Day: June 27, 2020

  • ආණ්ඩුව සහන දෙනවා කියලා දැනට තියෙන දීමනාත් කප්පාදු කරලා  – සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය

    ආණ්ඩුව සහන දෙනවා කියලා දැනට තියෙන දීමනාත් කප්පාදු කරලා – සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය

    දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවක සේවිකාවන් මුහුණ දී ඇති ගැටලු සහ ඊට අදාළව ගනුලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (26) සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විසින් පවත්වා තිබුණි.

    එහිදී අදහස් දැක්වූ සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසා සිටියේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලවලට පැය 8 බැගින් දින හයක කාලයක් වැඩකිරීමට සිදුව ඇති නමුත් ඔවුන්ගේ දීමනා ගෙවීමද නිසි පරිදි සිදු නොවන බවයි. එසේම වසර ගණනාවක් තිස්සේ නිල ඇඳුම් දීමනාව වැඩි නොකිරීම, රාජකාරි කටයුතු කුමක්ද යන්න නිශ්චිතව වෙනකොට නොතිබීම යන ගැටළු පවතින බව ද සුගතානන්ද හිමියන් මෙහිදී පැවසීය.

    මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ උද්ඝෝෂණ, විරෝධතාවලට අමතරව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිතයන් සහ සෞඛ්‍ය අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක සමඟ ඊයේ (26) සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

    සුගතානන්ද හිමි පැවසුවේ ආණ්ඩුව කොරෝනා කාලයේ විවිධ සහන දීම සඳහා බව පවසමින් චක්‍රලේඛ නිකුත් කළත් මේවනතුරු කණිෂ්ඨ කාර්යය මණ්ඩල සේවක සේවිකාවන් කරන ලද සේවයට අදාළව හෝ දීමනා ලබා දී නොමැති බවයි.

    මෙම මාධ්‍ය හමුවට සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති චමින්ද නිලන්ත , ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි, භාණ්ඩාගාරික රංජිත් සිල්වා සහ උප ලේකම් දුලානි ශාගරිකා යන අය සම්බන්ධ වූහ. සේවක ගැටලු සම්බන්ධයෙන් ඉදිරි දින කීපය පුරා සියලු රෝහල්වල සේවකයින් දැනුවත් කරන බව එම සංගමය පවසා සිටිය.

  • මෛත්‍රී කෙලව ගන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් කෙළවරයි

    මෛත්‍රී කෙලව ගන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් කෙළවරයි

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රුව සහ නම ඇති ස්ථාන වසා තබන ලෙස දන්වමින් පොළොන්නරුව මැතිවරණ කාර්යාලය යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානියෙක් පිළිතුරු ලිපියක් යවමින් තම බල ප්‍රදේශයේ එවැනි පුවරු සහ ඵලක 3000 ක් පමණ තිබෙන බවත් ඒවායේ රුව සහ නම වසා තැබීමට තම ආයතනයට මුදල් නොමැති බවත් ලිපියකින් දන්වා ඇතැයි වාර්තා වේ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූරකාලයේදී පොළොන්නරුවේ සිදුකරන ලද ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් සමරුඵලක හා පුවරුවල මෛත්‍රීපාල සිරිසේනගේ රුව සහ නම ඇතුළත්ව තිබේනම් මැතිවරණ කාල සීමාව තුළ එම නම සහ රුව වසා තබන්නැයි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇත.

    මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ රුව සහ නම මෙම පුවරු සහ සමරු ඵලක වල ප්‍රදර්ශනය වීම අපේක්ෂක ප්‍රවර්ධනයට වක්‍රාකාරයෙන් බලපාන නිසා මෙම පියවර ගන්නැයි සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල පොළොන්නරුව නාගරික කොමසාරිස්වරුන්ට සහ ප්‍රාදේශීය සභා වල ලේකම්වරුන්ට යොමුකළ ලිපියක දක්වා ඇත.

    මේ අතර පොළොන්නරුව මැතිවරණ කාර්යාලයේ ලිපියට පිළිතුරු සපයමින් පළාත් පාලන ආයතන ප්‍රධානියා පවසා ඇත්තේ අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් සමරු ඵලකවල හිටපු ජනාධිපතිවරයාගේ නම සහ රුව වසා තැබීය හැකි බවයි.

  • උඹ තවමත් මට  පොඩී

    උඹ තවමත් මට පොඩී

    මං කරපු වැරදි හැමදාම
    සුසුමකින් යටකර ඉවසා දරාම
    ජෙනී නුඹයි මට හැමදාම
    කවදාවත්ම මාක්ස් කෙනෙක් වෙන්නට බැරි මට

    සිප් ගහේ මුදුනකම දරුවන් රැන්දුවට
    කියා දෙන්න උන්ට බිම ඉන්න උන් දිහා බලන්නට හැමදාම
    නුඹ හිටවපු පිච්ච වැල් දෙකක් වගෙයි මටනම් උන්තාම
    මම නම් කිව්වෙ උන්හට ජෙම්මාමයි වෙන්ට හැමදාම

    නුඹටත් කිව්වෙ මම නුඹෙ අම්මවගේ වෙන්ට හැමදාම
    දුවලව විතරයි වඩාගන්නටත් හැකි උනෙ නුඹෙ අම්මාට
    හොඳ තැනක ඉදන් අම්මත් බලන් ඇති දරුවන්ව
    හිටියනම් අද ලබනව සෙනෙහස ආදරය දරුවන් හැමෝම

    මා දුරු රටකට යන්න ගියා ඔබ තනිකර තිදෙනාම
    ගිනි අගුරක් වී පිලිස්සෙමින් දැවෙමින් ඔබ මුහුන දුන්නා තනිවම ජීවිතයට
    දන්නවා මම කිරි එරුනෙ දුවල දෙන්නටම විතරක් නොවන බව
    පතනෙමි තව තවත් ධෛර්‍ය මහා වනස්පතියක් සේ මිනිස්සුන්ට සෙවන දෙන්නට

    ජූඩ් විශ්වජිත්
  • මේ  කෝටි 33,400  වග කියන්නේ කවුද?

    මේ කෝටි 33,400 වග කියන්නේ කවුද?

    එක් එක් රජයන් විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 33,400 ක පමණ මුදලක් ලැබී නැතැයි ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි.

    පසුගිය කාල සීමාව තුළ පත්වූ විවිධ රජයන් යටතේ ඉකුත් මාර්තු 31 වැනිදා දක්වා දෙන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් මෙම මුදල ලැබිය යුතුව ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.

    ප්‍රවාහන , විදුලිබල සහ ධීවර යන ක්ෂේත්‍ර සඳහා භාවිතා කරන ලද ඉන්ධන වෙනුවෙන් මෙම සහනාධාර ලබාදී ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

  • කරන්නාගොඩට පක්ෂ අධිකරණ නියෝගය නීතිය ක්‍රියාත්මක වීම ගැන පණිවිඩයක් – දුමින්ද නාගමුව

    කරන්නාගොඩට පක්ෂ අධිකරණ නියෝගය නීතිය ක්‍රියාත්මක වීම ගැන පණිවිඩයක් – දුමින්ද නාගමුව

    වසන්ත කරන්නාගොඩට මිනීමැරුම් නඩුවකට වග උත්තරකරුවෙක් වී අභියාචනාධිකරණයට ගොස් ඒ නඩුව අත්හිටුවීමට හැකියාව ඇත්නම් මේ රටේ නීතිය මොකක්ද කියන ප්‍රශ්නය ජනතාව ඉදිරිපිට ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම සහ ඝාතනය කිරීමට අදාළව මහාධිකරණයේ විභාගවන නඩුව නැවත්වීම සඳහා වසන්ත කරන්නාගොඩ විසින් රීට් ආඥාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීම හරහා රටේ අධිකරණය, නීති පද්ධතිය, නීතිය ක්‍රියාත්මක ආයතන ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත ආකාරය එනම් මේ රැස්වළල්ල ඇතුලේ ජීවත්වන අය අරකෂා කරන්නෙ කොහොමද කියන එක ගැන පණිවිඩයක් ලබාදී ඇති බවයි.

    දුමින්ද නාගමුව මෙම සිදුවීම ගැන පළකරන ලද අදහස් පහත දැක්වේ.

    “මේ නඩුව ආරම්භ වෙන්නෙ 2008 සිදුවූ තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම සහ ඔවුන් පසුව ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි. මේ නඩුවේදී 14දෙනෙකු චූදිතයන් බවට පත්වුණා. 14වෙනි චූදිතයා ලෙස ඉන්න වසන්ත කරන්නාගොඩ විරුද්ධව සාක්ෂි දෙකක් ඉදිරිපත්ව තියෙනවා. එම එක සක්ෂිකයක අතුරුදහන් වූ තරුණයෙකුගේ පියෙක් ලබාදුන් සාක්ෂියකට අනුව ත්‍රිකුණාමල කඳවුරේ එක ප්‍රදේශයක් පරික්ෂා නොකිරීම සඳහා කරන්නාගොඩගේ අධිකාරීත්වය ක්‍රියාත්මක වුණා කියන එක. ඒවගේම නාවික හමුදාවේ නීති නිළධාරියාගේ සාක්ෂියට අනුව මේ පැහැරගැනීම ගැන ඔහු එවක යුධ හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩට දැන්වූ බව සඳහන් වෙනවා. වසන්ත කරන්නාගොඩ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ වරෙන්තු පිට හිටියෙ. නමුත් ඔහු අධිකරණයට ගියෙත් නැහැ. ප්‍රසිද්ධ උත්සවවල පවා පෙනී හිටියා. නීතිපතිවරයා විසින් පැහැර ගැනීම, මිනී මැරීම, මිනී මැරීමට දායක වීම යන අධි චෝදනා යටතේ මහ අධිකරණයේ නඩු පවරනවා. මේ වෙලාවේදී වසන්ත කරන්නාගොඩ අභියාචනාධිකරණයට ගිහින් මේ නඩුව නවත්වන්න රීට් ආඥාවක් අරන් තියෙනවා. මිනී මැරුම් චෝදනාව යටතේ පවතින නඩුවක වරෙන්තු නිකුත් කරලා ඉන්න පුද්ගලයෙකුට අභියාචනාධිකරණයට ගිහින් ඒ නඩුව නවත්වන්න කියලා රීට් ආඥාවක් අරගන්න පුළුවන්ද? අධිකරණය වැනි නීතිය ආරක්ෂා කරනවා යයි කියන ආයතන ගැන පැහැදිලි පින්තූරයක් සමාජයට ඉදිරිපත්ව තියෙනවා. සමහර මිනිස්සු මෙවැනි චෝදනා නිසා වසර ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා පසුව ඔහු නිර්දෝෂී කියලා ඔප්පු වෙනවා. නමුත් රැස් වළල්ලක් සහිත මිනිස්සුන්ට පුළුවන් මිනීමැරුම් චෝදනා තියෙද්දී ඒ චෝදනාවලට අදාළව උසාවියට ඉදිරිපත් නොවී ඉඳලා වරෙන්තු නිකුත් කරලා තියෙද්දී මහාඅධිකරණයේ ක්‍රියාත්මක වෙමින් තියෙන නඩුවක් නැවත්වීම සඳහා අභියාචනාධිකරණයට ගිහින් රීට් ආඥා ගන්න. මේ රටේ අධිකරණය, නීති පද්ධතිය, නීතිය ක්‍රියාත්මක ආයතන ඉදිරියේදී ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද මේ රැස්වළල්ල ඇතුලේ ජීවත්වන අය අරකෂා කරන්නෙ කොහොමද කියන එක ගැන පණිවිඩයක් මේ හරහා දී තිබෙනවා. මිනීමැරුම් නඩුවකට වග උත්තරකරුවෙක් වෙලා ඒ නඩුවත් අත්හිටුවන්න පුලුවන්නම් මේ රටේ නීතිය මොකක්ද කියන ප්‍රශ්නේ ජනතාව ඉස්සරහා තියෙනවා.”