Breaking News

‘උරුමය’ ඔප්පු ලබාදීමත් රනිල්ගේ ඡන්ද ප්‍රචාරණයට

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (05) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘උරුමය’ ඔප්පු ප්‍රදාන වැඩ සටහනට මුළු රට පුරා බලපත්‍රලාභීන් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ උත්සවය සඳහා දඹුල්ල ක්‍රීඩාංගණය උත්කර්ෂවත් ලෙස සරසා ඇති අතර ඒ වෙනුවෙන් දරා ඇති වියදම් මේ වනතුරු අනාවරණය වි නැහැ.

එහෙත් මුළු රටපුරා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත වෙන්වෙන්ව ලිපි යොමුකරන ජනාධිපති ලේකම් කාර්යාලය ඔප්පු ලාභීන්ගේ ප්‍රවාහන වියදම්, නිලධාරීන්ගේ ප්‍රවාහන වියදම්, ඔප්පුලාභීන්ගේ ආහාර වියදම් සහ නිලධාරීන්ගේ ආහාර වියදම් ලෙස කොටස් හතරක් යටතේ වියදම් කළ යුතු ආකාරය දන්වා යවා තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී තාරක ලියනපතිරණ ගේ අත්සනින් යුතුව මෙම ලිපි යවා තිබෙනවා.

මේ වැඩසටහන වෙනුවෙන් සියලුම දිස්ත්‍රික්ක වෙතින් රැගෙන එන ඔප්පු ලාභීන්ගේ ප්‍රවාහන වියදම් එකතුව රු.18,987,205/=ක් වන අතර ඒ අය සඳහා සංග්‍රහ කෙරෙන ආහාර වියදම් එකතුව රු.1,503,200/=ක්.

ඔප්පුලාභීන් ඒ ඒ දිස්ත්‍රික්ක වෙතින් දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය වෙත රැගෙන එන නිලධාරීන්ගේ ප්‍රවාහන වියදම් එකතුව රු.1,892,303/=ක් වන බවත් ඔවුන් වෙනුවෙන් ලබාදෙන ආහාර වියදම් එකතුව රු.1,503,200/= ක් බවත් වාර්තා වනවා.

මෙම කොටස් හතර සඳහා පමණක් වියදම රු22,560,508/=ක් (රු. දෙකෝටි විසිපන්ලක්ෂ හැටදහස් පන්සිය හැටක්) වෙනවා.

එක් උත්සවයක එක් පිරිසකගේ ප්‍රවාහන සහ සංග්‍රහ වෙනුවෙන් මෙතරම් මුදලක් වැය නොකර ඒ ඒ ප්‍රදේශීය ලේකම් කාර්යාල වලදී එකම දිනක එකම මොහොතක අදාළ ඔප්පු ප්‍රධානය කළ හැකිව තිබු බව ඇතැම් පිරිස් පවසනවා.

සියළුම ඔප්පුලාභීන්ට ප්‍රවාහන හා ආහාර සඳහා අවශ්‍ය කරන මුල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත ලබාදී ඇති අතර, ඔවුන්ට කිසිඳු අපහසුතාවකින් තොරව මෙම උත්සවයට සහභාගීකරවීමට පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරන්නේ ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව සඳහන් වන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු 10,000ක් සකස් කර අවසන්ව ඇති බවයි.

එම සින්නක්කර ඔප්පු මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඒච්. ඒම්.බී.පී. හේරත් මීට පෙර පවසා තිබුණා.

ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ ජනවාරි 30දා පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය වු අතර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, ජනාධිපති කාර්යාලයේ සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර ඇතුළු පිරිසක් එම සාකච්ඡා අවස්ථාවට එක්ව සිටියා.

අයවැය යෝජනා මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කරමින් සිදුකෙරෙන උරුමය වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සිදුකෙරෙන දේශපාලන ව්‍යාපෘතියක් බවට චෝදනා එල්ල වෙමින් පවතියි.

මෙම උත්සවයේදී සිදුකළ කතාවේදී ඉඩම් ලබදීම, රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම, “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම වැනි දේවල් තමන් තනිවම රටට උදාකරන දුන් ජයග්‍රහණ බව ඔලුප්පා පෙන්වීමට උත්සාහ කරන ආකාරයෙන් ඒ බව පැහැදිලි වේ.

එසේම මෙම ඉඩම් ලබාදීම පිටුපස ඇති සත්‍ය කතාව මේ හරහා සමාගම්වලට රජයේ ඉඩම් මහා පරිමාණයෙන් ලබාදීම බවට චෝදනා එල්ල වෙමින් පවතියි.

leave a reply