වන අලි පහරදීම් වලින් අනුරාධපුර වනජීවී කලාපයේ පුද්ගලයින් 33 ක් ජීවිතක්ෂයට, අලි මරණ 70 ක්

වන අලි ඇතුළු ආරක්ෂිත වන සතුන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ගෙවීම පිළිබඳ දිස්ත්‍රික් වන්දි කමිටුව පසුගියදා පැවැත්විණි. ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) සන්ධ්‍යා එන්.ජී අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී. එහි දී වන අලීන්ගෙන් හානි වූ ජීවිත හානි, දේපල හානි,ශාරීරික හානි වලට අදාළ වන්දි මුදල් ගෙවීම පිළිබඳ සාකච්ජා විණි.

මෙම වසරේ මේ දක්වා වන අලි පහරදීම් වලින් පුද්ගලයින් 33 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇති අලි සංඛ්‍යාව 70 කි. සැප්තැම්බර් මස තුළදී පමණක් වන අලි පහරදීම් හේතුවෙන් ජීවිත හානි 12 ක් සිදුව ඇත. එයින් වැඩිම ජීවිත හානි සංඛ්‍යාව සිදු වී ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළයි. එම ගණන 3 කි.

නව චක්‍රෙල්ඛයට අනුව 2021.08.02 න් පසු වන අලි ප්‍රහාර හේතුවෙන් මිය යන පුද්ගලයෙන් වෙනුවෙන් වන්දි මුදල් ලෙස රුපියල් ලක්ෂ 10 ක් ගෙවන බව සඳහන් වේ. එම දිනට පෙර මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් වන්දි මුදල ගෙවන්නේ රුපියල් ලක්ෂ 5 බැගිනි. මිය ගිය පුද්ගලයන්ගේ නීත්‍යානුකූල භාරකාරත්වය හිමි පුද්ගලයන් හට මෙම වන්දි මුදල් හිමි වනු ඇති.

2022 වර්ෂයේ ජනවාරි මාසයේ සිට ඔක්තොම්බර් මාසය දක්වා වන්දි කමිටු මගින් අනුමත වන අලි හානි සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය මුළු මුදල රුපියල් (56,181,325.17) පන්කෝටි හැට එක් ලක්ෂයකට අධිකයි. එයින් මේ වන විට රුපියල් තුන් කෝටි තිස්නව ලක්ෂයක් (33,998,752.95) ගෙවා අවසන් කොට ඇත. ජූලි,සැප්තැම්බර්,ඔක්තොම්බර් යන මාසවල ප්‍රතිපාදන තවමත් ලැබී නොමැති හෙයින් හානි සම්බන්ධයෙන් තවත් රුපියල් (24,282,572.22) දෙකෝටි හතලිස් දෙලක්ෂයකට අධික මුදලක් ගෙවීමට නියමිතව ඇත.

වන අලි ප්‍රහාර හේතුවෙන් සිදු වන හානි පිළිබඳ තක්සේරු කිරීම සිදුකරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. වන්දි කමිටු රැස්වීම සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් අයෝමි රත්නායක මෙනවිය, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ එස් චන්ද්‍රරත්න මහතා, ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ අයි.ඒ.කේ රණවීර මහතා සහ විෂය භාර නිලධාරිණියන් වන ලක්මාලි වනිගසේකර සහ ප්‍රසාදි හේරත් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Share post:

Popular

වෙනත් පුවත්

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...