Breaking News

පුස් රටක පුස් වෙඩි

පිටතින් ඔප දමා සකසුරුවමින් සරසා ලන ඇතුලතින් දිරාගිය සෑම වස්තුවකම ස්වභාවය කුමන හෝ මොහොතක කිසිවක් ගත නොහැකි පරිදි විනාශවීම හැර අන් යමක් නොවන්නේය. රටක තත්වයක් මෙයම වූ විට සංදර්ශන, අනේක විධ රීතීන් ව්‍යවස්ථාපිත තත්වයන් හා කාබනික පොහොර, රාජ්‍ය යාන්ත්‍රණයේ විනය ගැන සෙවීමට කඩා පැනීම් හා හදිසි මැදිහත්වීම් වැනි අයිසින් අදාලම නැති තත්වයන් විය හැකිය.

තෙල් නැවකට ගෙවීමට ඇති ඩොලර් ගෑස් නැවකට ගෙවා ගැනීමට සිදුවන තත්වයක් තුළ තෙල් පෝලිම්ද ගෑස් නැවකට ගෙවීමට ඇති ඩොලර් තෙල් නැවකට ගෙවූ පසු ඇති වන ගෑස් පෝලිම් ද දැන් දැන් සාමාන්‍ය ජනතාවට ලංකාවේ ආර්ථිකයේ දිවිල්ල හොදාකාරවම තේරුම් ගොස් ඇත. මහජනතාව පීඩාවෙන් පීඩාවට පත් වෙද්දී සංවර්ධනය යැයි කියා ගන්නා නානාප්‍රකාර වැඩද තැන තැන සිදුවෙමින් පවතී. නාමල් රාජපක්ෂ පසුගියදා හම්බන්තොට මෝටර් සයිකල් සවාරියක් පවත්වන්නේද, රගර් මැච් ගහන්නේද මෙවැනි තත්වයක් තුළය. තෙල් භාරව සිටින ඇමතිවරයා කොතැනකවත් තෙල් පෝලිම් නැතැයි කියා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නේ කොළඹ හතර වටේ පාරක යා නොහැකි පරිදි වාහන තෙල් පෝලිම්වල තිබියදීය.

මේ අතර විපක්ෂයේ ප්‍රධාන පක්ෂය කොළඹට තම පාක්ෂිකයන් කැදවා නාන්විධ රැගුම් පා ඒ මිනිසුන්ගේ අතේ මිටේ තිබෙන තඹ දොයිතුවටත් කෙලවා ආණ්ඩුව තමන් අතට ගන්න දගලන්නේ මේ රට පුස්සක් බව දැන දැනමය. දැනෙමින් තිබෙන විදිමින් තිබෙන දුක් පීඩා මතින් ඕනෑම ඔලුවක් සහිත අයෙක් වේ නම් මේ රට වසර දෙකකට පෙර පැවැති තත්වයකට ගෙන ඒම සදහා කුමන හෝ සැලසුම් සහගත වැඩපිළිවෙලක් දියත් කරන්නේ නම් එයට වසර 10කට වඩා ගතවීම අනිවාර්යය වන බව දන්නේය. එහෙව් තත්වයක් තුළ පක්ෂ විපක්ෂ හෝ එවැනි මොනයම් හෝ ජාතියක පාලන තන්ත්‍රයක් සම්බන්ධයෙන් උනන්දු වන්නන්ට සිදු කළ යුතුව ඇත්තේ ඉන්නා තැනින් ඉදිරියට යාමට ඉන්නා උන් පන්නා දමා හෝ නාස්තිය නැති කොට නැවත ආර්ථිකයට පණ දීමටය. එයට එක්වීම අනිවාර්යය සාධකයක් වන්නේ පක්ෂ භේදයකට වඩා මෙය ජාතික තලයේ සැලසුම් සහගත වැඩක් ලෙස ගත හොත් පමණි.

එහෙත් සිදු නොවන්නේද එයම වීම තව තවත් අගාධයකට මෙරට ගමන් කිරීම ඇස් පනා පිට පෙනෙන ඇත්තය. රටේ නායකයා ජනතාව අමතා මේ අර්බුදයන් තමන් විසින් මැදිහත් නොවී සිදුවන බව පවසන්නේ නම් එහෙව් පාලකයෙකුගේ වැඩක් ඇද්ද යන්න ජනතාවට තේරුම් යාමට අමුතු මොලයක් උවමනා නැත. ණය ගැනීමට රට රටවලට යාමට මුදල් ඇමති කටයුතු කරන්නේ අත්තනෝමතික උවමනාවකට මිස තීන්දු තීරණයක සාකච්ඡාමය පදනම මූලයක් ලෙස නොවීම මේ අර්බුදය තවත් ඉහවහා යන නරකක් අතට පත් කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරන්නකි.

ජනතාව දැන් එක් දෙයක් පවසමින් සිටී. ඒ නම් මුලදී මේ රට ඇත හැර මුන්ට ඕන කුදයක් ගහගන්න කියල වෙන රටකට යාමට සිටි අය දැන් පාලකයන් වෙන රටකට තල්ලු කිරීම දක්වා පරිවර්තනය වී ඇත. හම්බ කරගත්තා ඇති නම් යන්න.. යැයි පවසන පිිරිසක් බිහිවීම අද දවසේ ඇත්ත වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ අවම මැදිහත්වීම යැයි පැවසිය යුතුමය.

එබැවින් හිස උදුම්මාගත් නහුතයක් මොල ඇති යැයි පවසා ජනතාවට තවත් කෙළවෙන්නට හැරීම පසක දමා තමන්ගේ ඇති ශක්තිය පිළිබද සිතා මේ අර්බුදයෙන් ගොඩ ඒමට විද්වතුන් හා ප්‍රාමාණික දැනුමක් සහිත පිරිස් එකතු කොට සාමූහික වැඩපිළිවෙලක් වෙත තල්ලු වීම හැර අන් යමක් රට මේ තත්වයන් ගොඩ ඒමට නොවන්නේය යන්න ජනතාව එකම ඉල්ලීමද වේ.

ඒ නිසාම පුස් රටක පුස් වෙඩි තබනු වෙනුවට ජීව උණ්ඩ සහිතව යුද වැදීම අද දවසේ කාර්යය.
– තුසිත පතිරණ –

leave a reply