ශ්‍රී ලංකාවෙන් පිටතට රැගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙනඒම සම්බන්ධයෙන් රජය ගෙනයන වැඩපිළිවෙලට තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු පවසා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඩොනල්ඩ් ලු අතර අද (07) ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ මහතා තවදුරටත් පවසා සිටියේ, වත්මන් රජය ගෙනයන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට අමරිකානු රජය සූදානම් බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත.
රට ආර්ථික අර්බුදයට මුහුණ දුන් අවධියේ අනාවරණය වූ ප්‍රධාන කාරණයක් වූ වේ මෙරට අපනයන සමාගම් රැසක් තමන් උපයාගත් මුදල් පිටරට වල නීතිවිරෝධී ලෙස සඟවා ඇති බවයි. ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් වූ ග්ලොබල් ඉන්ටර් ග්රිටි විසින් ඒ බව මුලින්ම හෙළිකරන ලදී. පසුව ලංකාවේ පාර්ලිමේන්තුවේදී ඒ සමයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කළ විජේදාස රාජපක්ෂ විසින් එසේ සඟවන ලද ප්‍රමාණය ඩොලර් බිලියන 52ක් පමණ බව පිළිගන්නා ලදී. ඊට අමතරව මෙරට දේශපාලන ඥයන් විසින් සඟවන ලද මුදල්ද පිටරට තැන්පත් කර ඇති බව කතාබහට ලක්විය.
මේ කාරණයත් සමඟ වාමාංශික, ප්රගතිශීලී කන්ඩායම් බොහොමයක් මේ මුදල් නැවත මෙරටට ගෙන්වන ලෙස ආණ්ඩුවලට බලපෑම් කරන ලදී. ඊට අමතරව 2022 අරගයේ දී ජනතාවගේ ප්‍රධාන සටන් පාඨයක් වූ වේ හොරාකාපු සල්ලි නැවත මෙරටට රැගෙන ආ යුතු බවයි.
දැන් ඒ සඳහා සහාය ලබාදීමට ඇමරිකාව සූදානමින් සිටියි. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙත කුමක්ද යන්න ජනතාව අවදියෙන් සිටිනු ඇත.