Breaking News

ගිජු ලිහිණි මාධ්‍ය ලේ ඉල්ලයි!

මේ වනවිට ක්‍රියාත්මක වන වැඩවර්ජන සම්බන්ධ විවේචන ගොඩනගමින් එම වර්ජකයන් කෘර ලෙස මර්දනය කරන ලෙස DailyMirror පුවත්පත ඉල්ලා සිටී.

විවාදයට ලක්ව තිබෙන බදු සංශෝධනය බලපාන අය හා වර්ජනයට සහයෝගය දෙන අය සංසන්දනය කරමින් DailyMirror පුවත්පතේ අද දින කතුවැකිය තුළ අපූරු තර්ක ගොඩ නගයි. ප්‍රධාන වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් සහ දේශපාලන පක්‍ෂ මෙම විරෝධය ගොඩනගන බව කියන කතුවරයා මේ රටේ ජනතාවට සහන දෙන්නේ රජය අය කරන බදුවලින් බව කියමින් බදු අයකරගැනීමට විරුද්ධ අය එම සහන ප්‍රතික්ෂේප කරන බවට අවලාද නගයි. එසේම මේ රටේ නිදහස් අධ්‍යාපනයනේ ප්‍රතිලාභ ලබන ශිෂ්‍යයන් මහත් ගෝෂා කරමින් ඉල්ලා සිටින්නේ අධ්‍යාපනයට වැයකරන බදු අඩුකරමින් නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමටදැයි කතුවරයා අසයි.

මේ රටේ ජීවත්වන සාමාන්‍ය වැසියන් පවා මේ වනවිට ඇතිව තිබෙන ආර්ථික අර්බුදයේ වගඋත්තරකරුවන් පාලකයන් බව පිළිගන්නා අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි දනී.

DailyMirror කතුවරයා ඊයේ පෙරේදා උපන් එකකු මෙන් මේ ලියන්නේ ඉංග්‍රීසියෙන් කියවන පාඨකයාටය. නමුත් පාඨකයන් කතුවරයාට වඩා මේ රටේ ඉතිහාසයයේ බදු වංචාකරුවන් කවුරුන්ද යන වගත් හිටපු ජනාධිපති ගෝඨා ඇතුළු වත්මන් ආණ්ඩුවේ රාජපක්ෂ කල්ලිය ඇතුළු පොදුජන පෙරමුණු ආන්ඩුව විසින් බදු සංශෝධන සහ වැරදි ආර්ථික පිළිවෙත් මගින් ආර්ථිකය කාබාසිනියා කළ හැටිත් දනී. සමස්තයක් ලෙස 80 දසකයේ පටන්ම මේ රටේ ආර්ථිකය දක්කා ගෙන ගියේ IMF ඇතුලු ලෝක අධිරාජ්‍යවාදයේ නිර්දේශයන් තුළ නවලිබරල්වාදී වැඩපිළිවෙළක බව රහසක් නොවේ. දැන් රනිල් ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ පිළිවෙත වන්නේ එම මාවතේම ඉදිරියට යමින් ජනතාව මත බදු පටවමින් ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමටය.
පසුගිය දසකයක කාලය තුළ මේ රටේ බදු වංචා කළ සමාගම්, ධනකුවේරයන් සම්බන්ධ තොරතුරු අනාවරණය කරන්නේද මෙම පුවත්පත්වලමය. ආනයන අපනයන වෙළඳාම තුළින් බිලියන පනස් ගණනක් මෙරටට නොගෙන්වා වංචනිකව ආයෝජනය කරන්නට හෝ තැන්පත් කරන්නට කටයුතුකර ඇත්තේ ශිෂ්‍යයන් හෝ වෘත්තිය සමිති නොවන බවද කතුවරයා හොඳින්ම දනී.

මේ හා සමානව කතුවැකිය කොලම සමීපයෙන් පළවන කොලමකින් ‘මාධ්‍යවේදී’ රංග ජයසූරිය කියන්නේ චිලියේ පිනෝචේ, ඉන්දුනීසියාවේ සුහර්තෝ, චීනයේ චියැං කායි ෂෙක් වැනි අපරාධකරුවන් විසින් සිදු කළ ආකාරයට කටයුතු කළ යුතු බවය. එම රටවල එම පාලකයන් අනුගමනය කළ කෘර මර්දනය සාධාරණිකකරණය කරමින් රංග ජයසූරිය පවසන්නේ එවැනි සංහාරයන්ගෙන් පසුව එම රටවල් දීර්ඝ කාලයක ස්ථාවර පාලනයක් පිහිටුවා ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් බවය.

මේ නිසා රනිල් වික්‍රමසිංහට ‘මාධ්‍යවේදී රංග’ බලකරන්නේ වර්ජකයන් වලපල්ලට යවා හෝ ඔහුගේ කෘර මර්දනකාරී පාලනයත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිර්දේශ කළ සහ වත්මන් රනිල්-රාජපක්ෂ පාලනයත් අනුමත කරමින් ක්‍රියාවට නගා ඇති කප්පාදු ක්‍රියාවලියත් ආරක්ෂා කරගන්නා ලෙසය.
මේ ආකාරයට ශිෂ්‍ය ව්‍යාපාරයට හා වැඩකරන ජනතාවගේ සාධාරණ අරගලවලට අවලාද නගමින් ඒ ක්‍රියාමාර්ග කෘර ලෙස පොඩිපට්ටම් කරන ලෙස කේවට්ට උපදෙස් දෙන්නට මේ අයට හැකි නම්, අප කියන්නේ ඔවුන් පත්තරකාරයන් නොව, මිනිමරුවන්ට පාන අල්ලනවුන් බවය. මේ වනවිට ආර්ථික අර්බුදය නිසා සිදුවන ගැටලුවලට මුහුණ දෙන්නට නොහැකිව මිය ගොස් සිටින වැඩිහිටියන් පමණක් නොව, හය හතර නොතේරෙන දරුවන් විරෝධතාවලදී මියගියවුන් සියල්ලගේම ඝාතකාය වත්මන් ආර්ථික සමාජ දේශපාලන අර්බුදයට පාර කැපූ පාලකයන් හා ඔවුන් හා කල්ලි ගැසී සිටින ව්‍යාපාරික පැලැන්තියයි.

රනිල්-රාජපක්ෂ ඇතුළු පාලක කල්ලිය මෙන්ම මේ රටේ ධනකුවේර පැලැන්තිය සිදුව ඇති මරණවලට පමණක් නොව, ඉදිරියේත් මියයන රෝගින්. බිළිඳුන් සම්බන්ධ වගකීම භාරගත යුතුව ඇත. එම පැලැන්තියේ DailyMirror පුවත්පතේ හිමිකාර විජේවර්ධනලාද සිටී. විජේවර්ධනලාගේ පත්තර අධිරාජ්‍යයේ ‘කටු කන පත්තරකාරයන්’ සිටින බව ඇත්තකි. ඔවුන් මතක තියාගත යුත්තේ තමන් යැපෙන්නේද අයුක්ති සහගත සමාජ ක්‍රමයක නිස්කාරනේ මිය යන හා මරා දමන මිනිසුන්ගේ ලේ මස් මත බවය. ඉදිරියේ රනිල්-රාජපක්ෂ පාලක කල්ලිය විරුද්ධ මතධාරින් මර්දනය කරනවිට ඊට මේ ගිජුලිහිණි මාධ්‍ය ඊට අනුබල නේ බව ජනතාව මතක තියා ගනු ඇත. වෘත්තිය සමිති නායකයන් ශිෂ්‍යයන් මරා දමන ලෙස වක්‍රව ලියන්නට මේ ඝාතක පෑන්වලට හැකි නම් ඒ පෑන්වල ඒ පත්තර පිටුවල ලේ තැවරී ඇති බව කිව හැකිය.

leave a reply