Breaking News

සියඹලාපිටිය වෙනුවට සියඹලාපිටිය – ස්වාධීන මන්ත්‍රී නාටකය

අද (මැයි 5) දිනයේ රංජිත් සියඹලාපිටිය නියෝජ්‍ය කතානායකධුරය සඳහා වැඩි ඡන්දයෙන් යළි තේරී පත්විය. යළි නියෝජ්‍ය කතානායකධුරයට පත්වීමෙන් පසු රංජිත් සියඹලාපිටිය පවසා සිටියේ විපක්ෂය අරගලය පාවා දුන් බවකි.

නමුත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ “අද විවිධ කණ්ඩායම්වල පැටිකිරිය හෙළිවූ” බවයි.

රංජිත් සියඹලාපිටිය ඡන්ද 148ක් ලබාගත් අතර, ඉමිතියාස් බාකීර් මාකර්ට හිමිවූයේ ඡන්ද 65කි. ඡන්ද තුනක් ප්‍රතික්ෂේප විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අටදෙනෙක් නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැති අතර ඒ මයන්ත දිසානායක, උද්දික ප්‍රේමරත්න, සී.වී විග්නේෂ්වරන්, විමල් වීරවංශ, ආර්.සම්පන්ධන්, ජෝන් සෙනෙවිරත්න, විනෝ රාධලිංගම්, ඉම්රාන් මහරූෆ් යන මන්ත්‍රීවරුන් අටදෙනායි.

ඡන්දය පාවිච්චි නොකළ අනෙක් මන්ත්‍රීවරයා වන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධනයි.

නියොජ්‍ය කතානායකධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා රංජිත් සියඹලාපිටියගේ නම යොජනා කළ අතර සුසිල් ප්‍රේමජයන්ත එම යෝජනාව ස්ථිර කළේ ය.

රංජිත් සියඹලාපිටිය මෙම ධුරයට පත් කිරීමට ආණ්ඩුවේ සහාය ලබාදෙන බව අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සඳහන් කළේ ය.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ, රංජිත් සියඹලාපිටියට සහාය දීමට ආණ්ඩුව තීරණය කර ඇති බැවින් තමන් වෙනත් අපේක්ෂකයෙකු යොජනා කරන බව යි.

ඒ අනුව ඔහු ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ අතර, ලක්ෂ්මන් කිරිඇල්ල එම යෝජනාව ස්ථිර කළේ ය.

විපක්ෂයේ එකමුතු බලවේගයක් නිර්මාණය කිරීම තම අරමුණ වුවත් විපක්ෂය ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන තමන් බලවත් කණගාටුව පළකරන බවත් නියෝජ්‍ය කතානායක ලෙස අද නැවතත් තේරීපත්වූ රංජිත් සියඹලාපිටිය ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තුවට පැවසීය.ඔහු තවදුරත් පැවසුවේ මෙය “අර්බුදකාරී අවස්ථාවේ සටන පාවා දීමක් බවයි”.

නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කළේ, “අද විවිධ කණ්ඩායම්වල පැටිකිරිය හෙළිවූ” බවයි.

“අද සියඹලාපිටිය ආණ්ඩුවේ අතකොලුවක්, ආණ්ඩුවේ හෙන්චයියෙකු කියලා තෙරුණා,” ඔහු චෝදනා කළේ ය.

“මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ සිදුවන්නේ දේශපාලන ගේම්. අපි පැහැදිලිව ජනාධිපතිට විරුද්ධ යි. අගමැතිවරයාට විරුද්ධ යි. ආණ්ඩුවට විරුද්ධ යි. විරුද්ධ යි, විරුද්ධ යි, විරුද්ධ යි,” සජිත් ප්‍රේමදාස පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉමිතියාස් බාකිර් මාකර් කියා සිටියේ පාර්ලිමේන්තුව ඇතුළේ කෘතිම විදියට මොන විදියේ රඟපෑම් කළත් වැඩක් නොමැති බවයි.

 

leave a reply