Breaking News

අහිතකර කාලගුණය මැද ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා පද්ධති 11ක් අක්‍රියයි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර ඇති තත්ත්වයක් තුළ එම දෙපාර්තමේන්තුව මගින් ස්ථාපිතකොට ඇති ස්වයංක්‍රිය, කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ක්‍රියාවිරහිතව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබේ.

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනයන් ද නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කලුතර, නුවර, කෑගල්ල, කුරුණෑගල, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව සඳහා සඳහා හෙට(21) මධ්‍යහන 12.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එසේම නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය සම්බන්ධ තොරතුරු හරියාකාරව ජනතාව වෙත ලබා දීම වැදගත් වේ.

මහඉලුප්පල්ලම, වාගොල්ල, සෙවණගල, පොළොන්නරුව, අරලගන්විල, බලංගොඩ, සිරිකදුර, අගුණුකොළපැළැස්ස, දෙනියාය, තවලම, කුඩව යන ස්වයංක්‍රිය කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 11ක් බැටරිවල ආයුකාලය අවසන්විම නිසා ඉකුත් වර්ෂයේ (2023) ජුලි මස 11වැනිදින වනවිට ක්‍රියාවිරහිතව පැවති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙකි කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 2019 වර්ෂයේ සිට 2022 දක්වා පිළිවෙළින් නියමිත පරිදි නඩත්තු නොකළ වාරගණන සියයට 69ක්,සියයට 93ක්, සියයට 92ක් හා සියයට 85ක් පැවතුණි.

එමෙන්ම 2019 හා 2021 අතර කාලසිමාව තුල ස්වයංක්‍රියා කාලගුණ මධ්‍යස්ථාන වල කිසිදු නඩත්තු කිරිමක් සිදුනොකළ අවස්ථා 47ක් නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙකි උපකරණ පද්ධති අමතර කොටස් සදහා 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුල රුපියල් මිලියන 123ක වියදමක් දරා තිබුණි.

මෙකි ස්වයංක්‍රිය, කාලගුණ විද්‍යා පද්ධති මගින් උෂ්ණත්වය, අර්ද්‍රතාවය, වාර්ෂාපතනය, සුළගේ වේගය, හා දිශාව, පිඩනය, සුර්ය විකිරණ ප්‍රමාණය මනිනු ලබයි.

leave a reply