Breaking News

ගැරඬිඇල්ල අනතුර – බස්වල සැරසිලි ගැලවීම ප්‍රමාණවත් නොවන බවට පාඩමක්

ගැරඬිඇල්ලේ දී සිදුවූ බස් අනතුර සම්බන්ධ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණු මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වී තිබේ. ඒ හරහා පෙනී යන්නේ අපේ රටේ මාර්ග පද්ධතියේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය කොයිතරම් අඩු මට්ටමක පවතීද යන්නයි.

මගීන් 23 දෙනෙකුට දිවි අහිමි කරමින් හා තවත් මගීන් 60කට තුවාල සිදුකරමින් කොත්මලේ, ගැරඬිඇල්ලේ දී සිදු වූ බස්රථ අනතුරට වගකිවයුත්තේ කතරගම ඩිපෝව හා මාර්ග සංවර්ධන අධිකාරිය බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාවෙන් නිර්දේශ කර ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර ඇත.

මෙම අනතුරට ප්‍රධාන හේතුව රියදුරුගේ අවිවේකී බව සහ රියදුරුට නිමේශයකින් නින්ද යෑම බව නිගමනය කර ඇති නමුත්, අනතුරේ සම්පූර්ණ වරද රියදුරු අතෙහි පමණක් නොවන බව එමගින් අවධාරණය කර ඇත.

පසුගිය 11 වැනිදා අලුයම් කාලයේදී කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද මෝටර වාහන පරීක්ෂකවරුන් හයදෙනෙකුගෙන් යුක්ත පරීක්ෂණ කමිටුව මැයි 27 වැනිදා සිය වාර්තාව ප්‍රවාහන අමාත්‍යාංශයට බාර දී තිබුණි.

අක්‍රමවත්ව හා ප්‍රමිතියකින් තොරව බසයේ අලුත්වැඩියාවන් කිරීම අනතුරින් අලාභහානි දැඩි වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද කමිටු වාර්තාව මගින් පෙන්ව දී ඇත.

මෙම බසය කතරගම ඩිපෝව මගන් 2023 දී අලුත්වැඩියා කර තිබෙන නමුත් ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් යොදවා නොමැති අතර බසයේ බොඩියේ තහඩු කලවා සැකිල්ල අලුත්වැඩියා කිරීම සඳහා අලුත් තහඩු භාවිතා කර නොමැති බවද අනාවරණය වී තිබේ.

එහි සැකිල්ලේ කණු බොහොමයක් තට්ටුව ආසන්නයෙන්ම දිරා ගොස් තිබී ඇති අතර, මේ හේතුවෙන් සැකිල්ලේ ශක්තිය මෙන්ම බසයේ ශක්තියද හීන වී ඇති බව කමිටුව පෙන්වා දෙයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ බල සීමාවක්ව පැවති අනතුර සිදු වූ අස්ථානයේ 2022 වසරෙන් පසුව දෙපස ලෑලි වෙළඳසැලි දෙකක් සඳහා අවසර දී ඇති බවත් එම වෙළඳසැල් හිමියන් විසින් තම ව්‍යාපාරික ස්ථනවලට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා අනතුර වූ ස්ථානයේ තිබූ පස් හා පස් ගොඩැලි ඉවත් කර සමතලා කර තිබෙන බවත් පෙන්වදෙන කමිටු වාර්තාව එයද බසය පෙරැළී යෑමට තවත් එක් හේතුවක් බව සඳහන් කරයි.

අපේ රටේ සෑම වසරකදීම අයවැය හරහා වැඩිම මුදලක් වෙන් කරන ක්ෂේත්‍ර අතර මාර්ග සංවර්ධනය ද තිබේ. එම මුදල් වෙන් වන්නේ අධි වේගී මාර්ග වැනි නව මංමාවත් ඉදිකිරිම සඳහා වුවත් මාර්ගවල පවතින ප්‍රමිතිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමුව නොමැති බව පැහැදිලිය. එසේම අනිත් අතට අපේ රටේ අඩුම ප්‍රතිපාදන ප්‍රමාණය වෙන් වෙන ක්ෂේත්‍රයක් වන්නේ පොදු ප්‍රවාහනයයි. එම වෙන්වන මුදල් ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය පවත්වාගෙන යාමට කිසිසේත් ප්‍රමාණවත් නොමැති බව පැහැදිලිය. රියදුරන් අවිවේකි වන්නේත් ප්‍රමිතියෙන් තොර බස් රථ පවතින්නේත් මේ කරුණු හේතුවෙනි.

රාජ්‍ය ප්‍රවාහන සේවය මෙසේ නම් පෞද්ගලික අංශයේ බස් රථ ගැන කතා කිරීමෙන් හෝ පලක් නැත. අපේ රටේ ප්‍රමිතිගත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාමේ වගකීම ආණ්ඩුව බාරගෙන කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. එය බස්වල සැරසිලි ගැලවීමෙන් එහාට ගමන් කළ යුතු බව දැන් සක්සුදක් සේ පැහැදිලිය.

leave a reply