වර්ෂ 1981දී කොතලාවල ආයතනය ආරම්භ වන්නේ මෙරට සන්නද්ධ හමුදා සඳහා විධිමත් අධ්‍යාපනයක් ලබා දීමටයි.
එම ආයතනයේ වෛද්‍ය පීඨය 2009 ආරම්භ කරනේද සන්නද්ධ හමුදා සඳහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් නිර්මාණය කරගැනීමටයි. එදා සිට 2024 දක්වා කොතලාවල වෛද්‍ය පීඨය විවෘත වූයේ කැඩෙට් නිලධාරීන් සඳහාය. නමුත් පසුගිය 2024 වසරේ අප්‍රේල් 09 වැනිදා රනිල් වික්‍රමසිංහ ජනපති විසින් ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙන්, කොතලාවල ආයතනය හරහා වෛද්‍ය උපාධිය සිවිල් ශිෂ්‍යන්ට මුදලට ලබා දීමට කැබිනට් තීරණයක් ප්‍රකාශයට පත් කරන ලදී.
ඉන් අනතුරුව කොතලාවල ආයතනය මගින් ලක්ෂ 125ක මුදලට එහි පළමු කණ්ඩායම බඳවා ගැනිණි. එම බඳවා ගැනීමේද පාරදෘශ්‍යභාවය පිළිබඳ ගැටලු පැවතුණු අතර ඉන් මාස දෙකක් ඉක්මවද්දී එහි දෙවන කණ්ඩායමද ලක්ෂ 150 මුදලට බඳවා ගන්නා ලදී. එකී ශිෂ්‍ය කණ්ඩායම් මේ වන එහි අධ්‍යන කටයුතු හදාරමින් සිටියි.
ඒ වන විටත් Lyceum, NSBM ආදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැටලුවට අභියෝගකරමින් සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, අප්‍රේල් 04 වැනිදා ආ කැබිනට් තීරණයෙන් පසු ආයතනික විරෝධතා ආරම්භ කළ අතර මැයි 03 වැනිදා කොළඹ නගර ශාලාව අසල පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයට රට පුරා වෛද්‍ය පීඨ වල ශිෂ්‍යයෝ සහභාගී වූහ.
එහිදී ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාර හමුවේ සිසු සිසුවියන් කිහිපදෙනෙකුට තුවාලද සිදු විය.
කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීමද, රනිල්-රාජපක්ෂ රජය විසින් ආරම්භ කර තිබූ අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ තවත් දිගුවක් ලෙස හඳුනාගත් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරයේ ප්‍රගතිශීලි බලවේග හා වෘත්තීය සමිති සමග එක්වෙමින් අවස්ථා ගණනාවකදී සිය අඛණ්ඩ විරෝධය එවක රජයට දක්වන ලදී.
මහමග විරෝධතා, සත්‍යග්‍රහ, ජනතා දැනුම්වත් කිරීම්, බැනර්-පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම් ආදී සෑම සටන් මුහුණුවරක් තුළම මෙරට සරසවි ශිෂ්‍යන්ගේ අප්‍රතිහත ධෛර්ය සහ අපමණ කැපකිරීම් ගැබ් විය.
මැතිවරණ කාලසීමාව තුළ පවා කොතලාවල වෙද උපාධි විකිණීමට එරෙහි සටන් පාඨය අත් නොහැරි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපතිවරණ අපේක්ෂයන් කැඳවමින් කොතලාවල ගැටලුව මීළඟට පත්වන රජයක් විසින් විසඳිය යුතුම ගැටලුවක් බව අවධාරණය කරන ලදී.
නව ජනපති යටතේ පිහිටවූ භාරකාර ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිනිය වෙත වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව යොමු කළ යෝජනාවලියේ ප්‍රමුඛම යෝජනාව වූයේ කොතලාවල වෙද උපාධි විකිණීම නවතා දැමීමයි. එම යෝජනාවම පුනරුද රජය පත් වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයාටද ඉදිරිපත් කළ අතර මෙම ගැටලුවේ ගැඹුර පිළිබඳවද පෙන්වා දෙන ලදී. නිදසුනක් ලෙස වසරක් පාසා ඉහළ යන වෛද්‍ය උපාධිධාරීන් සංඛ්‍යාවට සාපේක්ෂව රැකියා අවස්ථා සීමාසහිත වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි අර්බුදයකට මුහුණ පායි. කොතලාවල ආයතනය හරහාද මෙසේ අත්තනෝමතික ලෙස වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමෙන් මෙම අර්බුදය තවත් තීව්‍ර වේ.
කොතලාවල වෛද්‍ය පීඨයට සිදු කළ ශිෂ්‍ය ඇතුළත් කරගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද එම පාලනාධිකාරියෙන් ප්‍රශ්න කළ අතර එම ගැටලුද තවමත් සම්පූර්ණයෙන් විසඳී නැත.
මෙවර කොතලාවල ආයතනය විසින් ශිෂ්‍ය ඇතුළත් කර ගැනීම් සඳහා අයදුම්පත් කැඳවීමට පෙර වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වත්මන් රජයට සිය විරෝධතාවය අඛණ්ඩව දක්වන ලදී.
එවන් පසුබිමකදී ඊයේ දිනයේදී කොතලාවල ආයතනය සිය නිල වෙබ් අඩවිය හරහා වෛද්‍ය උපාධිය සහිතව අයදුම්පත් කැඳවනු ලැබීය. ඒ අනුව වෛද්‍ය උපාධියේ නව මිල ලක්ෂ 175ක් ලෙස දක්වා තිබිණි.
කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීම සම්බන්ධයෙන් එල්ල වූ අඛණ්ඩ සිසු ජන විරෝධය හමුවේ අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයේ දී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් කොතලාවල ආයතනයේ නිවේදනය නිවැරදි විය යුතු බවත්, වෛද්‍ය උපාධිය විවෘත වන්නේ කැඩෙට් සහ විදෙස් සිසුන් සඳහා පමණක් බවත් ප්‍රකාශ කර තිබේ.
ඒ බව තහවුරු කරමින් කොතලාවල ආයතනය සිය නිවේදනය සංශෝධනය කළ බවත් වෛද්‍ය පීඨයේ 43 වන ශිෂ්‍ය ඇතුළත් කරගැනීම සඳහා සිවිල් ශිෂ්‍යන් බඳවා නොගන්නා බවත්, මෙතෙක් ලැබුණු අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවටත් ප්‍රසිද්ධ කොට තිබේ.
ඒ අනුව මෙමගින් 2024/04/09 දින කැබිනට් තීරණය සමග කොතලාවල හරහා වෛද්‍ය උපාධිය විකිණීමට එරෙහිව ඇරඹූ සිසු-ජන අරගලය ජයග්‍රහණය කොට තිබේ.
එදා පටන් අද දක්වා මේ සඳහා හඬ නැගූ, අපමණ කැපකිරීම් කළාවූ ප්‍රගතිශීලි පුද්ගලයෝ මෙකී ජයග්‍රහණයේ කොටස් කාරයෝය.
මේ ජයග්‍රහණය අර්ථ ගැන්වීමට නම් දැනට බඳවා ගත් කණ්ඩායම් දෙක සම්බන්ධයෙන් නිසි තීරණ ගත යුතුය.
එසේම වෛද්‍ය උපාධිය යනු කොතලාවල හරහා විකිණෙන එකම උපාධිය නොවේ. සමසෞඛ්‍ය ආදී උපාධි විකිණීම හේතුවෙන් ඒ ඒ ක්ෂේත්‍රයන්හි බොහෝ අර්බුද උද්ගතව තිබේ. එ නිසා කොතලාවල හරහා අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි සටන අඛණ්ඩව ඉදිරියට ජයග්‍රහණය කරා ගෙන ආ යුතුය.
එසේම රජයේ රෝහල් විකුණමින් රනිල්-කෙහෙළිය ආරම්භ කළ Lyceum, NSBM පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාපෘතියද තවමත් අහෝසි වී නැත. සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ අර්බුදයටද තවම විසඳුම් ලැබී නැත. එහෙයින් නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් සුරක්ෂිත කිරීමේ අනවරත අරගලයට කොන්දේසි විරහිතව නායකත්වය ලබා දීමට අපි කැපවන්නෙමු.
- වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
