Breaking News

බදු ප්‍රතිපත්තිය කඩාකප්පල් වුනොත් IMF යන්න වෙන්නෙ නැහැ – රනිල්

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

2023 වසර සඳහා ඉදිරිපත් කළ අය වැය ද සාමාන්‍ය අය වැයක් නොව, වැටී ඇති ආර්ථිකය ගොඩනැංවීමේ මෙහෙයුමක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයේදී පැවති “2023 බදු සමුළුව” ආරම්භක දේශනය සිදු කරමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පමණක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ හැර වෙනත් කිසිදු ආයතනයක්, පක්ෂයක් හෝ පුද්ගලයෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෝජනා හෝ විකල්ප ඉදිරිපත් නොකළ බව සඳහන් කළේය.

කෙසේවෙතත් නව ආදායම් බදු හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අදත් විරෝධතාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ප්‍රධාන විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට සැලසුම් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් සංජීව පවසා ඇත.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති 40 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් ඊට එක්වීමට නියමිත බවද ඔහු සඳහන් කර තිබුණි.

leave a reply