හැඟීම් ආමන්ත්‍රණය කරමින් අනුත්සාහිකව ගලා එන අදහස් සමුදායක් අපිට ඉතා සරලව කවියක් ලෙස හඳුන්වන්න පුළුවන්.කවිය භාෂාවෙන් පෝෂණය වෙනවා.කවිබස සමාජය පෝෂණය කරනවා.කවියක් උදෙසා ප්‍රස්තුත සපයන්නේ සමාජ ප්‍රපංචයන්.සිද්ධි,අත්දැකීම්.නමුත් අපි ග්‍රහණය කරගත් ප්‍රපංචයන් අපූර්වත්වයකින් දැකීම තුළ මෙතෙක් නොකියවූ යමක් ,මෙතෙක් නොදුටු යමක් නැවත කවිය මගින් සමාජයට දෙනවා. කවිය සමාජ කියවීමක් වෙන තරමට අපිව නියෝජනය කරන්න තියෙන අවස්ථා වැඩියි.සමාජය කවිය තුළින් ප්‍රතිනිර්මාණය වෙද්දී එය සාමාන්‍ය මිනිසා අතර සැරිසරනවා.ලංකාවේ සාහිත්‍යාංග අතර ගීතයට තිබ්බ මනසට සමීප බව අද කවියට ලැබිලා.මොකද කවිය අද නියෝජනය කරන්නේ රසයම නෙවි.සැබෑ ජීවන අර්ථය.මෙවන් සැබෑව හා බැඳුණු කවි කතන්දර කරුවෙක් තමයි ඉන්දික සමරනායක කවියා.
කවිය ආවේදන ක්ෂේත්‍රය නියෝජනය කරයි.එහෙත් එය බුද්ධියට ද ආමන්ත්‍රණය කරයි.මේ මට ඉන්දික සමරකෝන්ගේ කවියට දිය හැකි සරලම නිර්වචනය යි.ඔබ ඉදින්නෙම නොලියූ කවියක මේ ඔහුගේ හයවෙනි කවි එකතුව.මේ කවි බහුතරය ඔහු ප්‍රේමයට වෙන් කරද්දී තවත් කවි කිහිපයක් පුද්ගල චේතනා,මනු ස්වභාවයන් හා පවත්නා සමාජ ස්වභාවයන් විග්‍රහ කිරීම පිණිස භාවිත කරනවා.ඔහුගේ කවිබස භාවිතය නිසදැස් කාව්‍ය ශෛලිය පෙන්නුම් කරනවා.නිසදැස් කාව්‍ය ශෛලියේ දී භාෂාව උපකරණයක්,මෙවලමක්,අවියක් ලෙසින් භාවිත වෙනවා.අලංකාරයට වඩා වාග් කෝෂය සන්නද්ධ වෙන්නේ ඍජු ප්‍රකාශනයට. මේ ස්වරූපය සමරකෝන්ගේ කවියටත් අනුබද්ධයි.
කවියේ රස උද්දීපනය කරන්නේ භාෂාව.ඊට සරල,සුගම හා වාක්‍යෝක්ති බහුලවීම රුකුලක් වෙනවා.සමරකෝන්ගේ කවිබස තුළ මෙකී ගුණයන් ඉහළින්ම භාවිත නොවුනත් බස මෙවලමක් කරගන්න ඔහු සමත් වී තියෙනවා.ඔහුගේ කුසුමේ අපි යළි එකතුවෙනවා කවිය මට දැනෙන්නේ මිනිස් මනස කියවීමක් ලෙස.
උඹේපැටව් දෙන්නා මගේම සේ
මට බලන්නට හැකි බැවින්
සැකක් නොමැතිව වරෙන් කුසුමේ
උන්ට වෙනසක් නෑ මගෙන්
උඹට මේ එන්නයි කියන්නේ
නොවෙයි ගත වෙන්නට යහන්
භෞතිකවාදී ලෝකය තුළ අපිව මෙහෙයවන්නේ අරමුණු නිෂ්ඨාව පිණිස.අරමුණු ඉටුකරගැනීම ජීවන ආශාව.ඉටු නොවීම තුළ අපි කඩා වැටෙනවා.ඔන්න මරණ ආශාව ප්‍රබල වෙනව.මෙහි එන කුසුමෙගේ පෙම්වතා කුසුමේ අහිමිවීමේ විරහව විඳින්නෙක්.ඒත් කුසුමේ විවාහය තුළ අසරණ වෙද්දී කුසුමෙට හව් හරණක් වෙන්න ඔහු ඉදිරිපත් වෙනවා. ඔහු විඥානවාදී ප්‍රේමවන්තයෙක්.සැබෑ ලෝකය තුළ අපිට කලාතුරකින් හමුවෙන මිනිසෙක්. ඉඩ් ප්‍රබල හෙවත් ස්ව තෘප්තිය උදෙසාම මෙහෙවෙන ලෝකයක මානව බැඳීම් හි ඇති සුබවාදී,හේතුවාදී ස්වරූපය කියන්න ඔහු මේ කවිය තුළ උත්සහ ගන්නවා.එය අපිට අපි දිහා අලුත් ප්‍රවේශයකින් බලන්න දෙන තල්ලුවක් ලෙසයි මම දකින්නේ.
උඹේ හැට්ටෙට හිරවෙලා
ඉඳල මට දැන් අතිවෙලා
කොයි මොහොතෙ
නිදහස ලැබේවිද
මමත් ඉන්නේ මඟ බලා
සමරකෝන්ගේ කවිවල මාතෘකා නැහැ.පරිකල්පන අවකාශය පුළුල් ඒ නිසාම.මම මේ කවිය පියයුරු ලෙස දකිනවා.පියයුරු සංකේතයක්.එය නිරුවත,ස්ත්‍රීත්වය,සුන්දරත්වය,රහස්‍යබව නිරූපිතයි.මේ සියල්ල සමාජ නිර්මිතයන්.පියයුරු යන්න ඇසීම පවා උද්දීපනයක්.පියයුරු හරහා සමරකෝන් විෂද කරන්න උත්සහ ගන්නේ මානව හැඟීම්.අපි අමාරුවෙන් යටපත් කරන් ඉන්න තිරශ්චීන හැඟුම්.එය පොදු මානව සත්තාවක්.අනික් දේ තමයි නිරුවත හා අර්ධ නග්නත්වය.නිරුවතට වඩා අර්ධ නග්නත්වය ප්‍රබලයි.මිනිස් යටිහිත මේ සියල්ල ඉල්ලද්දී උඩුහිතින් තර්ජන එල්ලවෙනවා සාධුත්වය රැකගන්න.හැම මිනිහෙක්ම ස්වකීය ජීවිත කාලය තුළ මේ අරගලය සදාචාරය,සංස්කෘතිය වෙනුවෙන් තමන්ගේ මනස එක්ක කරනව.මට දැනෙන ලෙස මේ කවිය අපූරු කියවීමක් අපේ මනස ගැන.
සමරකෝන් කවියා විසින් තමා විසින්ම ගොඩනගාගෙන ආ තර්කයන් ඛණ්ඩනය කරගැනීමක් ලෙසයි යට ඇඳුමක විලාපය මම දකින්නේ.එකක් මෙතෙක් මාතෘකා විරහිතව ඔහු ගොඩනැගූ ආකෘතිය මෙහිදී විභේදනයකට ලක්වෙනවා.නමුත් එය අපට ආකෘතියකට හිර නොවීමක් ලෙස කියවන්න පුළුවන්.අනික මෙහිදී කවියා ගතානුගතිකත්වය වැළඳගැනීමක් මම දකිනව.
යටට ඇඳපුව පේනවා
මං හිතන්නේ උඹ දන්නවා
උඹට ලැජ්ජා නැති බවක්
ඒ දකිද්දී
මට හිතෙනවා
ලේන්සුවවත්
දාපංකො මට
මටත් ලජ්ජා හිතෙනවා
එහෙත් ඒ අපි කවියේ මතුපිට අර්ථය කියෙව්වොත් හැඟෙන දේ.මට මේ කවියත් සංකේතාත්මක කියවීමක්.යටට ඇඳපුවා යනු අපේ චින්තනයයි.අපි වෑයමෙන් දියේ ඔබාගත් රබර් බෝලය සේ යටපත් කරගත් සංවේදනායි.නමුත් අපේ චර්‍යාව තුළ අපි නොදැනුවත්වම මතුවන කුහකත්වය,ආත්මාර්ථය,ඊර්ෂ්‍යාපරවශ බව මේ යටපත් සංවේදනවල ප්‍රතිඵල.එහෙත් ප්‍රියතෙපුල්,මන්දස්මිත අස්සේ එකී ජාගර චිත්තවේගයන් අපි සඟවනවා.මේ සංකේතාත්මක නිරූපණය බැලූ බැල්මට කවිය තුළින් ග්‍රහණය කරගත නොහැකිමුත් විවරණාත්මක විග්‍රහයකදී ඔබේ ඇසට නොව මනසට මේ යථාව දෘෂ්‍ය වනු ඇත.
දැන් ඉතින් දුක්වෙලා ඵල නැත
අතීතය ගැන මෙනෙහි කරලා
දේවියේ නුඹ දන්නෙ නැති මුත්
බොහෝකල් නොවැ සිංහයා මැරිලා
සමරකෝන් කවියා ජනශ්‍රතිය භාවිතයෙන් ලියූ කෙටි කවකි මෙය.මෙකව දේශපාලන කියවීමකි.අපි අතීතකාමී රස වෙනුවෙන් ප්‍රීති වෙමු.එසේම දුක් වෙමු.එහෙත් ජීවිතය යනු මේ මොහොතයි.මැරුණු සිංහයා වෙනුවෙන් ශෝක වීම හෝ ප්‍රීති වීම අනවශ්‍ය ය. මන්ද අපි දනටත් ප්‍රමාද හෙයිනි.
ඉතින් මේ සටහන නිහඬ එහෙත් සංයමයක් සහිතව ජීවිතය කියවන ඉන්දික සමරකෝන් නැමැති කවියා වෙනුවෙනි.මා ඔහු ආරම්භයේ හැදින්වූයේ කවි කතාකරුවෙකු ලෙසයි.මන්ද කවි හරහා දීර්ඝ කතාවක් ඉහු අපිට සමීප කරලීමට උත්සහ දරණ බැවිනි.එය තමාට රිසිලෙස කියවීම සහෘද අපේ කාර්‍යය යි.