කඩා වැටුණු ගොඩනැගිල්ල හදන්න අනුමැතිය දුන්න අය ගැන පරීක්ෂණ කරනවලු!

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි කඩා වැටුණු මහල් 5 කින් යුත් ගොඩනැගිල්ල ඉදිකිරීමට අවසර ලබාදුන් ලේඛණ සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ. ඒ අනුව අදාළ ඉදිකිරීම සඳහා අවසර ලබාදුන් මහනුවර නගර සභාව, ජාතික ගොඩනැගිලි සංවිධානය සහ ඉදිකිරීම්වලට සහාය දුන් ඉංජිනේරුවරුන් නිකුත් කළ ලේඛණ පරීක්‍ෂා කිරීමට මහනුවර පොලිස් මූලස්ථානය කටයුතු කරන බව පැවසේ.

මෙම පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර තිබී ඇත්තේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදෙන නිර්දේශයන්ට අනුකූලව නොවන බවත්, එහි අත්තිවාරම නිසි ප්‍රමිතියට ඉදිකර නොමැති බවත් සිදුකළ පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.

මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ කඳු බෑවුම් සහිත අස්ථාවර භූමියක බැවින් එවැනි ස්ථානවල ගොඩනැගිලි ඉදිකළ යුත්තේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන නිර්දේශ හා ක්‍රමවේදයන් අනුව බවත් පැවසේ. ගොඩනැගිල්ල කඩාවැටීමෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ද ඒ සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකර තිබේ.

මෙම ගොඩනැගිල්ල අසල නිවෙසක් මතට කඩා වැටීමෙන් එම නිවසේ වාසය කළ කාන්තාවක් පිරිමියෙක් සහ කුඩා දරුවෙක් මියගොස් තිබුණි. තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත්ව තිබේ.

මෙම භූමිය තවදුරටත් අනතුරුදායක බැවින් ඒ ආසන්න තවත් ගොඩනැගිලි කිහිපයක පදිංචි කරුවන්ට එම ස්ථානවලින් තාවකාලිකව ඉවත් වන ලෙස ද දැනුම් දී තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ උදය ද සිල්වාගෙන් මේ සම්බන්ධව කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ මෙහි අත්තිවාරම භූමියට ගැළපෙන නිසි ප්‍රමිතිය අනුව ඉදිකර නොමැති බවයි. ඒ හේතුවෙන් අත්තිවාරම බිඳී ගොස් ගොඩනැගිල්ල කඩා වැටී ඇතැයි ඔහු සඳහන් කර ඇත.

මේ අතර කඩා වැටුණු පස් මහල් ගොඩනැගිල්ලේ සිටි පිරිසක් අනතුර සිදුවීමට පෙර අලූයම් කාලයේදීම එම ගොඩනැගිල්ලෙන් පිටව ගොස් ඇති බවටද වාර්තා පළ වෙමින් තිබේ. ඔහු මහනුවර දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුර දැරූ පුද්ගලයෙකු බවද වාර්තාවල දැක්වේ. ඊයේ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය අද දිනයේ අධිකරණයටද කරුණු වාර්තා කිරීමට නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...