Breaking News

කටුනායකට හෙට සිට ඇඳිරි නීතිය – සමාගම්වලට දිගටම වැඩ කිරීමට අවසර

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට උදෑසන 5 සිට යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය.

අද හඳුනාගත් කාන්තාව අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කළුතර මහ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වුවද කටුනායක වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවන්ගේ කටයුතු පවත්වාගෙන යා හැකි අතර ඒ සඳහා පැමිණිය යුතු සේවක සේවිකාවන් සිය රැකියා හැඳුනුම්පත ඇඳිරි නීතිය බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බව හමුදාපතිවරයා පවසා තිබේ.

කටුනායක වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ගේ ජිවිත ආරක්ෂාවට වඩා සමාගම්වල ලාභ කෙරෙහි ආණ්ඩුව ඇතුළු බලධාරීන්ගේ වැඩි අවධානයක් යොමුවන බව පැහැදිලි වේ. අනිත් අතින් කම්හල් තුළ කොතරම් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැද්දත් එයින් පලක් නොවන්නේ මෙම සේවක සේවිකාවන්ගේ නවාතැන්වල එවැනි කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසයි. මෙම නවාතැන්වලදී විවිධ ආයතනවල රැකියා කරන පිරිස් එකට මුසුවීමක් සිදුවේ. මේ හරහා එක් අයෙකුට රෝගය වැළඳුන හොත් විශාල පිරිසකට රෝගය පැතිරීමේ අවදානමක් පවතියි.

leave a reply