Breaking News

බාල එන්නත් සිද්ධියෙන් කෙහෙළිය ගැලවෙනු ලකුණු

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිලදීගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරීන් බිල්ලට දී හිටපු සෞඛ්‍ය ඇමති ඇඟ බේරා ගැනීමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ.

එසේම මෙම ක්‍රියාවලිය සිදුවූ ආකාරය දෙස බැලීමේදී ද පෙනී යන්නේ ඇමතිවරයා තමන්ට එරෙහිව චෝදනා එල්ල කළ නොහැකි පරිදි මෙම ක්‍රියාවලියට මැදිහත් වී ඇති බවයි.

මෙම සිද්ධියට තමන් වරදකරුවෙක් නොවේ යැයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද පවසා තිබේ.

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ පොලිස් ඇමති ටිරාන් විසින් මෙම සිද්ධියට අදාළ සාක්ෂි ඇත්නම් ඇමතිවරයාද අත්අඩංගුවට ගන්නා බවට කරන ලද ප්‍රකාශයෙන් පසුව වීම විශේෂත්වයකි.

සත්‍ය සම්පූර්ණයෙන්ම විකෘති කර කරන ප්‍රකාශවලට පිළිතුරු නොදී සිටිය හොත් පුවත්පත්වල පළකරන කටුන් ද සත්‍ය වන බවත් අගෝස්තු මස 2 වැනිදා මෙම සිද්ධියේ පැමිණිළි කළේ ද තමන් බවත් අමාත්‍යවරයා කීය.

වර්තමානයේ ප්‍රශ්න මතුවී තිබෙන නිෂ්පාදකවරයා 2013 වසරේ සිට ඔහුට නිෂ්පාදනාගාරයක් ඇතැයි පවසමින් විවිධ අවස්ථාවල රජයට බෙහෙත් සැපයීමට උත්සහ කර ඇතැයි කී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තමන් ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව ද ඔහුගේ ඉල්ලීම් නැවත නැවත අලුත්වෙමින් පැමිණි බව ද සඳහන් කර ඇත.

එම ඉල්ලීම් ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීම ඇමතිවරයා හැටියට කළ බවත් ඒ අනුව අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීතුමා සති කීපයකට පසුව එම ඉල්ලීම්වල එකඟ නොවන්නේ යැයි දැනුම්දීමෙන් පසුව ඇමතිවරයාට ලෙස ඉන් එහාට ක්‍රියා කළ නොහැකි බවත් කෙහෙළිය පවසා ඇත.

ඉන් පසුව ප්‍රසංපාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමතිවරයාට සම්බන්ධයෙක් නොමැති බවත් ඔහු පවසා ඇත.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුම්කරුට හදිසියේ මුදල් ගෙවීම්වල තමන්ගේ කිසිඳු සම්බන්ධයෙක් නොමැති බවත් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු ජාලය එය ක්‍රියාත්මක කර ඇති බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩි දුරටත් සඳන් කර ඇත.

ඖෂධය නිසා මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් BBC සිංහල සේවය සමඟ දැක්වූ අදහස් පහත දැක්වේ.

“මේ කතාවේ ආරම්හය සිද්ධ වෙන්නේ 2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වැනිදා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 182ක් මිල දී ගන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. ඒක සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මිල දී ගන්නයි අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ.

“මේ පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට යොමු කරන දවසෙම සෞඛ්‍ය ලේකම්වරයාගේ නියෝගයක් එක්ක ඒ ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවන්න සැප්තැම්බර් 27 වැනිදා වගේ පළ කරනවා. නමුත් බලාපොරොත්තු වුණු විදිහට කැබිනට් මණ්ඩලයේ මේක එදා සම්මත වෙන්නේ නෑ, මොකද සාකච්ජාවට ගත්තේ නැති නිසා.

“මට මතක හැටියට ඔක්තෝම්බර් තුන්වෙනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ දී මේ කැබිනට් පත්‍රිකාව සම්මත වෙනවා. ඒ වගේම, සැප්තැම්බර් 27 වැනිදා පබ්ලිෂ් කරපු ටෙන්ඩර් එක ඔක්තෝම්බර් තුන්වෙනිදා ක්ලෝස් කරලා දවස් කිහිපයක් ඇතුළත ඒවා එවැලියුවෙට් කරලා අදාළ සමාගම තෝරනවා.

“සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට ගන්න එක ගැන අනිත් කරුණු එක්ක අධිකරණයේ දී තර්කානුකූලව කරුණු ඉදිරිපත් වුණේ මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන බෙහෙත පසුකාලීනව හොයා ගන්නවා ඒක ව්‍යාජව සාදපු එකක් කියලා,” ඔහු පැවසීය.

“මේ ඖෂධය ව්‍යාජ යි කියලා තීරණය වෙන්නේ, මේ ගනුදෙනුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා කියලා වෘත්තීය සමිති ප්‍රශ්න කළාම, ඒවා පුවත්පත්වල වාර්තා වුණා. මේ ඖෂධය ලංකාවේ දේශීය නියෝජිතයාට සපයපු ඉන්දියානු සමාගම කලබල වෙලා, ඔවුන් ඒකට ප්‍රතිචාර දක්වනවා.

“ඒ ප්‍රතිචාර දක්වද්දී කියනවා තමන්ගේ සමාගම මේ එන්නත සාදන්නේ නැහැ කියලා. ලංකාවේ මෙහෙම සමාගමකට ලබා දුන්නේ නැහැ කියා ප්‍රකාශ කරනවා. එතකොට ඉන්දියානු සමාගම ලබාදුන් බව කියන තත්ත්ව පරීක්ෂා සහතික ගැන ගැටලුවක් ඇති වෙනවා.

“ඒ ගැන සාකච්ජා කරද්දී හිටි හැටියේ ඖෂධ නියාමන අධිකාරිය එළියට ඇවිල්ලා පැමිණිල්ලක් දානවා, ඒ ඖෂධ මිල දී ගැනීමේ දී ඉන්දියාවෙන් ලංකාවට ඒ එන්නත් ලියාපදිංචියෙන් තොරව ගෙන්න අවසර දුන්න හදිසි මිල දී ගැනීමේ දී, ‍‍රේගුවෙන් තත්ත්ව පරික්ෂා කිරීමෙන් තොරව නිදහස් කරන්න සහතිකය ඔවුන් ලබාදුන් එකක් නෙමෙයි ඒක ව්‍යාජ එකක් කියලා.

“පස්සේ කරුණු අනාවරණය වෙනවා මේ වගේ ඖෂධයක් රේගුව හරහා ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් නැහැ කියලා,” ඔහු කියා සිටියේ ය.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් ඉන්දියාවෙන් මෙරටට ආනයනය නොකළ බවට හෙළිවූව ද දේශීය නියෝජිතයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නත් 3,000කට අධික ප්‍රමාණයක් ලබාදී තිබූ බව රවී කුමුදේශ් පැවසුවේ ය.

“මේ එන්නත් ඇණවුම 22,500ක්. නමුත් මේ දේශීය නියෝජිතයා අවස්ථා කිහිපයක දී එන්නත් 2500, 300, 150 බැගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීලා තියෙනවා. සමස්ත එකතුව ගත්තම එන්නත් 3000-4000ත් අතර ප්‍රමාණයක්.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මිල දී ගැනීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට එල්ලවූ චෝදනාව නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම වෘත්තීය සමිති විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කරනු ලැබූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා කියා සිටියේ ය.

“මේ එන්නත් 22,500 අරගත්ත නම් ඒකේ සම්පුර්ණ ගණුදෙනුව රුපියල් ලක්ෂ 9,500ක් පමණ වෙනවා. ඊට අමතරව මේ සමාගම විසින් පිළිකා රෝගීන්ට ලබා දෙන එන්නත් 2,000ක් ලබාදීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. මේ ලබාදී තිබෙන එන්නත් දෙවර්ගයේ වටිනාකම ලක්ෂ 1400ක් පමණ වෙනවා,” ඔහු පැවසුවේ ය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගෙන්වන බව පැවසුව ද එලෙස ඖෂධ ගෙන්වීමක් සිදුවී නොමැති පසුබිමක, එම මුදල් දේශීය මුදල්වලින් ගෙවන ලෙසට නියෝගයක් ද ලබාදී ඇති බවට කරුණු වාර්තා හෙළිවූ බව ඔහු මෙහිදී පැවසුවේ ය.

“ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ ඖෂධ ගේනවා කිව්වට එහෙම දෙයක් වෙලා තිබුණේ නෑ. ඉන්දියාවේ නිෂ්පාදනය නොකළ කිසිම දෙයකට ඒ ණය පහසුකම් යටතේ මුදල් ගෙවන්නේ නැහැ.

“නමුත් පසුව තේරෙනවා ලංකාවේ මුදලින් මේ සැපයුම් සඳහා මුදල් ගෙවන්න කියලා සෞඛ්‍ය ලේකම්වරයා හරහා නියෝගයක් ඇවිත් තිබෙනවා කියලා.”

මෙම ප්‍රශ්නගත ඖෂධ තොගය ලබාදී මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලිය සැලසුම් සහගතව සිදුකළ දෙයක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව ද මෙහිදී රවී කුමුදේශ් සඳහන් කළේ ය.

“ඔය කාරණා එක්ක ගත්තම ඖෂධය ගෙන්වීමේ දී රේගුවෙන් නිදහස් කරන්න ලබාදුන් WRO සහතිකය නැහැ. මේ සමාගම ඉන්දියාවෙන් ගෙන්වලා නැහැ. ඉන්දියාවේ ණය පහසුකම් යටතේ ගෙවීම් කරලා නැති නිසා ලංකාවේ මුදලින් සල්ලි ගෙවලා තියෙනවා. මේ ඖෂධ පරීක්ෂා කරලා භාරගන්න ඕන අය ඒක කරලා නැහැ. තාක්ෂණික වාර්තාවක් නැහැ. තාක්ෂණික ඇගයීම් කමිටුවේ ප්‍රමාණික දැනුම තියෙන විශේෂඥයෙක් පත් කරලා නැහැ.

“දැන් ඔය ඔක්කොමත් එක්ක, යම් කිසි කණ්ඩායමක් සැලසුම්සහගතව මේ ගනුදෙනුව කරලා තියෙනවා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ.”

“මේ ලක්ෂ 1,400 වංචනිකව ලබාගත් නිසා අදාළ ඖෂධ සැපයු ආයතනයේ හිමිකරු පළමු සැකකරු විදිහට අත්අඩංගුවට ගන්නවා. පස්සේ මේ මුදල් ගෙවන්න අනුමත කරපු වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂකවරයා, ඔහුට පල්ලෙහා සිටින මුදල් ගෙවූ ගණකාධිවරයෙක්, එහි සේවය කරන තවත් සහකාර අධ්‍යක්ෂවරයෙක්, ගබඩා පාලකවරයෙක්ව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවනවා.

“මේ පිරිස අත්අඩංගුවට ගන්නේ ඖෂධ සැපයු අදාළ සමාගමට රුපියල් ලක්ෂ 1,400ක් ලබා ගන්න සාමූහිකව උදව් කළා කියන නිමිත්ත යටතේ.”

“මේ විමර්ශනයේ දී, අත්අඩංගුවට ගත් පිරිස හෙළිකරනවා මේ සියල්ල තමන් ක්‍රියා කළේ එවක සිටි සෞඛ්‍ය ලේකම්වරයා ලබාදුන් නියෝග යටතේ කියලා,” ඔහු කියා සිටියේ ය.

leave a reply