Breaking News

කේරළය සහ බටහිර බෙංගාලය; නව-ලිබරල්වාදය සහ වමේ උපාය මාර්ග ගැන

සුමිත් චාමින්ද

කේරළයේ දශක හතරක නොබිඳුණු වාර්තාවක් තිබිණ. ඒ එකම පක්ෂයක් පිට පිට දෙවරක් ප්‍රාන්ත මැතිවරණ ජය ගන්නේ නැත යන්නයි. පසුගියදා ඒ වාර්තාව බිඳ දමනු ලැබීය. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය (මාක්ස්වාදී) -CPI(M)- කේරළයේ නැවතත් බලයට පත් විය. ඒ 2016 වසරේදී දිනා ගත් ආසන 91 ඉක්මවා ගොස් ආසන 99ක් දිනා ගනිමිනි.

නමුත්, බටහිර බෙංගාලයේ CPI(M) දරුණු පරාජයකට ලක් විය. එසේ වූයේ මන්ද යන්න ඉන්දීය ප්‍රාන්ත දේශපාලනය හදාරා ඇති කිසිවෙකුට වටහා ගැනීමට අසීරු කාරණයක් නොවේ. සුවිශාල ඉන්දු උපමහාද්වීපය තුළ එකම පක්ෂයක් වුවත් වෙනස් ප්‍රාන්තවලදී හැසිරෙන්නේ කිසියම් සාපේක්ෂ ස්වායත්තතාවක් සහිතවය. එහෙයින් කිසියම් පක්ෂයක් කිසියම් ප්‍රාන්තයක් තුළ හැසිරෙන ආකාරය වටහාගත යුත්තේ එම ප්‍රාන්තයට අදාළ සුවිශේෂතා සැලකිල්ලට ගනිමින්ය.
CPI(M) බටහිර බෙංගාලයේ වසර 34ක් තිස්සේ අඛණ්ඩව බලයේ සිටියේය. එබැවින් එය එම ප්‍රාන්තයේ දීර්ඝකාලීන අනුග්‍රාහක-සේවාදායක සබඳතා ජාලයක් ගොඩ නැගීමට සමත් විය. එම ප්‍රාන්තයේ එක් පරම්පරාවක් 2011 වර්ෂය වනතුරුම දැන සිටි එකම අනභියෝගී ප්‍රාන්ත පාලක පක්ෂය වූයේ CPI(M) ය. පරාජයට පත් වූ පසුව නැවත සංවිධානය වීමේ අත්දැකීම් බටහිර බෙංගාලයේ කොමියුනිස්ට් පක්ෂයට තිබුණේ නැත. නමුත්, කේරළයේ කාලාන්තරයක් පුරා පැවතියේ ඉන්දීය කොංග්‍රසය සහ CPI(M) අතර මාරුවෙන් මාරුවට බලය හුවමාරු වූ ඉතිහාසයකි. පරාජය හමුවේ නැවත සංවිධානය වී ජයග්‍රහණය කරා යාමේ අත්දැකීම් කේරළයේ කොමියුනිස්ට්වාදීන් සතුව තිබේ.

නමුත්, වඩා වැදගත් කාරණය එය නොවේ. 2007 වසරේදී බටහිර බෙංගාලයේ පාලක CPI(M) ආණ්ඩුව නන්දිග්‍රාම්හි අක්කර දස දහසක ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගෙන විශේෂ ආර්ථික කළාපයක් සාදන්නට උත්සාහ කළේය. ඊට එරෙහිව පැන නැගුණු විශාල ජනතා උද්ඝෝෂණය ලෙයින් යකඩින් මර්දනය කෙරිණ. එකල නව-ලිබරල් සම්මුතිය සමග ලොව බොහෝ තැන්වල සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සම්මුතිගත වූ බව අපි දනිමු. බටහිර බෙංගාලයේ සිදු වූයේද එවැන්නකි. නන්දිග්‍රාම් ව්‍යාපෘතිය වනාහී ඩේවිඩ් හාවී “අසන්තකකරණය මගින් කරන සමුච්චනය” යැයි හඳුන්වන නව-ලිබරල් පිළිවෙතට නිදසුනක් ලෙස ගත හැකිය.

මුලින් ඉන්දීය කොංග්‍රසය සමග වැඩ කොට තිබෙන සහ පසුව බී.ජේ.පීය සමගත් සංධානගත වී ඇති මමතා බෙනර්ජී නව දේශපාලන විකල්පයක් ලෙස ඉදිරියට එන්නේ ඉහත කී නන්දිග්‍රාම් සංසිද්ධියට පසුවය. 2011 දී බටහිර බෙංගාලයේ CPI(M) හි බලය බිඳ දමන්නේ ඇයගේ ත්‍රිනමූල් කොංග්‍රසයයි. ඉන්පසුව, 2016දී බටහිර බෙංගාලයේ CPI(M) පක්ෂය ඉන්දීය කොංග්‍රසය සමග සන්ධානගත වීමට තීරණය කළේය. එයින් එය තව තවත් වල පල්ලට ගියේය. නමුත්, කේරළයේ CPI(M) තනිව තරඟ කරන්නට තීරණය කළේය. මෙවරද එය ජයග්‍රහණය කළේ වමේ පෙරමුණක් ලෙස තනිව ඉදිරිපත් වෙමිනි.

කේරළයේ CPI(M) හි ජයග්‍රහණයට බලපෑ සාධක ගණනාවක් තිබේ. නාම්බෝදිරිපාද්ගේ සහ කේ.එන්. රාජ්ගේ ආභාසය සහිත කේරළ සංවර්ධන මොඩලය, ඒ හා සම්බන්ධ රාජ්‍ය සුභසාධක ප්‍රතිපත්තීන් සහ සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලවල් සහ වසංගත පාලනය සම්බන්ධ යහපත් වාර්තාව, පිනරායි විජයන්ගේ නායකත්වය යනාදී කාරණා ගණනාවක් මේ ජයග්‍රහණය පසුපස තිබේ.

කෙසේ වුවත්, විජයන්ගේ කේරළ CPI(M) ද නව-ලිබරල්වාදය දෙසට හැරීම පිළිබඳ විවේචන ඉන්දීය වාමාංශික ධාරාවන් තුළින්ම ඉදිරිපත්ව තිබේ. ඔහු හාවර්ඩ් ආර්ථික විද්‍යාඥවරියක් වන ගීතා ගෝපිනාත්ව තම ආර්ථික උපදේශිකාවක් ලෙස පත් කරගැනීම ගැන ආන්දෝලනයක් ඇති විය. ඔහුගේ ඉඩම් ප්‍රතිපත්තීන් ගැනද වාමාංශික විවේචන තිබේ. නමුත්, 2007දී බටහිර බෙංගාලයේ ඇති වූ නන්දිග්‍රාම් විරෝධය වැන්නකට කේරළයේ CPI(M) මුහුණ දුන්නේ නැත. නව-ලිබරල්වාදී රාහුල් ගාන්ධිගේ ඉන්දීය කොංග්‍රසය බටහිර බෙංගාලයේදී CPI(M) හි සන්ධානකරුවෙකි. නමුත්, කේරළයේදී එය CPI(M) හි ප්‍රධාන තරඟකරුවාය.

අන් සියල්ලටමත් වඩා සමාජ සුභසාධනය සහ පොදු සහභාගීත්වය සහිත නව සංවර්ධන මොඩලයක් අත්හදා බැලීමේ වාර්තාව කේරළයේ CPI(M) සතුය. (එහි අඩුපාඩු සහ ගැටළු අපට වෙනම සාකච්ජා කළ හැකිය; නමුත් වම පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ දේශපාලනයක සේම නව ක්‍රමයක් නිර්මාණය කිරීමේ පුනර්ජනනීය දේශපාලනයකද නිරත විය යුතුය යන ග්‍රාම්ස්චියානු ඉගැන්වීම අනුව ගත් කල, කේරළයෙන් උගත හැකි පාඩම් තිබේ).

අවසන් වශයෙන්, ශන්තාල් මූෆ් යුරෝපය තුළ නිරීක්ෂණය කළ ප්‍රවණතාවකට සමාන්තර දෙයක් සමකාලීන ඉන්දියාව තුළද නිරීක්ෂණය කළ හැකිය. එනම්, සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නව-ලිබරල් සම්මුතිවාදය කරා හැරීමේ ප්‍රතිපලයක් ලෙස අන්ත-දක්ෂිණාංශික ජනතාවාදී කණ්ඩායම් දේශපාලන අවකාශයට කඩා වැදීමයි. බී.ජේ.පීයේ හින්දුත්වවාදයේ නැගීම එවැන්නකි. නමුත්, අඩු තරමින්, බටහිර බෙංගාලයේ සාම්ප්‍රදායික වම ආර්ථික දකුණ දෙසට හැරීමේදී හිස් වූ දේශපාලන අවකාශය අත්පත් කර ගන්නට හින්දු අන්තවාදයට බැරි විය. එය මම්තා බෙනර්ජීගේ දේශපාලන ආගමනයේ සාධනීය ප්‍රතිපලයකි. බටහිර බෙංගාලයේ 30%ක් පමණ වන මුස්ලිම් ජාතිකයින් සහාය දක්වන්නේ ඇයගේ ත්‍රිනමූල කොංග්‍රයටය. ඇය ඉදිරිපත් කරමින් තිබෙන ඇතැම් ප්‍රතිසංස්කරණ යෝජනාවල පැහැදිලි සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී අන්තර්ගතයක් තිබේ. අඩු තරමින් සියළු ඉන්දීය ජාතිකයින්ට කොරෝනා වැක්සීනය නොමිළේ ලබා දෙන ලෙස ඇය හඬ නගයි.

මේ අරුතින් කේරළයේ සේම බටහිර බෙංගාලයේද මැතිවරණ ප්‍රතිපල (දෙයාකාරයකින්) නව-ලිබරල් දකුණට සේම අන්ත-දක්ෂිණාංශික වර්ගවාදී දකුණටද නරක පුවත්ය; පොදුවේ වමට සුබ පුවත්ය; වම-දකුණ බෙදීම තවමත් වලංගු වන්නේ මන්දැයි මූෆ් තම නවතම කෘතියේදී කළ පැහැදිලි කිරීම සනාථ කරන පුවත්ය.
(මෙය මැතිවරණ ප්‍රතිපල නිකුත් වූ පසුව තරමක් හදිසියේ ලියූ සටහනකි. ලංකාවේ අපට වඩාත් තීරණාත්මකව බලපාන තමිල්නාඩුවේ ප්‍රතිපලය ගැන ඉදිරියේදී ලියන්නට අදහස් කරමි).

  • සුමිත් චාමින්ද
    03/05/2021

leave a reply