Breaking News

ජෝ බයිඩන් කම්කරු සටන් පෙරමුණට?

සැප්තැම්බර් මස අවසන් සතියේ ජ්යාත්යන්තර මාධ්යවල අවධානය දිනාගත් පුවතක් වූයේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට එක්සත් ජනපදයේ ක්රියාත්මක වන මෝටර් රථ නිෂ්පාදන සමාගම්වල කම්කරුවන් සම්බන්ධ වී සිටින වෘත්තිය සමිති වැඩවර්ජන රැළියකට සහභාගී වීමයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ අති දැවැන්ත මෝටර් රථ නිෂ්පාදන සමාගම් වන ෆෝඩ්, ජෙනරල් මෝටර්ස් සහ (ක්රයිස්ලර් හා ජීප් සන්නාම අයත්) ස්ටෙලාන්ටිස් සමාගම්වලට අයත් කම්කරුවන්ගෙන් සමන්විත වන යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තිය සමිතියේ නායකත්වය යටතේ වෘත්තිය ක්රියාමාර්ග කැඳවා ඇත. ඉහත සමාගම් පසුගිය කාලය පුරාවට අධික් ලාභ ලබමින් සිටියත් කම්කරු වැටුප් හෝ ප්රතිලාභ වැඩි වී නොමැත. මේ අනුව වෘත්තිය ක්රියාමාර්ගය ඔස්සේ සාමූහික ගිවිසුම්වලට එළඹීමේ දී 40%ක වැටුප් වැඩිකරගැනීමේ සටන් පාඨය ඔස්සේ මෙම අරගලය ක්රියාත්මකය.
කෙසේ වුවත් මෙම වෘත්තිය සටන මෙහෙයවන යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සමිතියේ ඇතැයි කියැවෙන නිලධාරීවාදී ස්වභාවයත් ඔවුන් සමාගම් හිමිකාරිත්වයට දක්වන ගැති ස්වභාවයත් සටන ජයග්රහණය තෙක් මෙහෙයවයිද යන විචිකිච්ඡාව ඇති කරයි. පසුගිය සමයේ කැනඩාවේ කියුබෙක් ප්රාන්තයේ සෞඛ්ය අධ්යාපන ඇතුළු රාජ්ය සේවයේ නියුතු වූ සේවකයන් පොදු මධ්යස්ථානයක් යටතේ සිදුකළ සටන එම කම්රුවන්ගේ සාමූහික ගිවිසුම් ඇතිකරගැනීමේදී එම නායකත්වය විසින් පාවා දෙනු ලැබිණ. එමෙන්ම කැනඩාවේ මෝටර් රථ නිෂ්පාදන සමාගම් සේවකයන් සම්බන්ධ වූ සටනද මෙයාකාරවම පාවාදීමකින් කෙළවර විය.
යුනයිටඩ් ඔටෝ වර්කර්ස් සංගමයේ නායකයා සිය ලිමොසින් රථයේ නංවාගෙන කම්කරු උද්ඝෝෂණයට වැඩමවා දේශනා පවත්වන මේ ජෝ බයිඩන් කවුරුන්ද? 2008 ආර්ථික අර්බුදයේදී ජෙනරල් මෝටර්ස් වැනි සමාගම් කඩාවැටෙන විට මෙම සේවකයන්ගේ සුබසාධන අරමුදල් කොල්ලකාරී ලෙස සමාගම් රැකගැනීමට පොම්ප කිරීමේ තීරණ ගත් ඔබාමා පාලනයේ උප ජනාධිපතිවරයා මේ ජෝ බයිඩන් ය.
කම්කරු සටන් පාවාදෙන පසුබිමක ඒවා ජයග්රහණ දක්වා මෙහෙයවාගැනීමට අවශ්ය කම්කරුවාට පක්ෂපාතී නායකත්වයක අවශ්යතාව මෙම අත්දැකීම් නැවත නැවතත් අපට තහවුරු කරයි.
.
බ්රිතාන්ය සෞඛ්ය සේවකයන් තීරණාත්මක සටනකට
………………………………………………………….
පසුගිය සැප්තැම්බර් මාසය අග බ්රිතාන්යයේ විශේෂඥ වෛද්යවරුන්ගේත් කනිෂ්ඨ වෛද්යවරුන්ගේත් ඒකාබද්ධ වැඩවර්ජන ක්රියාමාර්ගයක් දියත් වූ අතර එය ඉතිහාසයේ ඒ ආකාරයෙන් ක්රියාත්මක වූ ප්රථම අවස්ථාව වූ අතර එය දින හතරක කාලයක් පුරා පැවැත්විණ. ඒ හේතුවන් රෝගීන් පරීක්ෂාකිරීමට අදාළ කාලය වෙන්කිරීම්(appoinments) මිලියනයක් පමණ කල් දැමීමට සිදු වූ බවයි.
බ්රිතාන්ය සෞඛ්ය සේවය දිගින් දිගටම ප්රතිපාදන කප්පාදුවට ලක්වෙමින් සිටින අතර මෙය ආකාර කීපයකින් සෞඛ්ය සේවය බිඳ වැටීමට බලපා ඇත.
විශේෂයෙන් සෞඛ්ය සේවකයන් දැඩි ආතතියකට පත් කිරීමට මෙය හේතු වී ඇත්තේ එක් පසෙකින් ලබා දිය හැකි පහසුකම් සීමා වීම නිසා රෝගීන්ට නිසි සේවාවක් ලබදීමට නොහැකිවීමේ ආතතියත්, වැඩ ප්රමාණය අධික වීමේ පීඩනයත්, ඒ අතරතුරම උද්ධමනයට සරිලන දීමනා නොදීමේ පීඩාවටත් ගොදුරු වීමෙනි. මෙය පසුගිය කාලය පුරා හෙද හා වෛද්ය කාර්ය මණ්ඩල වෘත්තිය ක්රියාමාර්ග වලට ඇද හෙළන තත්ත්වයක් නිර්මාණය කෙරුණු අතර මෙම ශ්රේණිවල කේවල හා ඒකාබද්ධ ක්රියාමාර්ග ගණනාවක් පසුගිය කාලය මුළුල්ලේ ම ක්රියාත්මක විය.
ගාඩියන් පුවත් සේවය පසුගියදා සිදු කළ සමීක්ෂණයකින් හෙළි වූයේ මෙම අයහපත් පසුබිම නිසා බ්ර්රිතාන්යයේ කනිෂ්ඨ වෛද්යවරුන් හා වෛද්ය ශිෂ්යයන් අතරින් 1/3ක් ජාතික සෞඛ්ය සේවයට අහිමිවනු ඇති බවයි.
අයිතිය පුවත්පත

leave a reply