Breaking News

අයවැයෙන් අරමුදල් බෙදී ගිය හැටි

2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (නොවැම්බර් 13) රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.

මෙවර අයවැය යෝජනාවලින් ප්‍රධාන වියදම් සඳහා මුදල් බෙදී ගොස් ඇත්තේ කෙසේද? මේ ඒ පිළිබඳ සංසන්දනාත්මක සොයාබැලීමකි.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතේ දක්වා ඇති සම්පූර්ණ වියදම් ප්‍රමාණය ‍රුපියල් තුන්දහස් අටසිය හැට බිලියන අටසිය හතලිස් හය මිලියන හත්ලක්ෂ අසූඅට දහසකි.

පුනරාවර්තන වියදම් ඉහළට – ප්‍රාග්ධන වියදම් පහළට

අයවැයක් සකස් කිරීමේ දී ප්‍රධාන වියදම් වර්ග දෙක වන්නේ පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන එසේත් නැතිනම් මූල්‍යන වියදම් ය. පුනරාවර්තන වියදම් ලෙස හඳුන්වන්නේ රජයක එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය වියදම් ය. රටක අයවැයක පුනරාවර්තන වියදම් ලෙස අමාත්‍යාංශ පවත්වාගෙන යාමට යන වියදම, සේවක වැටුප් ගෙවීමට යන වියදම වැනි දේවල් හඳුනා ගත හැකියි.

ප්‍රාග්ධන වියදම් බොහෝ විට ආයෝජනයක ස්වරූපයක් ගනියි. යම් අමාත්‍යාංශයක් යටතේ එහි විෂයට අදාලව ගොඩනැගිලි ඉදිකිරීම්, උපකරණ මිල දී ගැනීම් ප්‍රාග්ධන වියදම් ලෙස හැඳින්විය හැකියි. ප්‍රාග්ධන වියදම් වල යෙදවීම් අදාල මූල්‍ය වර්ෂයට පමණක් නොව මූල්‍ය වර්ෂ කිහිපයකටම ප්‍රයෝජනවත් විය හැකියි.

සාමාන්‍යයෙන් අයවැයක් සාර්ථක අයවැයක් ලෙස සලකන්නේ එහි ඇති පුනරාවර්තන වියදම් අඩු වී ප්‍රාග්ධන වියදම් වැඩි වූ විටයි.

නමුත් ශ්‍රී ලංකාවේ අයවැයේ සෑමවිටම පුනරාවර්තන වියදම් ඉහළ අගයක් ගනියි. පසුගිය වසරට සාපේක්ෂව නව විසර්ජන පනත් කෙටුම්පතේ සම්පූර්ණ වියදම්වලට සාපේක්ෂව පුනරාවර්තන වියදම්වල ප්‍රතිශතය ඉහළ ගොස් ප්‍රාග්ධන වියදම්වල ප්‍රතිශතය පහළ ගොස් තිබේ.

මෙවර අයවැයේ රුපියල් බිලියන 2651ක් පුනරාවර්තන වියදම්වන අතර එය සම්පූර්ණ වියදම්වලින් 68.67%කි. 2023 අයවැයේ එය 66.55% ක් වූ අතර ඒ වසරේ වෙන් කර තිබුණේ රුපියල් බිලියන 2432කි.

2023 අයවැයේ ප්‍රාග්ධන වියදම් සම්පුර්ණ වියදම්වලින් 33.53%ක් එනම්, රුපියල් බිලියන 1225ක් වෙන් කර තිබූ අතර, එය 2024 විසර්ජන පනත් කෙටුම්පතේ රුපියල් බිලියන 1209ක් දක්වා අඩු වී ඇත. එම ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් 31.33%කි.

 

වැඩිම මුදලක් මුදල් අමාත්‍යංශයට

මුදල් හා ආර්ථික ස්ථායීකරණ අමාත්‍යාංශයට මෙවර වැඩිම මුදලක් වෙන් කර තිබේ.

එම මුදල රුපියල් බිලියන 723කි.

ප්‍රතිශතයක් වශයෙන් 18.74%කි. 2023 අයවැයෙන් මුදල් අමාත්‍යංශයට වෙන් ව තිබුණේ 16.8%කි. එනම් රුපියල් බිලියන 614කි.

 

ආරක්ෂාවට රුපියල් බිලියන 423ක්
මෙවර අයවැය යෝජනාවෙන් ආරක්ෂාව සඳහා රුපියල් 423, 725, 000, 000ක් (රුපියල් බිලියන 423ක්) වෙන් කර තිබේ. එය සමස්ත වියදම්වලින් 10.97%කි.

පසුගිය වසරට සාපේක්ෂව ආරක්ෂාවට වෙන් කර ඇති මුදල් වල ප්‍රතිශතය අඩු වීම විශේෂ සිදුවීමකි.

පසුගිය වසරේ, එනම් 2023 අයවැයෙ 11.22%ක මුදලක් වෙන් කර තිබුණේ ආරක්ෂක අමාත්‍යංශය වෙනුවෙන් ය. ඒ රුපියල් බිලියන හාරසිය දහයකි. කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර රුපියල් බිලියන 13ක් එකතු වී තිබේ.

 

සෞඛ්‍යට වැඩි වෙයි. අධ්‍යාපනයට අඩු වෙයි
අයවැයෙන් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය වෙනුවෙන් වෙන් වන මුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අවධානය දක්වන අතර, එයට හේතුව ශ්‍රී ලංකාව තුළ තවමත් නිදහස් සෞඛ්‍ය සේවයක් හා නිදහස් අධ්‍යාපනයක් පැවතීමයි.

මෙවර සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කර ඇති මුදලේ සැලකිය යුතු වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි. 2023 අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් වී තිබුණු මුදල ප්‍රතිශතයක් වශයෙන් 8.81%කි. මෙවර එය 10.63%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 410ක් වෙන් කිරීමට කටයුතු කර තිබේ. පසුගිය වසරේ වෙන් කර තිබුණේ රුපියල් බිලියන 322කි.

සෞඛ්‍ය සඳහා ප්‍රතිපාදන එලෙස වැඩිවන අතරතුරේ අධ්‍යාපනය සඳහා වෙන් වන මුදල් ප්‍රතිශතය අඩු වී ඇති බව දැකිය හැකියි.

අධ්‍යාපනය සඳහා 2023 දී සම්පූර්ණ අයවැයෙන් 6.35%ක් එනම් රුපියල් බිලියන 232ක් වෙන් කර තිබූ අතර මෙවර එය බිලියන 237ක් දක්වා වැඩි වී තිබේ. නමුත් ප්‍රතිශතයක් ලෙස සලකා බැලූ විට එය මුලු වියදම්වලින් 6.14%කි.

 

ක්‍රීඩාවටත් අඩුවෙන්

ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සිය පුහුණුවීම් සිදු කර ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමු වීමත් සමඟ රජයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා වෙන් කර මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට සාකච්ඡාවක් ඇති විය.

දශක දෙකකට පමණ පසු ආසියානු ක්‍රිඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගත් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව ඉගෙනුම ලබන වළල එස්. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සඳහා ද මෙතෙක් පහසුකම් සහිත ක්‍රීඩා පිටයක් නොමැති වීම සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල විය.

ජනාධිපතිවරයා ද ඇය සහ ඇගේ පුහුණුකරු ඇතුළු පිරිසක් පසුගිය දිනවල දී හමු වී ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන බවට පොරොන්දු විය.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතෙන් ඒ අනුව ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 10.5ක් වෙන් කර ඇත්තේ පසුගිය වසරේ රුපියල් බිලියන 10.2ක් වෙන් කර තිබූ පසුබිමකයි.

කෙසේවෙතත් ප්‍රතිශතයක් ලෙස සැලකූ විට පසුගිය වසරේ අයවැයෙන් 0.28%ක් වෙන්කර තිබුණ ද මෙහි වෙන් ව ඇත්තේ 0.27%කි. ඒ අනුව ප්‍රතිශතයක් වශයෙන් බැලූ කළ ප්‍රතිපාදන අඩු වී ඇත.

 

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයටත් ප්‍රතිපාදන වැඩි වෙයි

ප්‍රවාහන හා මහා මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන වල සුළු වර්ධනයක් නිරීක්ෂණය කළ හැකියි. පසුගිය වසරට වඩා මෙවර මෙම විෂයට අදාලව ප්‍රාග්ධන වියදම් වැඩි කර තිබීම විශේෂත්වයකි.

පසුගිය වසරේ රුපියල් බිලියන 372.6ක් වෙන්ව තිබූ අතර එය මේ වසරේ බිලියන 403.6ක් දක්වා වර්ධනය වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 10.46%කි. 2023 අයවැයේ එය 10.2%කි.

2023 අයවැයේ වියදම් රුපියල් බිලියන 3654ක් වූ අතර මෙවර එය බිලියන 3860ක් දක්වා වැඩි වී ඇත.

එනම් වියදම් රුපියල් බිලියන 206.5කින් ඉහළ ගොස් ඇත. 2023 වසරට සාපේක්ෂව 2024 සඳහා වියදම් 5.65%කින් ඒ අනුව ඉහළ ගොස් තිබේ.

මුලාශ්‍රය – BBC

 

leave a reply