Breaking News

පොලීසිය සුද්ධ කරන්න ආපු සරත් වීරසේකර අරුන්දික ප්‍රනාන්දුගේ ඉල්ලීමට වෙන්නප්පුව ASP මාරු කරලා

වෙන්නනප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට ස්ථානමාරුවක් ලබා දීම පිටුපස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සිටින බව හෙළිව තිබේ. වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ විෂමාචාර ක්‍රියාවන් ගණනාවක් ඇති හෙයින් ඔහු විනය පරීක්ෂණයක් කර හලාවත මැතිවරණ කොට්ඨාශයෙන් බැහැරට ස්ථාන මාරුවීම කරදෙන ඉල්ලමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරට යොමුකළ ලිපියක් ද ප්‍රසිද්ධ වී තිබීම මෙයට හේතුවයි.

එසේම 2020 පෙබරවාරි මාසයේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරන රැස්වීමේදී ප්‍රදේශයේ කසිප්පු ජාවාරම මැඩලීම පිළිබද එරික් පෙරේරා කළ කතාවක හඩ පටයක් මාධ්‍යට නිකුත් වී ඇත.

මෙම හඩ පටයේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුද අදහස් දක්වන අතර මහාපරිමානයෙන් කිසිප්පු ජාවාරම කරන අය සම්පූර්ණයෙන් නතර කිරීමේ කිසි ප්‍රශ්නයක් නැති නමුත් කුඩාවට කරන අයට ඔවුන් කුමක් හෝ විකල්පයක් හදුන්වා දෙන තුරු සානුකම්පිතව බලා සහනයක් සලසන ලෙස එරික් පෙරේරාගෙන් ඉල්ලා සිටින අයුරු දක්නට ලැබේ.

සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාට පසුගිය 21 වැනි දින ලබාදෙන ලද මෙම ස්ථාන මාරුව අනුව මිගමුව පොලිස් කොට්ඨාශයේ වැඩ බාරගෙන තිබුණි. වෙන්නප්පුව ගිලගෙන ඇති මහා පරිමාන කසිප්පු ව්‍යාපාරයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම නිසා දේශපාලන අධිකාරියේ උදහසට ලක්වීම මෙම මාරුවට හේතුවී ඇති බව පෙනෙන්නට තිබේ.

මේ අතර තමන් දෙසැම්බර් මාසයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙත යොමුකළ ලිපියක් බව අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයා විසින් පිළිගෙන තිබේ.

ඊයේ (01)මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා පවසා තිබුණේ තමන්ට එරික් පෙරේරා සමග කිසිදු පෞද්ගලික ප්‍රශ්නයක් නැති බවත් දිගින් දිගටම මහ ජනතාවගේ පැත්තෙන් පැමිණිලි ලැබෙන නිසා ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලීමක් කළ බවයි.

සරත් වීරසේකර මහජන ආරක්ෂක ඇමති ලෙස පත්වනවිට ජනතාවට පොරොන්දු වූවේ පොලීසිය සුද්ධ කරන බවයි. නමුත් දැන් පෙනෙන්නට තිබෙන්නේ පොලීසිය ‘සුද්ධ’ කිරීම යනු දේශපාලනඥයන්ට තමන්ගේ ජාවාරම් සිදුකිරීමට බාධාවක් වී ඇති නිලධාරීන් ඉවත් කිරීම බවයි.

leave a reply