Breaking News

“බෙදී වෙන්වීම වෙනුවට අරගලයේ ඒකාබද්ධතාව වෙනුවෙන් කටයුතු කරනවා!” – චමීර කොස්වත්ත

2022 වසර දේශපාලන ජයග්‍රහණ සහ අරගලවලින් පිරුණු වසරක් වීම ඉතිහාසයේ අලුතෙන් ලියවෙනු නොඅනුමානය. 2023 වසර සහ අලුත් දේශපාලන අභියෝග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම පුවත්පත වන ‘වම’ ජනවාරි කලාපයේ දේශපාලන සංවාදය සඳහා එම පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්තගේ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

[] 2022 වසර දෙස යම් ආපසු හැරී බැලීමක් කළොත් ඔබගේ විග්‍රහය කුමක්ද?
2022 කියන්නෙ කාලයක් තිස්සේ ඔඩු දුවමින් ආපු ආර්ථික අර්බුදය කරළියට පැමිණි වසරක්. රාජපක්ෂ පාලනයේ අවසන් තීරණ නිසා අර්බුදය පුපුරා ගියා. අවසානයේ ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පරිවර්තනය වුනා. මේ දේශපාලන අර්බුදය තුළ අපි දකින ඉතාමත් වැදගත් කාරණය තමයි, හිටපු විධායක බලතල සහිත ජනාධිපතිවරයා ජනතා බලයෙන් එළවා දැමීමට හැකි වීම. ජනතාව පාලකයා එළවා දැමුවා පමණක් නෙමෙයි පවතින පාලනයටත් අභියෝග කරමින් ජනතාවගේ බලයක් පිළිබඳ සාකච්ඡාව ඉදිරියට රැගෙන ඇවිත් තිබෙනවා. ඒනිසා අපි ගෙවුණු වසර දකින්නේ ජනතාවගේ බලය ප්‍රකාශයට පත්වුණු, ජනතාවගේ බලය අභ්‍යාස වුණු වසරක් ලෙස.

[] 2023 වසර තුළ මේ මතු වී තිබෙන අර්බුදවලට අමතරව තවත් අර්බුද ගණනාවකට ජනතාවට මුහුණ දීමට සිදු වෙනවා. ඒ වගේම මැතිවරණ පැවැත්වීම සම්බන්ධව සාකච්ඡාවකුත් මතුවී තිබෙනවා. මෙවැනි වටපිටාවක පක්ෂයේ ඉදිරි වැඩ මොන ආකාරයටද සැකසී තිබෙන්නේ?
රනිල්-පොහොට්ටු ආණ්ඩුව ආර්ථික අර්බුදයට කිසිදු පිළියමක් කිරීමට සමත් වෙලා නෑ. වසර ගණනාවක් තිස්සේ අර්බුදය දක්වා රට රැගෙන ආ පාරෙම තමයි තව දුරටත් මේ සියලු දෙනා ගමන් කරමින් ඉන්නෙ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා අනුව යමින් බදු බර පැටවීමට හා ආණ්ඩුව සියලු ආර්ථික කටයුතුවලින් ඉවත් වෙලා සියල්ල වෙළෙඳ පොළ මත තීරණය වීමට ඉඩ හරිමින් තියෙනවා. සමාජ ආරක්ෂණ
සේවා හා සුබසාධනය අහෝසි කරමින් තියෙනවා. ඒ යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යයත් වෙළෙඳ පොළට ගේන්න සියලු ප්‍රයත්න ගන්නා බව තහවුරුයි. විදුලිය, ටෙලිකොම්, රක්ෂණ, වරාය ආදී බොහෝ රාජ්‍ය ආයතන විකිණීමට සැලැසුම් සකස් කර අවසන්. එසේම පොළී අනුපාත ඉහළ දැමීම වැනි මූල්‍ය ක්ෂේත්‍රයේ ගනු ලබන ක්‍රියාමාර්ග හරහා ආර්ථිකය හැකිලවීමට කටයුතු කරමින් සිටිනවා.
මේ සියල්ල නිසා පහළ හා මැද පන්තික ජනතාව බරපතළ ජීවත්වීමේ අර්බුදයකට ගොදුරුව අවසන්.
පොහොර අර්බුදයෙන් බැට කෑ ගොවි ජනතාව අද සහල් පිටරටින් ගෙන්වීම නිසා තමන්ගේ වී අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබීමේ ගැටලුවට මුහුණ දී තියෙනවා. ඒ මදිවට ඉඩම් හා ජලය බහුජාතික සමාගම්වලට විකිණීමට උත්සාහ දරමින් තියෙනවා. දිනෙන් දින ඉහළ යන ආහාර ද්‍රව්‍යවල මිල, දරුවන්ගේ පාසල් උපකරණවල මිල, මේ සියල්ල ජනතාවට තවදුරටත් උහුලන්න බෑ. ඒ නිසා ජනතාව අනිවාර්යයෙන් ජීවත්වීමට අරගල කළ යුතුම තත්වයක් තමයි උදා වෙලා තිබෙන්නේ.
මේ අස්සේ මැතිවරණයක් එන්නෙ කල් සම්පූර්ණ වෙලා තමයි. ඕනම පාලකයෙක් දන්නවා ජනතා නැගිටීම් අරගල නිවන්නට නම් හොඳම උත්තරය මැතිවරණය කියලා. ඒත් මේ ‘රනිල්-පොහොට්ටු’ පාලනයට මේ මොහොතේ මැතිවරණයට මුහුණ දෙන්න හැකියාවක් නෑ. බොහෝවිට නාම යෝජනා කැඳවීමත් සිදුකර මැතිවරණය හරහා පවතින තත්වයට එරෙහි පොදු ජනතා විරෝධය බෙදා වෙන් කරලා කුමන හෝ උප්පරවැට්ටියක් යොදා ගෙන මැතිවරණය කල් දාන්න ඉඩ තියෙනවා.
අපි දන්නවා මේ මොහොතේ මැතිවරණයකින් ජනතාවට කිසිදු ජයග්‍රහණයක් ලබා දෙන්නේ නැති බව. ඒත් බලය අත්තනෝමතික රඳවා ගන්න මැතිවරණ කල් දැමීමටත් අපි විරුද්ධයි.
ඒ නිසා මොනවා උනත් පැමිණෙන මැතිවරණය ආණ්ඩු විරෝධයේ අවස්ථාවක්, ප්‍රකාශනයක්. අපිට ඒ තුළ දේශපාලනය කරන්න වෙනවා. හැබැයි අපි මැතිවරණය තුළත් කරන්නේ ජනතාවගේ ජීවත්වීමේ අරගලයේ දේශපාලනය. අපි අභ්‍යාස කරන්නේ ජනතාවගේ බලය. ඒ කියන්නෙ ජන අරගලයේ සටන් පාඨ මැතිවරණ වේදිකාව තුළත් වරනැගේවි. අලුත් වර්ණ, අලුත් ආකෘති ගනීවි.

[] රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තවමත් අරගලය සිටි පිරිස ඇතුළු දේශපාලන පක්ෂ මර්දනය කිරීමේ ක්‍රියාවලිය පවත්වගෙන යමින් තිබෙනවා. එයින් ප්‍රකාශවන්නේ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන සමාජ බලවේගවලට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කිරීමේ ක්‍රියාවලියක්. මෙම අභියෝගය පක්ෂයටත් එල්ලවෙමින් තිබෙනවා නේද?
ජනතා ප්‍රශ්නවලට උත්තර නැති ආණ්ඩුවට තිබෙන එකම උත්තරය තමයි මර්දනය. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතය පසුගිය කාලය පුරාම අඩු වැඩි වශයෙන් තිබුණා. උතුරේත් දකුණේත් ජනතා නැගිටීම් මේ ධනපති ආණ්ඩු මර්දනය කළේ ලෙයින්, යකඩින්, අනීතිකව හා අන්ත ප්‍රජාතන්ත්‍ර විරෝධීව. නමුත් මේ අවස්ථාවෙ ආණ්ඩුවට හිතන ආකාරයටවත් ලෙහෙසියෙන්වත් මර්දනය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලා නෑ. ඒ කියන්නෙ ආණ්ඩුව පරාජයට පත් වෙලා හෝ මර්දනය අවසන් යන්න හෝ නෙවෙයි. මර්දනය පරාජය කරන්න වෙන්නේත් අරගලයෙන් හා ජනතා බලයෙන් පමණයි.

[] ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස බලය බෙදීම යෝජනාව සම්බන්ධ
සාකච්ඡාව නැවත වටයකින් පැමිණ තිබෙනවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කීපයකුත් පැවති බව වාර්තා වුණා මේ ආකාරයෙන් ජාතික ප්‍රශ්නයට සැබෑ විසඳුමක් දිය හැකි යැයි විශ්වාසයක් තැබිය හැකිද?
මේක අන්තිම අමන දේශපාලන සූදුවක්. දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ තමිල්, මුස්ලිම් හා කඳුකර තමිල් ජනතාව බරපතළ සමාජ ආර්ථික හා දේශපාලන අසමානතාවකට අසාධාරණයකට ගොදුරු වෙමින් සිටිනවා. විශේෂ පීඩනයකට මුහුණ දෙනවා. ඒ සියලු දෙනාගේ සම අයිතිය වෙනුවෙන් අපට අඛණ්ඩ අරගලයක් තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ හදන්නේ උතුරු නැගෙනහිර ජනතාවගේ වුවමනාවන් හා බලාපොරොත්තු කොල්ල කන්න. බොරුවට ගෙනෙනවයි කියන විසදුම් හරහා දකුණේ ජාතිවාදීන්ට ඔක්සිජන් දෙන්න. අන්තිමේ විසඳුමක් වෙනුවට ඇවිස්සෙන ජාතිවාදයේ නාටකය නරඹන්න. තම බල ව්‍යාපෘතියට එය යොදා ගන්න. ඒ නිසා මේ තත්වය පරාජය කරමින් සැබෑ ලෙසම සියලු ජන කොටස් සඳහා සම අයිතිය දිනා ගැනීමේ අරගලය අපි පෙරට ගත යුතුයි.

[] පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා යම් සූදානමක් පවතිනවා. ඒ සඳහා මැතිවරණ කොමිසම් සභාව වගේම දේශපාලන පක්ෂ සූදානම් වන ආකාරයත් පෙනෙමින් තිබෙනවා. එම මැතිවරණවලට මුහුණ දිම සඳහා පක්ෂය මොන ආකාරයේ වැඩපිළිවෙළක්ද සකසමින් තිබෙන්නේ?
අපි කලින් සඳහන් කළා වගේ මැතිවරණයකින් ජන අරගලය බෙදා විසිර වීමේ අනතුරක් තිබෙන නමුත් කුමන මැතිවරණයක් වුවත් මේ මොහොතේ ආණ්ඩු විරෝධයේ අවස්ථාවක්. ඒ නිසා අපට දේශපාලනය මුණ ගැහෙන්නෙ මැතිවරණ වේදිකාව තුළ නම් . අපි අපේ සටන් පාඨ, අරගලයේ සටන් පාඨ ඒ වේදිකාවට ද රැගෙන එනවා. බෙදී වෙන්වීම වෙනුවට අරගලයේ ඒකාබද්ධතාවය වෙනුවෙන් කටයුතු කරනවා.

leave a reply