Breaking News

බාල ඖෂධවලට අවසර ලබාදුන් හැටි ගැන තවත් තොරතුරු එළියට

පසුගිය කාල සීමාවේදී මෙරටට ඖෂධ ගෙන ඒම සඳහා නිසි ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකොට හෝ තත්ත්ව පරීක්ෂණවලින් තොරව ඖෂධ ගෙන ඒම සඳහා සමාගම් 30 කට විවිධ අවස්ථාවල්වලදී අවසර ලබා දී ඇති බව නිකුත් වූ විගණන වාර්තාව හෙළි කර තිබෙනවා.

පසුගිය 2022 වර්ෂයේ සැප්තැම්බර් 16, ඔක්තෝම්බර් 21, නොවැම්බර් 18, දෙසැම්බර් 29 යන දිනවලදී රැස්වූ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලංකාවට ගෙන්වන ලද ඖෂධ සම්බන්ධයෙන් තමන් වග නොකියන බව සඳහන් කරමින් අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ගෙන ඇති බව දැන් හෙළි වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

ඔහු පවසන්නේ එකම සමාගමට අවස්ථා ගණනාවකදීම ලියාපදිංචි අත්හැරීමේ ලිපි නිකුත්කොට ඇති අතර ලියාපදිංචි අත්හැරීමේ ලිපි 307ක් පසුගිය කාලෙදි නිකුත් කර ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙන බවයි.

එසේම සාමාන්‍යයෙන් ඖෂධ ගෙන්වීමේදී රසායනික නාමයට පමණක් ලියාපදිංචි අත්හැරීමේ ලිපිය නිකුත් කරන නමුත් හිටපු විධායක අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂක මණ්ඩලය පෞද්ගලික සමාගම් හා පෞද්ගලික ඖෂධ සඳහාද ලියාපදිංචි අත්හැරීමේ ලිපි නිකුත්කොට ඇති බව එම වාර්තාව පෙන්වා දෙන බව ඔහු පවසනවා.

අඩු මිලට ඖෂධ නිකුත් කිරීම සඳහා ඖෂධ ගොනු ඉදිරිපත් කළ සමාගම් දහසකට ආසන්න ප්‍රමාණයක ගොනු ලියාපදිංචි නොකිරීම නිසා ඉහළ මිල ගණන් පවතින සමාගම් වෛද්‍ය සැපයුම් ඒකකයට ඖෂධ ලබාදීමේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවත් එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනු ලබනවා.

රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේදී අත්‍යවශ්‍ය නොවන ඖෂධ පවා අත්‍යවශ්‍ය ඖෂධ ලෙස පෙන්නුම් කරමින් මෙරටට ගෙන්වීමට හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු පිරිස කටයුතු කර ඇති බවද විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇති බවත් වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

leave a reply