Breaking News

ගසාකෑමේ විදුලි ඉන්ධන මිළ අර්බුධය..

90 දශකය වන විට ලංකාවේ ජනගහනයෙන් බොහොම අතලොස්සකට පමණක් විදුලිය පහසුකම හිමිව තිබුණි. පසුකාලීනව වෙළෙඳපොළ සහ කාර්මීකරණය පුළුල් කිරීමේ අරමුණ ඇතිව දීප ව්‍යාප්තව විදුලිය පහසුකම ලබාදීමේ වැඩපිළිවෙළ දියත් විය. ඒ අනුව ලාංකික පුරවැසියන් විශාල ප්‍රමාණයකට විදුලි පහසුකම් හිමිවිය. මේ අනුව මුහුණ දීමට නියමිත පුළුල් වන අවශ්‍යතාවය අනුව, බලශක්තිය අර්බුදය පියවා ගැනීමට පුනර්ජනනීය බලශක්තිය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් අවශ්‍යව තිබිණි. එහෙත් ඒ වෙනුවට ගල් අඟුරු සහ ඉන්ධන මත පදනම් වූ විදුලිය නිෂ්පාදනයට රජය යොමු විය. ඒ සඳහා ව්‍යාපෘති ගණනාවක් බිහි විය. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි පිරිවර පිරිවැයක් දරණ විදුලිය ජනතාවගේ පරිභෝජනය සඳහා ලැබුණි. ජල විදුලිය නිෂ්පාදනය කිරීමේ අලුත් ව්‍යාපෘති බොහොමයක් පෞද්ගලික අංශයට පැවරුණි. සූර්ය පැනල මත පදනම් වූ පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘති ද පෞද්ගලික අංශයට පැවරුණි.
.
මේ ආකාරයෙන් අඩු පිරිවැය විදුලි නිෂ්පාදන ව්‍යාපෘති බොහොමයක් පෞද්ගලික අංශයට පැවරෙන අතර තුර විදුලි බල මණ්ඩලය පාඩු ලබන බවට රජයේ පාර්ශව විසින් ම විටින් විට ප්‍රකාශ කරන ලදී. ඒ අනුව විදුලි බිල ද ඉහළ නංවන ලදී. මෑතකදී තුන් වරකට ආසන්න අවස්ථා ප්‍රමාණයක දී විදුලි බිල ඉහළ නංවන ලදී. මෙවර 18% කින් විදුලි බිල ඉහළ නංවා ඇත. මේ වන විට කලාපීය රටවල් අතර වැඩිම විදුලි මිළ නිකුත් කරන රට ලංකාව බවට පත්ව හමාරය..
.
රජයේ පාර්ශ්වයෙන් කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය අකාර්යක්ෂම සහ සේවක වැටුප් පිරිවැය ඉහළ නිසා මෙසේ පාඩු ලබන බවයි. රජය නියෝජනය කරන විවිධ පාර්ශ්ව සහ රජය මත පදනම්ව ව්‍යාපාර කරන විවිධ ව්‍යාපාරික මාෆියාකරුවන් විදුලිබලමණ්ඩලය පෞද්ගලීකරණය කළ යුතු බවට දිගින් දිගටම කීවේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම පසෙක තබා තම ව්‍යාපාර පුළුල් කර ගැනීම විදුලිබල මණ්ඩලය මත පදනම් කර ගැනීමේ අරමුණිනි.
ජනතාවගේ ඉන්ධන අවශ්‍යතාවය සහ විදුලි අවශ්‍යතාවය තම ලාභය කරගැනීමට බලා සිටින ව්‍යාපාරික මාෆියාව ලංකාවේ ඛණිජ තෙල් කර්මාන්තය පුළුල් කිරීමේ කිසිදු ව්‍යාපෘතියකට දායක වී නැත. එමෙන්ම විදුලිය ජනනය කරන, බෙදාහරින කිසිදු ව්‍යාපෘතියකට දායක වී නැත. එතෙක් මෙතෙක් මහජන පොදු අරමුදලින් ගොඩනගන ලද සියලූ ව්‍යාපෘතිවල පදනම් සහ ලාභ උත්පාදනයන් තම පෞද්ගලික යටතට පත්කර ගැනීම මෙම මංකොල්ලකරුවන්ගේ අරමුණයි. ඒ සඳහා පවතින ආර්ථික සමාජ අර්බුද මෙන්ම දේශපාලන අර්බුද ද මෙහෙයවමින් සිටී. IMF ව්‍යාපෘතිය මෙම වෙළඳ මාෆියාවේ ප්‍රතිසංස්කරණවාදී මොඩලයයි.
.
විදුලි බලමණ්ඩලය ඇතුළු විදුලිය නිපදවීම බෙදාහැරීම යන සියලු ශේෂ්ත්‍ර පෞද්ගලිකරණය කිරීමේ උවමනාව මොන තරම් බරපතළද යත් ආර්ථික අර්බුදයෙන් ජීවන බරින් හුස්මක් කටක් ගත නොහැකි ජනතාවට විදුලි බිලෙන් දමා ගැසීමට තරම් නරුම වී ඇත.
දරාගත නොහැකි ඉන්ධන මිල විදුලි බිල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වියදම් වලට එරෙහිව ජනතාව නව ක්‍රමයක්, පාලන ව්‍යූහයක් සොයමින් මහ මඟට ප්‍රවිශ්ඨ වෙමින් ඇත.
වීදි පුරා පන්දම් දල්වමින් නාගරික මංමාවත් අවහිර කරමින් රැය පහන් කරමින් ලාංකීය ජනතාව මේ සොයන්නේ නව පාලන ක්‍රමයක, නව පාලන ව්‍යුහයක වෙනසයි. එතෙක් මෙතෙක් මෙම මහජන උවමනාව විවිධ දේශපාලන පක්ෂවල මැතිවරණ ජයග්‍රහණ උවමනාවන්ට යටවිය. බොහෝ දේශපාලන පක්ෂ මහජනතාවගේ මෙම ජීවන උවමනාව තම දේශපාලන පක්ෂයේ මැතිවරණ පදනම, පාර්ලිමේන්තු පදනම ශක්තිමත් කර ගැනීම සඳහා යොදා ගන්නා ලදී. අඩුම තරමේ ජනතාවගේ මෙම උවමනාවට සවන්දීමට එම දේශපාලන පක්ෂ අසමත් විය.
.
මේ අනුව ගත් කල මෙවර ගොඩනැඟෙන මහජන විරෝධයට, සහ බුර බුරා නැගෙන අතෘප්තියට පිටු පෑමට මෙම දේශපාලන පක්ෂ වලට හැකියාවක් තිබිය නොහැක. මෙම නිසා නව පාලන ක්‍රමයක නව ව්‍යූහයක අවශ්‍යතාවය මගහැර යාමට කිසිවෙකුට හැකියාවක් තිබිය නොහැක. එමෙන්ම ඒ සඳහා කිසිදු ඉඩක් තැබිය යුතුද නොවේ. ධනපතියන්ගේ ආර්ථික උවමනාවන් වෙනුවෙන් ලංකාවේ ආර්ථිකය සහ සමාජය මෙහෙයවනු ලැබූ මෙතුවක් අර්තික සහ සමාජ ප්‍රතිපත්තිය ක්‍රම සහ වියුහාත්මක වෙනසකින් මිස වෙනස් කළ නොහැකිය. බලමුළු ගැන්වෙන, පෙළගැසෙන මහජන බලය දිශානත විය යුත්තේ එම විසඳුම් දිශාවටයි.

අයිතිය පුවත්පත

leave a reply