Breaking News

උදයංගගේ ‘ට්‍රැවල් බබල්’ ව්‍යාපෘතියේ සංචාරකයන් ලංකාවට – සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනයටත් ලෑස්තියි

‘ට්‍රැවල් බබල්’ ක්‍රමය යටතේ පළමු නියමු ව්‍යාපෘති ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද(28) මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මාස 09 කට පසුව පසුගිය 26 වැනිදා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට රුසියානු සංචාරකයන් 200ක් රැගෙන එන්නට නියමිත වූ ගුවන් යානය, යුරෝපයේ නව වෛරස ප්‍රභේදය හේතුවෙන් හදිසියේ අවලංගු කිරීමට මෙරට බලධාරින් පියවර ගත්තද අද දින ගුවන් ගමන නවතා දැමුණේ නැත.

අද දිනයේ මෙම සංචාරක පිරිස මෙරටට ගෙන්වීමට මුල්වී ඇත්තේ 26 වැනිදා රුසියානු ව්‍යාපාරික පිරිසක් මෙරටට සංචාරය සඳහා කැඳවාගෙන එන්නට ආරම්භ කළ වැඩසටහනේම දෙවන පියවර වහයෙනි. උදයංග වීරතුංගගේ මැදිහත්වීමෙන් මෙරටට රුසියානු සංචාරකයන් 14,000ක් රැගෙන ඒමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. එහිදී උදයංග වීරතුංගගේ නියෝජනය යටතේ මෙම සංචාරක ව්‍යාපෘතිය අතිශය ලාභදායි ව්‍යාපාරික කටයුත්තක් බවට පත්ව ඇත. මේ අතර සංචාරකයන් ගෙන ඒමේ ගුවන් යානාවලට ගුවන් තොටුපළ බදුවලින් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද උදයංග වීරතුංගගේ ගුවන් යානා සඳහා සහනයක් ලෙස බවද දැනගන්නට ඇත. කුලි පදනම මත සංචාරකයන් කැඳවාගෙන එන්නට ලබාගත් ස්කයි අප් ගුවන් සේවයේ (Sky-Up Airine ) PQ555 දරන ගුවන් යානය අද පස්වරු 2.00 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

එම යානය තුළ නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනෙකු සිටින අතර , මෙම සංචාරකයන් පිරිස ගුවන් තොටුපළ බැස්සවීමෙන් පසුව යළිත් අද සවස ආපසු පිටත්ව යාමට නියමිතය. හිටපු රුසියානු තානාපති ලෙස උදයංග වීරතුංගගේ ව්‍යාපෘතිය යටතේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන මෙම ‘නියමු ව්‍යාපෘතිය’ යටතේ ගුවන් යානා 13 ක් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගෙන ඒමට නියමිතය.

සෞඛ්‍ය මාර්ගෝපදේශත් වෙනස් කරන්න ලෑස්තියි

අද දින සිට ආරම්භ කෙරුණු නියමු සංචාරක ව්‍යාපෘතිය යටතේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය බෝනොවන රෝග හා කොවිඩ් පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වෙන බව වාර්තා වේ. මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන්නේ බැසිල් රාජපක්ෂ සහ ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් 09 වනදා ගුවන් තොටුපොළ විවෘත කිරීම සහ සංචාරකයන් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී බව සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා යොමුකළ ලිපියක දැක්වේ.

එම ලිපියට අනුව සංචාරකයන් සඳහා නිරෝධායන කාලසීමාව දින 14 සිට දින 07 දක්වා අඩු කිරීමට තීරණය වී තිබෙන එම නිරෝධායන දින 07ක කාලය තුළ සුදුසු ක්‍රමවේදයක් හරහා සංචාරකයන්ට සාප්පු සවාරියේ යෙදීමට සහ විවිධ ස්ථාන නැරඹීමට පහසුකම් සැපයීමට තීරණය වී තිබේ. එසේම සංචාරකයන් මෙරටට පැමිණි අවස්ථාවේම එනම් ගුවන් තොටුපොළේ දී පීසීආර් පරීක්ෂණ සිදු නොකර හෝටල් වෙත පැමිණි පසු එම පරීක්ෂණ සිදු කිරීමටද තීරණය වී තිබේ.

මෙම තීරණයට ගැලපෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පනහකට අධික සංඛ්‍යාවක් සංශෝධනය කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරු, වයිරස් විශේෂඥයන් සහ මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සමග රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සාකච්ඡා කර තිබේ.

සාකච්ඡාවෙන් පසු සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීම සඳහා කමිටු 12ක් පත්කර ඇත.

මෙහිදී ආණ්ඩුව සංචාරක ආර්ථික වාසිය සලකා සංචාරකයන් සඳහා මෙවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට උත්සාහ කරනු දක්නට ලැබේ. ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටින්නේද කොවිඩ් නීති රීති දැඩි කිරීමට නොහැකිව ඇත්තේ ආර්ථිකය අර්බුදයකට යන නිසා බවයි. රටක ආණ්ඩුව ආර්ථිකය පවත්වා ගැනීම ගැන අවධානය යොමුකළ යුතුය. නමුත් එය රටේ ජනතාවගේ ජීවිත අවදානමේ නොදමන නිශ්චිත වැඩපිළිවෙලක් විය යුතුය. එම තීරණ ගත යුත්තේ දේශපාලනඥයන්හිතෙන හිතෙන පරිදිද නොවේ. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදියි.

බ්‍රිතාන්‍යයේ ඇති නව කොවිඩ් ප්‍රබේදය රටට පැමිණීමේ අනතුර

එංගලන්තයෙන් වාර්තා වන කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය ශ්‍රී ලංකාවෙන්ද වාර්තාවීමේ ප්‍රවණතාවයක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පසුගියදා පවසා තිබුණි. ඔහු පැවසූ ආකාරයට එය පැමිණිය හැක්කේ ගුවන් තොටුපළ සහ වරාය හරහායි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පැවසුවේ,
“නව කොවිඩ් ප්‍රභේදය අපේ රට තුළටත් පැමිණීමේ අවදානමක් තියෙනවා. දිගින් දිගටම අපි මේ ගැන විමසිලිමත් විය යුතුයි. එංගලන්තයේ පැතිරෙන මේ ප්‍රභේදය අපේ රටට පැමිණෙනවා නම් පැමිණෙන්නේ ගුවන්තොටුපොළකින් හෝ වරායකින්. ඒ නිසා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර අවසන් වනතුරු ඔවුන්ව මනාව වෙන්කර තැබීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නියමිත පරිදි අනුගමනය කරන්න කියලයි.”

leave a reply