දූෂිත නොවන පාලනයක් පිළිබඳ පොරොන්දුව, මහජන සහයෝගය දිගටම පවත්වා ගැනීමට ආණ්ඩුවට උපකාරී වේ. දූෂණය පාලනය කරගැනීමට සහ අතීත දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කටයුතු කිරීමට ආණ්ඩුව අවංකව කැපවන බවට අඛණ්ඩ විශ්වාසයක් පවතී. එහෙත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) සමග අත්සන් කළ ගිවිසුම නැවත සාකච්ඡා කිරීම සහ ජනතාව මත පැටවුණු එහි බර අඩුකිරීම පිළිබඳව ජාතික ජන බලවේගය ලබාදුන් පොරොන්දු කෙටි කාලීනව ඉටුනොවීම ගැන ද කලකිරීමක් පවතී. සහල් මෝල්, හෝටල් සහ තොග හිමිකරුවන් දැවැන්ත ලාභ ලබන අතරතුර, ස්ථාවර ආදායම් ලබන පිරිස් සහ කෘෂිකාර්මික ජීවිකාවක් පවත්වාගෙන යන පිරිස් ඉතා අසීරුවට පත්වී තිබෙන පරිසරයක, ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය ඉතා විශාල වී ඇත.
ආණ්ඩුවටඇති මූලික ගැටලුව නම්, අතීතයේ වගකීම් විරහිත පාලනයන් විසින් බිඳවැටීමට සැලැස්වූ ආර්ථිකයක් එයට උරුම වීමයි. පසුගිය ආණ්ඩුව IMF සහ අන්තර්ජාතික බැඳුම්කර හිමියන් සමඟ අත්සන් කළ ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ දුර්වල කේවල් කිරීමේ හැකියාව පිළිබිඹු විය. ශ්‍රී ලංකාවට ණයෙන් සියයට 20ක අඩුවීමක් පමණක් ලැබුණු අතර, ඊට සාපේක්ෂව IMF සමග ගනුදෙනු කළ, ඒ හා සමාන අත්දැකීම්වලට මුහුණදුන් අනෙකුත් රටවලට සියයට 50ක ණය අඩුකිරීම් ලබාගත්තේය. ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙම තත්ත්වයෙන් මිදිය නොහැක. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවේ සහ චීනයේ රාජ්‍ය සංචාර දෙකක නිරත වෙද්දී, ත්‍යාගශීලී දානපතියකු පැමිණ අපව දුෂ්කර ආර්ථික තත්ත්වයෙන් මුදවාගනු ඇතැයි යන යථාර්ථවාදී නොවන අපේක්ෂාව බලාපොරොත්තුව මතුවන්නේ මෙවැනි තත්වයන් හේතුවෙනි.
අනතුරු ඇඟවීමේ කතා
සියවස් දෙකකට පමණ පෙර, 1848 දී, 19 වැනි සියවසේ බ්‍රිතාන්‍යයේ අගමැතිවරයෙකු වූ පාමර්ස්ටන් සාමිවරයා ප්‍රකාශ කළේ “අපට සදාකාලික මිතුරන් නැත. අපට සදාකාලික සතුරන්ද නැත. අපගේ අවශ්‍යතා සදාකාලික වන අතර, එම අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීම අපගේ යුතුකමයි” යනුවෙනි. ඔහුගේ කතාවේ අරමුණ වූයේ බ්‍රිතාන්‍යයේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි කිරීම සහ ආරක්ෂා කිරීමයි. රටේ තීරණ වෙනත් රටවලට හෝ දෘෂ්ටිවාදයන්ට ස්ථාවර පක්ෂපාතී කෙරෙනවාට වඩා, රටේ උපායමාර්ගික අවශ්‍යතා මගින් මෙහෙයවනු ලබන බව අවධාරණය කිරීමයි. එය යුරෝපයේ ලිබරල් විප්ලවයන්ට සහාය දක්වමින් වෙනත් ස්ථානවල යටත්විජිත ආධිපත්‍යය පවත්වාගැනීම වැනි බ්‍රිතාන්‍යයේ මතභේදාත්මක සන්ධාන සහ මැදිහත්වීම් සාධාරණීකරණය කළේය. මෙය අද ලෝකයේ අප දකින, අන්තර්ජාතික ප්‍රජාව විසින් නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් අනනුකූලව කටයුතු කිරීම පැහැදිලි කරනු ලබයි.
ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ කටයුතු කරන විට, පාර්ල්මර්ස්ටන් සාමිවරයාගේ ප්‍රකාශය මතක තබාගැනීම වැදගත් වේ. පසුගිය දශක තුන තුළ නීතියේ ආධිපත්‍යය සහ විශ්වීය මානව හිමිකම් විශ්වාස කරන බව කියාසිටි රටවල භාවිතයන්හි කැපීපෙනෙන වෙනසක් සිදුවී ඇත. දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු එම යුද්ධයෙන් ජයග්‍රාහකයන් ලෙස මතු වූ ලෝකයේ බලවත් රටවල් අන්තර්ජාතික ක්ෂේත්‍රයේ ඔවුන්ගේ මැදිහත්වීම්වලදී මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය පිළිබඳ ලිබරල් වටිනාකම්වලට නායකත්වය දුන් දිගු කාලයක් තිබිණි. ඔවුහු එක්ව එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික ගිවිසුම් සහ අන්තර්ජාතික අධිකරණය වැනි ආයතන පිහිටුවා ගත්හ. එහෙත් අද මෙම ලිබරල් අන්තර්ජාතික පිළිවෙල බිඳවැටී ඇති අතර ඉරාකය, ලිබියාව, සිරියාව, යුක්රේනය සහ පලස්තීනය වැනි රටවල සිදුවන සිදුවීම් සමඟ දුර්වලයන්ට එරෙහිව ශක්තිමත් රටවල කොල්ලකාරී හැසිරීම පිළිබිඹු වේ.
එක්සත් රාජධානියේ මහාචාර්ය ඔලිවර් රිච්මන්ඩ් වැනි අන්තර්ජාතික විද්වතුන්ට අනුව, ගෝලීය බලය නැගීඑන අධිකාරීවාදී අන්තර්ජාතික නියෝගයක් (AIO) දෙසට මාරුවන විට ලිබරල් අන්තර්ජාතික නියෝගයට (LIO) එහි ග්‍රහණය අහිමි වෙමින් පවතී. ඔහුගේ ලේඛනවල, ප්‍රධාන ගැටුම් විසඳීමට ලිබරල් අන්තර්ජාතික නියෝගය අසමත්වීම මගින් එහි දුර්වලතා හෙළිකර ඇති ආකාරය ඔහු ඉස්මතු කරයි. සයිප්‍රස් සාම සාකච්ඡා සහ ඊශ්‍රායල-පලස්තීනය ඔස්ලෝ ගිවිසුම් බිඳවැටීම වැනි දිගුකාලීන අසාර්ථකත්වයන් සාධාරණ විසඳුම්වලට වඩා බටහිර ආධිපත්‍යය විසින් මෙහෙයවනු ලබන පද්ධතියක සීමාවන් ඉස්මතු කර ඇත. ලිබරල් වටිනාකම්වලට වඩා රාජ්‍ය ස්වෛරීභාවය සහ බලය වෙනුවෙන් විවෘතව ප්‍රමුඛත්වය දෙන චීනය සහ රුසියාව වැනි බලවතුන්ගේ නැගීම, සෑම රටක්ම අන් අයට වඩා උපරිම වාසිය ලබාගැනීමට උත්සාහ කරන බහු ධ්‍රැවීය අධිකාරීවාදී අන්තර්ජාතික පිළිවෙතකට මාරුවීමේ අවස්ථාව සනිටුහන් කරයි.
ලොව ක්‍රියාත්මක කර ඇති ලිබරල් හෝ ඒකාධිපති අන්තර්ජාතික නියෝග දෙකටම කල් පවතින සාමයක් ලබාදීමට හැකියාවක් නොමැති බවට මහාචාර්ය රිච්මන්ඩ් අනතුරු අඟවයි. මන්ද, ඒ දෙකම මෙහෙයවනු ලබන්නේ, යුක්තිය හෝ සමානාත්මතාවය සඳහා කැපවීමකට වඩා භූ දේශපාලනික අවශ්‍යතා මගිනි.
ලිබරල් අන්තර්ජාතික නියෝගය තම දැක්ම ලෙස වරක් ඉදිරිපත් කළ සාමය ඇති කිරීමේ සහ දේශපාලන ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මානව හිමිකම්, සංවර්ධනය, බහුත්වවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපති අන්තර්ජාතික නියෝගයේ යෝජකයන් විසින් දැන් ප්‍රධාන ලෙස ඉදිරියට තල්ලු කරනු ලබන භූ දේශපාලනික සමතුලිතතාවය සහ ඒකාධිපති ගැටුම් කළමනාකරණයට වඩා, සාමාන්‍ය ජනතාවට සාධාරණ හා තිරසාර බවට ඔහු තර්ක කරයි. එහි අදහස වන්නේ, සාධාරණත්වය සහ තිරසාරභාවයට ප්‍රමුඛත්වය දෙන නව ප්‍රවේශයක් නොමැතිව, ලෝකය තවදුරටත් බෙදීම් සහ අස්ථාවරත්වය අවදානමට ලක්කෙරෙන බවයි.
ත්‍යාගශීලීත්වය නොවේ
ඉන්දියාවේදී සහ චීනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකට ලැබුණු උත්කර්ෂවත් පිළිගැනීම්වලින් පසුව, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා දැවැන්ත සහයෝගයක් මෙම රටවලින් ලැබෙනු ඇති බවට බොහෝ අපේක්ෂාවන් පවතී. 2022 දී ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 4 ක පෙර නොවූ විරූ ආර්ථික සහයෝගයක් ලබාදීමෙන් පසුව, මෑතකදී ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලද චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 10 ක ආර්ථික ආයෝජන ලබාදෙන බවට වන පොරොන්දුව බොහෝ බලාපොරොත්තු ජනිත කර ඇත. ඉන්දියාව සහ චීනය යනු ශ්‍රී ලංකාවේ අසල්වැසි ප්‍රදේශයේ සිටින ආර්ථික දැවැන්තයන් දෙදෙනෙකු වන අතර, ඔවුන්ට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්වයංපෝෂිත හා වේගවත් ආර්ථික සංවර්ධනයක් බවට පරිවර්තනය කිරීමට බොහෝ දේ කළ හැකිය. මේ අවස්ථාවේ ලෝකයේ ආර්ථික බලය ආසියාව දෙසට මාරුවීමත් සමඟ මෙය සිදු වේ.
ඉන්දියාව සහ චීනය යන දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව තම කක්ෂයේ තබාගැනීමට හෝ අනෙකාගේ කක්ෂයේ නොතැබීමට උනන්දු වෙයි. විශේෂයෙන් ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ඔවුන්ට එකිනෙකා පිළිබඳව දැඩි එදිරිවාදිකම් සහ සැකයන් ඇත. ඔවුන්ට හමුදා ගැටුම්වලට තුඩුදුන් දේශසීමා ආරවුල් පවතී. මහාචාර්ය ඔලිවර් රිච්මන්ඩ් විසින් ලියා ඇති ‘අධිකාරීවාදී අන්තර්ජාතික නියෝගය’ මගින් පැහැදිලි කෙරෙන ආකාරයට, එකිනෙකා කෙරෙහි මෙන්ම ශ්‍රී ලංකාව වැනි තුන්වැනි රටවල් කෙරෙහි ඔවුන්ගේ හැසිරීමට ඉහත හේතු බලපානු ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට සහ චීනයට යනවිටත් මෙම ගැටලුව පිළිබඳව දැන සිටි බව පෙනේ. රටවල් දෙකෙහිදීම ඔහු පොරොන්දු වූයේ, ශ්‍රී ලංකාව ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතාවලට හානිකර කිසිවක් නොකරන බවයි.
විදේශ රජයන් තුන්වැනි රටකට ඇතුළුවන විට, ස්ථිර මිත්‍රත්වයන්ට වඩා ස්ථිර අවශ්‍යතා මත ක්‍රියාකරන බවට වන පාමර්ස්ටන් සාමිවරයාගේ පැරණි කියමන මතක තබාගැනීම වැදගත්ය. එකිනෙකා අතර අතීතයේ බෙදාගත් දේශපාලන දෘෂ්ටිවාදය, පැරණි මිත්‍රත්වයන් හෝ පොදු සංස්කෘතිය හෝ ආගම හේතුවෙන් විදේශ රටවල් තමන්ට උපකාර කිරීමට අමතර පියවරක් ගන්නා බව විශ්වාස කිරීමට වඩා ශ්‍රී ලංකාව තමන්ගේම අවශ්‍යතා ආරක්ෂා කර ගත යුතුය. ශ්‍රී ලංකාව, එහි නායකයන් සහ පුරවැසියන්, සෑම විදේශ ආධාර දීමනාවක් දෙසම යථාර්ථවාදීව බැලිය යුතුය. සෑම දීමනාවක්ම තක්සේරු කළයුත්තේ තමන්ගේම කුසලතා මත මිස ත්‍යාගශීලීත්වය විදේශ රටක එකම හෝ ප්‍රධාන අභිප්‍රේරණ සාධකය ලෙස සිතන විශාල පැකේජයක කොටසක් ලෙස නොවේ.
ශ්‍රී ලංකාව ශක්තිමත්වීමට නම්, විදේශ ආධාර ලබාදෙන සෑම යෝජනාවක්ම තමන්ගේම ජාතික අවශ්‍යතා කෙරෙහි පැහැදිලි අවධානයක් යොමුකරමින් ඇගයීමට ලක් කළ යුතු අතර, ඒවායේ ප්‍රතිලාභ රටේ ජනතාවගේ දිගුකාලීන යහපැවැත්ම සමඟ සමපාත වන බවට සහතික කළ යුතුය. ප්‍රායෝගිකවාදය සහ දැඩි විශ්ලේෂණය, ලෝකය සමඟ රටේ සම්බන්ධතාවයට මඟපෙන්වීමක් ලෙස භාවිත කළ යුතුය. පක්ෂග්‍රාහී පක්ෂ දේශපාලනය සහ පටු දේශපාලන හා පෞද්ගලික ආත්මාර්ථකාමීත්වයෙන් අවධානය වෙනතකට යොමු නොකර, කාලයත් සමඟ අපගේ අසාර්ථකත්වයට හේතු වී ඇති සාධක වෙත අවධානය යොමුකරමින්, මෙය ඉහළම මට්ටමින් ද්විපාර්ශ්වික ආකාරයකින් සිදුකිරීම වඩාත් සුදුසුය.