ශ්‍රී ලංකා පොලීසිය යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටුවීම පසුදා සිදුවිය. ඒ දැනට සිදුවෙමින් පවතින සහ ඉදිරියේ දී ඇරැඹීමට නියමිත අපරාධ පරීක්ෂණ වඩා කඩිනමිනුත්, කාර්යක්ෂමවත් සිදුකිරීමේ අරමුණ පෙරදැරිව බව කියැවේ.
මෙම කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත්තේ පසුගිය කාලයේ බෙහෙවින් ආන්දෝලනාත්මක විමර්ශන ගණනාවක් මෙහෙයවූ, අවංක සහ ඍජු පොලිස් නිලධාරියකු ලෙස බොහෝ දෙනකුගේ ප්‍රශංසාව ලබන අතරම, ඇතැම් දේශපාලන බලවතුන්ට නයාට අදුකොළ මෙන් වී, ගෝඨාභය පාලනයේ දී දේශපාලන පළිගැනීම්වල පවා ගොදුරුකරනු ලැබූ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ය.
තල්දූව සහ කොඩිතුවක්කු
ඔහුට ඉහළින් මෙම කාර්යාංශයට පත්කර සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව වන අතර, මේ දෙ දෙනාට ම ඉහළින් සිටින්නේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ය.
පොලිස් නිලධාරියකු වශයෙන් ශානි අබේසේකර සම්බන්ධයෙන් පොදුවේ පවත්නා ප්‍රතිරූපයට බෙහෙවින් වෙනස් ප්‍රතිරූප දෙකක් මේ ඔහුට ඉහළින් ස්ථානගත කර ඇති තල්දූවට සහ කොඩිතුවක්කුට ඇති බව දැනටමත් හෙළිදරව් වී තිබේ.
ශානිට ඉහළින් දූෂිතයන්ට තොරතුරු පාලමක්?
නිහාල් තල්දූව සම්බන්ධයෙන් දැනටත් තැන තැන මතුකර ඇති ඔහුට විරුද්ධව පැවැත්වෙන මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධ ගැටලුවටත් වඩා, Conflict of interests හෙවත් ලබැඳියාවන් අතර ගැටුමකට තුඩුදෙන, මෙතෙක් කරලියට නො ආ ගැටලුවක් මෙහි දී වඩාත් බරපතල බව අපේ අදහස යි.
නිහාල් තල්දූව ගේ භාර්යාව වන්නේ සුප්‍රකට නීතීඥවරියක වන සන්ධ්‍යා තල්දූව ය. ඇය ආන්දෝලනාත්මක ‘කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්’ හෙවත් CSN මාධ්‍ය නාලිකාව ආරම්භ කිරීමට අදාළ ආරම්භක ප්‍රාග්ධනය උපයාගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වීයයි යෝෂිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පස්දෙනකුට එරෙහිව පැවැති නඩුවේ දී යෝෂිත ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥ මඩුල්ලේ සාමාජිකාවකි. යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් මේ විමර්ශන සිදුවන්නේ 2016 පටන් ය.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට විරුද්ධව විමර්ශන තුනක් මේ මොහොතේ ද පැවැත්වේ
යෝෂිතගේ විමර්ශන තොරතුරු කොතැනින් නවතීවිද?
- දෙහිවල ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 500ක නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉන් එක් විමර්ශනයක් පැවත්වේ.
-
CSN නාලිකාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් තවත් නඩුකටයුත්තක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වේ.
-
එමෙන් ම, 2012 වසරේ රත්මලාන සිරිමල් මාවතේ රුපියල් මිලියන 350ක මුදලකට නිවසක් සහිත පර්චස් 31.5ක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝෂිතට එරෙහි තෙවැනි විමර්ශනය ක්‍රියාත්මක ය.
පසුගිය පෙබරවාරි 11වැනිදා ද මෙම නඩු කටයුත්තක් මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවුණු අවස්ථාවේ දී ‘ඩේසි ආච්චි’ නමින් සුප්‍රකට, සැකකාර යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන 96 හැවිරිදි ඩේසි ෆොරස්ට් ද අදාළ නඩුවේ සැකකාරියක ලෙස නම්කර ඇති බව අනාවරණය විය.
2016 සිට පුරා වසර 9ක් තිස්සේ ඉතාම මන්දගාමීව ඇදෙන යෝෂිත රාජපක්ෂ සම්බන්ධ මෙම විමර්ශන අලුතෙන් පිහිටුවන ලද මෙම මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැවරෙන්නට නියමිත බව දැනගන්නට ඇත.
යෝෂිත රාජපක්ෂගේ නීතීඥවරියකගේ ස්වාමි පුරුෂයා තමන්ට ඉහළින්, සිය විමර්ශන අධීක්ෂණය කරන හා උපදෙස් ලබාදෙන තනතුරක සිටින ආයතනයකින් ශානිලා කරන විමර්ශනවල උණු උණු තොරතුරු ඒ පොලිස් නිලධාරියාගේ යෝෂිත වෙනුවෙන් පෙනීසිටි භාර්යාව හරහා යෝෂිතලා අතට යාමට කෙලින්ම පාලමක් වැටී ඇතිබව නොතේරෙන්නේ මොන මෝඩයාටද?
යෝෂිත චූදිතයකු වන ආන්දෝලනාත්මක නඩුවකට පෙනීසිටින නීතීඥවරියකගේ සබඳතා යෝෂිතගේ මේ ඒකල නඩුවෙන් නතරවන්නේ නැති බව ද, ඒ පෙනීසිටීම යෝෂිත නම් ඒකල පුද්ගලයා ගේ පෞද්ගලික තේරීමක් හෝ හිතවත්කමක් මත සිදුවූවක් නොවන බව ද, ඊට රාජපක්ෂ දූෂිත කාර්ටලයට මෙතැනින් එහා ගිය මුල් තිබෙන බවද තේරුම් ගැනීමට මොළයක් කියා දෙයක් ඔළුකට්ට අතුළේ ඇති කිසිවකුටත් අමාරු වන්නට බැරි ය.
එහි තේරුම නම් මේ හදා ඇති අලුත් කාර්යාංශය ඔස්සේ මේ කියන රාජපක්ෂ කාර්ටලයට විරුද්ධව ශානිලා කරන සියලු විමර්ශනවල උණු උණු තොරතුරු රාජපක්ෂලා අතට සැණින් එසැණින් ‘පාස් වෙනවා’ කියන එක නොවේද? අලුත් කාර්යාංශයට හයිකර ඇති තොරතුරු පාලමේ අපූරුව කොහොමද?
ඒ හර්ෂණ හැර තවත් හර්ෂණලා?
මෙහි ඇති තවත් සිත් ඇදගන්නා සුලු කාරණයක් වන්නේ, සන්ධ්‍යා තල්දූව ද ඇතුළත් ඉහත CSN නඩුවේ සැකකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි නීතීඥ මණ්ඩලයේ නීතීඥ හර්ෂණ නානායක්කාර ද සාමාජිකයකු ව සිටීම ය.
වත්මන් ජාජබ ආණ්ඩුවේ අධිකරණ ඇමැති නීතීඥ හර්ෂණ නානායක්කාර හැර තවත් නීතීඥ හර්ෂණ නානායක්කාරලා ඉන්නවාදැයි කියා සොයාබැලීම ජාජබයට ම බාර ය.
නිහාල් තල්දූවට ඍජුව එල්ලවන චෝදනාවක් වන්නේ, මූල්‍ය අපරාධයක් බව පෙනෙන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ( FCID) 2017 දී විමර්ශනයක් ආරම්භ කර ඇති බව හෙළිවී තිබීම ය. මේ බව හෙළිදරව් වන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන නාලක සිල්වා විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීමකින් හෙළිදරව් වූ තොරතුරු අනුව ය.
තල්දූවට මූල්‍ය වංචා චෝදනාවක්?
තල්දූවට අමතරව එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති වූ ප්‍රසන්න අල්විස්ට සහ තවත් උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව මෙම පරීක්ෂණ සිදුවෙමින් තිබී ඇත. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ විදෙස්ගතව වෙසෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී ඇතැයි කියැවෙන අතර, විමර්ශන සම්බන්ධයෙන් 2019 පෙබරවාරියේ නීතිපතිවරයාගෙන් ඉල්ලා යවා ඇති උපදෙස්වලට මෙම තොරතුරු නිකුත්කරන අවස්ථාව වනතුරු නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබී නොමැත. (‘නීතිපතිගේ ස්වාධීනත්වයට අත නොතබනු!’ යි අවි අමෝරන කට්ටිය නීතිපතිවරුන්ගේ මේ ජාතියේ සෙල්ලම් ගැන ද අවධානය යොමුකිරීම වටී.)
තල්දූවට මෙතැන ඇත්තේ චෝදනාවක් පමණක් බව සැබෑ ය. එහෙත් එය තවමත් විමර්ශන අවසන් වී විසඳුණු චෝදනාවක් නොවන බැවින්, ඔහු වැරදිකරුද, නිවැරැදිකරුදැයි තවම අප දනනේ නැත.
එහෙත් එවැනි චෝදනා ලද්දකු යටතේ විශේෂයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ හා නීති විරෝධී වත්කම් අපරාධ ද ඇතුළත් අපරාධ විමර්ශනය කරන්නට යාම කොතරම් විනිවිද භාවයක් සහිත කටයුත්තක්ද යන්න ප්‍රශ්නකළ යුතුව ඇත.
වධක රන්මල
ශානි අබේසේකරට මෙන්ම නිහාල් තල්දූවට ද ඉහළින් ඉන්නා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගැන දැනටමත් සෑහෙන දේවල් කියැවී ඇත. හිටපු පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ පුත්‍රයකු වන ඔහු සිය පොලිස් බලතල අනිසි ලෙස යොදාගනිමින් පුද්ගලයන්ට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරුවකු වූවෙකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවෙන් පවා ඔහු මානව හිමිකම් උල්ලංඝනයන්ට වගකිවයුතු බවට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ එවකට අධ්‍යක්ෂවරයකු වූ නිමල් පුංචිහේවාට 2002 වසරේ මානව හිමිකම් පැමිණිල්ලක් විමර්ශනය කරමින් සිටියදී තර්ජනය කර එම විමර්ශන කඩාකප්පල් කිරීමට කොඩිතුවක්කු කටයුතු කළ අතර, පසුව ඔහු කොමිසම හමුවේ සමාව ගත්තේ ය.
දැනටත්න මානව හිමිකම් නඩුවක චූදිතයෙක්
2021 වසරේ මිශාර රණසිංහ නම් පුද්ගලයාට සිදුකරන ලද වදහිංසා සම්බන්ධයෙන් ද රන්මල් කොඩිතුවක්කුට චෝදනා එල්ලවූ අතර, මේ වනවිට ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවක් ගොනුකර තිබේ. ලබන මාර්තු 04වැනිදා එය විභාගයට ගැනීමට නියමිතව ඇති බවත්, එම වදහිංසා හා පහරදීම්වලට අදාළ වෛද්‍ය වාර්තා පවා අතුරුදහන් වී ඇති තත්ත්වයක් උද්ගතව ඇති බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටින නීතිඥ තිෂ්‍ය වේරගොඩ බීබීසී සිංහල සේවයට පවසා තිබේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් වත්මන් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර විසින් 2021 දී පලකරන ලද ෆේස්බුක් සටහනක් ද බීබීසී සිංහල වෙබ්අඩවියේ උපුටා පලකර තිබේ. (එම සටහන පහතින් අමුණා ඇත.)
ශ්‍රී ලංකා පොලීසිය අන්ත දූෂිත ආයතනයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ තරමට ම එය දේශපානීකරණයෙන් ද ජරාවාස වී ගොසිනි. ඒ අනුව වගකීමක් බාරදිය හැකි, චෝදනාවලින් හෝ අපකීර්තිමත් ඉතිහාසයකින් තොර පොලිස් නිලධාරීන් සොයාගැනීම මහත් අපහසු කාර්යයක් බව ආණ්ඩුව පැත්තෙන් කියැවෙන්නට පුළුවන.
එහෙත් එවැනි දූෂිත හා දේශපාලනීකරණය වූ ආයතනයක් සම්බන්ධයෙන් කටයුතු කරන විට කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවත් චෝදනා රහිත සහ අන්ධකාර ඉතිහාසයක් නොමැති, වෙනත් ලබැඳියාවන් අතර ගැටුම් ද මතුනොවන විදියේ නිලධාරීන් තෝරාගැනීමේ අවශ්‍යතාව දැඩිලෙස පවතී. එවැනි පත්කිරීම්වලට අදාළ නිලධාරීන්ගේ සුදුසුකම් මෙසේ ප්‍රශ්නකිරීමට භාජනය වනවිට, ඒ සම්බන්ධයෙන් විධිමත් ලෙස සොයාබලා අවශ්‍ය තීරණ ගැනීම ද ජාජබ ආණ්ඩුවෙන් බහුතර ජනයා බලාපොරොත්තු වන බව පැහැදිළිව පෙනෙන්නට තිබේ.
බලය ලබාගත් පසු තමන්ට ගනුදෙනු කරන්නට සිදුවන්නේ එවැනි දූෂිත, ජරාවාස පොලිස් දෙපාර්තමේන්තුවක් සමඟ බව ජාජබය නොදැන සිටියා වන්නට බැරි ය.
එවැනි සමාලෝචනයක් නොමැතිව කටයුතු කළහොත්, කොපමණ වැදගත් විමර්ශන වුවත් විනිවිද භාවයකින් හා විශ්වසනීයත්වයකින් සිදුකළ හැකිද යන ගැටලුව ඇතිවේ.