Breaking News

වැඩ කරන ජනතාව වැටුප් ඉල්ලන්න ඕනා තව පෝය කීයකට පස්සෙද?

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වර්ජනය හිසරදයක් වී ඇත්තේ ආණ්ඩුවට පමණක් නොවන බව පෙනේ. ජාතික ජනබලවේගයේ ලාල් කාන්තට ද වෘත්තීය අරගල රුස්සන්නේ නැති තැනට පත්ව තිබේ.

ආණ්ඩුව වර්ජනය නොතකා වැඩට පැමිණි සේවකයන්ට වැටුප් වර්ධක දෙන බව කියයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට සම්බන්ධව නොවී ජූලි 8, 9 දෙදිනම සේවයට වාර්තා කළ විධායක සේවා ගණයට අයත් නොවන සියලු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබා දීමටත්, ඔවුන් සියලුම දෙනා වෙත ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කිරීමටත්, ඊට අදාළ චක්‍රලේඛ නිකුත් කිරීමටත් කටයුතු කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

එසේම මිට දින දෙකකට පෙර රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ජනතාවට සහන දීම සඳහා මුදල් වැයකර ඇති බැවින් වැටුප් වැඩිකිරීමට නොහැකි බවයි.

එසේම වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත් දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පැවසීය.

ලාල් කාන්ත කියන්නේ දැන් අවශ්‍ය මැතිවරණ භුමියේ සටනක් බවයි. වෘත්තීය සටන් අනවශ්‍ය බව ඔහු කියයි. ඔහු කියන්නේ අඛණ්ඩ වර්ජන හරහා ජනතාව අසතුටට පත්වීමේ අවදානමක් ඇති බවයි.

ජාතික ජන බලවේගයේ ලාල් කාන්තලා මේ මොහොතේ සිටින්නේ මැතිවරණ සිහිනය දකිමිනි. මැතිවරණ ජයග්‍රහණය කර තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීම ගැන සිහින දකිමින් විය යුතුය. ඔවුන්ට ඉන් එහා සිදුවෙන වෙන කිසිදු දෙයක් අදාළ නැත. ඔවුන්ට ඒවා පෙනෙන්නේ අනවශ්‍ය කරදර මෙනි.

මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට වැඩි ප්‍රමාණයක් ඊයේ (8දා) හා හෙට (09දා) දෙදින තුළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණි.

අමාත්‍යාංශ, රෝහල්, පාසල්, තැපැල්, ග්‍රාම නිලධාරී, සමෘද්ධි, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු සාමාන්‍ය ජන ජීවිතයට බලපාන රාජ්‍ය ආයතන බහුතරයක සේවාවන් වැඩ වර්ජන කාලය තුළ අඩාල වී තිබුණි.

පසුගිය කාලය පුරා මහ බැංකු සේවකයන්ගේ සිට විධායක නිලධාරීන් දක්වා වැටුප් හා දීමනා වැඩිකර ඇති නමුත් රාජ්‍ය සේවයේ පහළ සේවාවන්ට වැටුප් හෝ දීමනාව වැඩිකර නැති බැවින් දෙදින වැඩ වර්ජනය කැඳවූ බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ධම්මික මුණසිංහ පැවැසීය.

තැපැල්, ග්‍රාම නිලධාරි, කළමනාකරණ සේවා නිලධාරි, සංවර්ධන නිලධාරි, කාර්යාල කාර්ය සහායක නිලධාරි, සමෘද්ධි නිලධාරි, සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරි ඇතුළු රාජ්‍ය සේවය නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කළ බවද මුණසිංහ ප්‍රකාශ කර තිබේ.

ගුරු සහ විදුහල්පතිවරු හෙට දින අසනීප නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමඟ එක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවැසීය.

පාසල් හා විද්‍යා පීඨ අනධ්‍යයන කාර්ය මණ්ඩල අසනීප නිවාඩු වාර්තා කරමින් මෙම දෙදින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කරන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පැවැසීය.

අනධ්‍යයන කාර්ය මණ්ඩල මුහුණ දී ඇති වැටුප් දීමනා ඇතුළු ගැටලුවලට අධ්‍යාපන අමාත්‍යාංශය සාධනීය ප්‍රතිචාරයක් නොදේනම් අනධ්‍යයන සේවකයෝ පාසල් හා විද්‍යාපීඨ ආරක්ෂක කටයුතුවලින්ද ඉවත්වන බවද ප්‍රධාන ලේකම්වරයා කීය. එසේම රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවකයෝද දෙදින වැඩ වර්ජනයට සහාය පළ කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව පවසා තිබුණි.

leave a reply